බඩල්ගම, ආඩිමුල්ලේ ජීවත් වූ දස හැවිරිදි දරුවෙකු මාපියන්ගේ මිථ්‍යා ඇදහිල්ලක ප්‍රතිඵලයක් ලෙස මිය ගිය පුවතක් පසුගිය සතියේ වාර්තා විය.
සෙම් රෝගය උත්සන්නව සිටි මෙම දරුවාට ඔහුගේ දෙමාපියන් විසින් කිසිදු ප්‍රතිකාරයක් නොකර නිවසේ තබාගෙන යාඥා කරමින් සිටියදී ඔහු මෙසේ මියගොස් තිබේ.
බඩල්ගම පොලීසිය පවසා ඇත්තේ මෑතක සිට මිථ්‍යා දෘෂ්ඨික මූලධර්මවාදී ආගමික නිකායක් ඇදහීමට පටන් ගෙන ඇති මෙම දරුවාගේ මාපියන් එම ආගමික නිකායේ මිත්‍යා දෘෂ්ඨිකයින්ගේ උපදෙස් අනුව යාඥා කිරීමෙන් පමණක් රෝගය නිට්ටාවට සුව කර ගත හැකි බවට විශ්වාසයක් ඇති කර තිබූ බවකි.
එසේ වුව ද කෙමෙන් රෝගය උත්සන්න වී දරුවා මිය ගිය පසුව ද මෘත ශරීරයට නැවත ජීවය ලබාගත හැකි යැයි විශ්වාස කරමින් දින දෙකක් දරුවාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නිවසේ තබා ගනිමින් මාපිය දෙදෙනා එය ඉදිරියේ යාඥා කරමින් සිට ඇත.
පොලීසියේ මැදහත්වීමෙන් ඒ වනවිටත් නරක් වී දුගඳ වහනය වෙමින් තිබූ මෘත ශරීරය ධිකරණ භාරයට ගෙන ඇති බවද වාර්තා වී තිබිණි.ඒ සම්බන්ධයෙන් කරන ලද මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ එම දරුවාට කොවිඩ් ආසාදනය වී ඇති බවකි.මේ වන විට දරුවාගේ මව රක්ෂිත බන්ධනාගාර කොට ඇති අතර පියා සහ මිත්තනිය ඇප මත මුදා හැර තිබේ.
මෙවැනි මිථ්‍යා දෘෂ්ඨික ඇදහිලි හේතුවෙන් ලෙඩ රෝග උත්සන්න වී සිදු වූ පළමු මරණය මෙය නොවේ. අපේ රටේ ඉතිහාසයේ ඕනෑ තරම් මෙවැනි මරණ අපට අසන්නට දකින්නට ලැබී තිබේ. අපේ රටේ පමණක්ම නොව, මිථ්‍යා ඇදහිලි හේතුවෙන් සිදු වන මිනී මැරුම් පිළිබඳව වෙනත් රටවලින් ද ඕනෑ තරම් වාර්තා වී ඇත.එහෙත්, මළ සිරුරකට පණ එනතුරු යාඥා කළ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවෙනි.
2020 වසරේ මේ ආකාරයේම සිදුවීමක් තමිල්නාඩු ප්‍රාන්තයේ දින්ඩිගුල් නගරයෙන් වාර්තා විය. අසනීප තත්වක් හේතුවෙන් මිය ගිය ඉන්දිරා නම් වූ කාන්තා පොලිස් නිලධාරිනියකගේ මෘත දේහය රෙදිවලින් ඔතා නැවත පණ ලැබෙන තුරු මාසයකට අධික කාලයක් එය ඉදිරියේ යාඥා කර තිබූ අතර එයට සම්බන්ධ පාස්ටර් වරයින් දෙදෙනෙකු පසුව අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සිදුවීමට මාස කීපයකට පෙර ඉන්දිරාගේ සහෝදරිය වූ වාසූකී විසින් එකී මිථ්‍යා දෘෂ්ඨික ආගමික නිකාය ඇදහීමට පටන් ගෙන තිබූ අතර සහෝදරියගේ කීම මත ඉන්දිරා ද මිථ්‍යා දෘෂ්ඨික මූලධර්මවාදී ආගමික ඇදහීම ආරම්භ කර තිබේ.
නමුත් එය සම්පූර්ණ මිථ්‍යා ඇදහිල්ලක් බව තේරුම් ගත් ඉන්දිරාගේ සැමියා එයට විරුද්ධ වී තිබූ නිසා වාසුකීගේ කීම මත ඉන්දිරා සිය දියණියන් දෙදෙනා ද රැගෙන වාසුකී සහ සැකකාර පාස්ටර් වරයා ජීවත්වන නිවසට පදිංචියට ගොස් තිබේ.
ඉන් මාස දෙකකට පසු ඉන්දිරා විසින් තමන් පෙලුණු සුළු අසනීප තත්වයක් හේතුවෙන් නිවාඩු අයදුම් කර තිබිණි.
නිවාඩු අනුමත වීමෙන් සති කීපයක් ගත වුවද ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නැති තැන, ඇය සමග සේවය කළ පොලිස් මිතුරන් ඇගේ දුක සැප බැලීමට එවකට ඉන්දිරා පදිංචිව සිටි වාසූකිගේ නිවසට ගොස් තිබේ. එසේ ගිය අවස්ථා කීපයකදීම ඇය නිදා සිටින බවත් තව ටික වෙලාවකින් අවදි වනු ඇති බවත් ඔවුන්ට පවසා තිබේ.
ඇය නිදා සිටින බව දිගින් දිගටම පැවසීමත් සමග පොලිස් නිළධාරීන්ට යම් ආකරයක් සැකයක් මතුව තිබූ නමුත් ඒ පිළිබඳව සොයා බැලීමට තරම් හේතුවක් නොමැති වීම නිසා ඔවුන් එය අමතක කර දමා තිබිණි.
නමුත් එක් දිනක් ඉන්දිරා ගේ සැපදුක් බැලීමට වාසුකීගේ නිවසට ගිය පොලිස් නිලධාරියෙකුට සිය සැකය තහවුරු වී තිබුණේ ඉන්දිරාගේ නිවස තුළින් වහනය වෙමින් පැවති අධික දුර්ගන්ධය හේතුවෙනි. එදිනම නිවස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබා ගත් පොලිස් නිළධාරීන් වාසුකීගේ නිවස පරීක්ෂා කිරීමේ දී දුගඳ වහනය වෙමින් පැවති රෙදිවලින් ඔතන ලද ඉන්දිරාගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබේ.
ඒ වනවිටත් ඇය නිවාඩු අනුමත කරගෙන මාසයකට අධික කාලයක් ගතව තිබූ බවත් අවම වශයෙන් මෙම මරණය සිදු වී මාසයක්වත් වන්නට ඇති බවත් පොලීසිය වාර්තා කර තිබිණි.
වාසුකීගේ මෘත දේහය රෙදිවලින් ඔතා නැවත පණ ලැබෙන තුරු මාසයකට අධික කාලයක් එය ඉදිරියේ යාඥා කර තිබූ අතර එයට සම්බන්ධ පාස්ටර් වරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලද්දේ ඉන් අනතුරුවය.
දුලාංජලී මුතුවාඩිගේ