මිලානෝ කොන්සියුලර් ජනරාල් පදවියට විකටයකු තෝරා එවීමේ විහිළුව

ඉතාලියේ මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් වරයා ලෙස ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතා පත් කරන ලද මුත් එම පත්වීම අවසන් මොහොතේ අවලංගු කරන ලදී.

ඒ බව මේ වන විට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කොට ඇත.නමුත් එම පත්වීම අවලංගු කරන ලද්දේ මිලානෝ හි වෙසෙන  ශ්‍රී ලාංකික පිරිස් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශයට එල්ල කළ දැඩි බලපෑම නිසා ය. නමුත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකු නොදන්නා බැවින් මෙය ලියා එවීමට මට සිත් විය.

කොන්සියුලර් සේවා යනු මොනවාද?යන්න පිළිබඳව අප රටේ බොහෝ දෙනකු නොදන්නා බව පෙනෙයි.කොන්සියුලර් වරයකු යනු කිසියම් රටක් හෝ ප්‍රදේශයක් වෙනුවෙන් තවත් මිත්‍ර රටක් විසින් එම රටේ වෙසෙන තම රටේ ජනතාව වෙනුවෙන් සේවා සැලසීමට එවන උප තානාපති වරයෙකි. මිලානෝ හි අතරමං වූ සහ අසරණ වූ ශ්‍රී ලාංකිකයන් නැවත ශ්‍රී ලංකාවට යැවීම.

මෙහි දී මිය යන, ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මව් රටට යැවීම, මෙහි දී  මියගිය හා තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වන්දි සහ වෙනත් හිමිකම් ලබා ගැනීම සුරක්ෂිත කිරීම,ඔන් ලයින් සහතික කිරීමේ ක්‍රමය, සහ ආදී තවත් කටයුතු කිහිපයක් කොන්සියුලර් සේවා ලෙස හැඳින්වෙයි.ඒ අනුව ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසක් ජීවත් වන ඉතාලියේ මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් තනතුර අතිශය වගකීම් සහගත සේම අතිශයින් කඩිනමින් ඉටු කළ යුතු සේවයකි.

ඒ සඳහා එවන් කටයුතු සම්බන්ධයෙන් මනා දැනීමක් අත්දැකීම් සම්භාරයක් සේම හැකියාවන් සහිත පුද්ගලයකු පත් කළ යුතුම ය .එසේ නොමැතිව රජය ඒ සම්බන්ධ කිසිදු යෝග්‍යතාවයක් නොමැති පසුගිය කාලයේ තමන්ට දේශපාලනමය වශයෙන් ආවැඩූ පුද්ගලයන්ට විවේක සුවය සමඟ යහපත් සමාජ ආර්ථිකයක් උදා කර ගැනීමට මෙම තනතුර අවභාවිතා කිරීම තුළින් රජය”රට විරුවන්”ලෙස මුරුංගා අත්තේ හිඳුවා සිටින අප බරපතල අසීරුතාවයන්ට පත් කොට ඇත. .ඒ අනුව ඉතාලියේ මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් වරයා ලෙස ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතා වැන්නකු පත් කොට එවීම මෙහි වෙසෙන සමස්ත ශ්‍රී ලාංකේය ප්‍රජාවටම  කරනු ලබන බරපතල නින්දාවක් බව අපගේ පිළිගැනීම ය.

ප්‍රායෝගික වශයෙන් සළකන විට මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් වරයා වශයෙන් පත් කරනු ලබන්නා ඉතාලියේ රෝම නගරයේ හිඳින ශ්‍රී ලංකා තානාපති වරයාටත් වඩා දක්ෂ ක්‍රියාශීලී;කාටත් තේරෙන බසින් කිව හොත්”දුවලා පැනලා වැඩ කරන” අයකු විය යුතුම ය.

මීට පෙර මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල්  තනතුර සඳහා පත් කොට එවූ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය ද  කලෙක සිටම මහින්ද රාජපක්ෂ මහතාට “අතිශය භක්තිමත්” ලෙස කටයුතු කළ චරිතයක් බව නොරහසකි.තම ගායන වෘත්තියට අමතරව රජයේ සංගීත ගුරුවරියක ලෙස කටයුතු කළ ඇය තුළ කොන්සියුලර් ජනරාල් පදවියකට අයත් රාජකාරී පිළිබඳ කිසිදු දැනීමක් තිබෙන්නට ඉඩක් නැත.

එනිසා ඉකුත් වසරේ දෙසැම්බරයේ අග මිලානෝ නුවරට පැමිණි ඇය මේ වසරේ ජනවාරි පලමු වනදා සිට මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් තනතුරේ වැඩ බාර ගත යුතුව තිබිණ.එහෙත්, ඇය එම තනතුරේ වැඩ බාර ගත්තේ පසුගිය ජනවාරි 11 වනදා ය.ඒ ද ශ්‍රී ලාංකේය ක්‍රමයට සුබ නැකතින් කිරිබත් කා වැඩ ඇල්ලීමේ සිරිත අනුව ය.එහෙත්,ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයනට එවැනි සුව පහසු විවේකී ජීවන රටාවක් හිමි ව නැත.

අපේ රටේ ආණ්ඩුවේ කන්තෝරු වලින් වැඩක් කර ගන්නට යාමේ දී මෙන් ඒවා ඉදිරියේ වරු ගණන් දින ගණන් තපින්නට මෙහි ශ්‍රී ලාංකිකයන්ට නොපුළුවන. ඇතැම් විට එසේ කා දමන කාලයෙන් ඔවුනට සිදු වන පාඩුව ශ්‍රී ලංකාවේ ජීවත් වන්නෙකුට මෙන් සිය දහස් ගුණයකි.

පසුගිය ජනවාරි 11 වනදා මිලානෝ නුවර ශ්‍රී ශ්‍රී ලාංකික පිරිස් තම විවිධ අවශ්‍යතා සඳහා කොන්සියුලර් ජනරාල් කාර්යාලයට යන විට ඒ වන විට එහි පැවැත්වෙමින්  තිබූ කිරිබත් මංගල්‍යය දැක දැඩි නොසතුටට පත් වූහ.ඔවුන්ගේ එම හැසිරීම් රටාව දැක වික්ෂිප්ත භාවයට පත් වික්‍රමසිංහ මහත්මිය ඔවුනට ද කිරිබත් කෑමට ආරාධනා කොට ඇත්තේ ශ්‍රී ලාංකිකත්වයට හුරු පුරුදු ආගන්තුක සත්කාරය ඇගේ හදවතේ ද සනිටුහන් ව තිබූ බැවිනි.

එවිට ඉන් වඩාත් කෝපයට පත් එහි පැමිණි ශ්‍රී ලාංකිකයන්”අපි ආවේ අපේ වැඩ කර ගන්න මිසක් ඔයාගෙ කිරිබත් කකා ඉන්න නෙවෙයි” අනුවෙන් ඇගේ මුහුණටම චෝදනා කරනු හා එවිට නීලා වික්‍රමසිංහ මහත්මියගේ මුහුණ මැළවී යනු වීඩියෝවල පවා සටහන් ව තිබේ.ජනකාන්ත ගායිකාවක වශයෙන් නිරතුරුවම ජනතාවගේ ආදරය හිමි කර ගත් ඇයට මෙම අප්‍රසන්න අත්දැකීම කෙසේ වත් දරා ගත නොහැකි වූ බව නිසැකය.සැළකිය යුතු රෝගාබාධයක් නොතිබුණු නීලා වික්‍රමසිංහ මහත්මිය එම අත්දැකීමෙන් පැය විසි හතරක් ඉක්ම යාමටත් පෙර හදිසි හෘදයාබාධයකට ලක් ව මිය යාමට ඒ චිත්ත පීඩාව මුල් වන්නට ඇත.

නීලා වික්‍රමසිංහ මහත්මියගෙන් පුරප්පාඩු වූ ඉතාලියේ මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් පදවිය ජනප්‍රිය විකට නළු බන්දු සමරසිංහ මහතාට පිරිනැමීමට රජය තීරණය කරන්නේ මිරිදියේ ජීවත් වන මත්ස්‍යයකු කරදියට ඇද දමන්නාක් බඳු ඇගේ ජීවිතය පවා වනසා දැමූ එම මාරක පත්වීමෙන් පසුව ය.”මම ඒ එල් ෆේල් අනික මට ඉංගිරිසිත් බෑ.

ඒ හින්දා මට ලොකු තනතුරක් ගන්නත් බෑ”විකට නළු බන්දු සමරසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ වේදිකාවේ දී නිතර කීය.ඒ අනුව තමන් ඉතාලියේ මිලානෝ හි කොන්සියුලර් ජනරාල් කරනු ඇතැයි රටේ ජනතාව තබා අඩුම තරමින් ඔහු වත් නොසිතන්නට ඇත.එබැවින් මෙම පත්වීම පිළිබඳව මෙහි බොහෝ දෙනකු කියනුයේ බන්දු සමරසිංහ මහතා පසුගිය ජනපතිවරණ වේදිකාවේ දී ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තබා ගෙන කී”මාර වැඩේ තමයි ලංකාවට වුණේ “යන්නම ය.

කිසියම් රටකට තානාපති වරයකු හෝ කොන්සියුලර් ජනරාල් වරයකු පත් කළ යුත්තේ එම රටේ පූර්ණ අනුමැතියට යටත්ව ය.එහි දී එම රට සළකා බලනුයේ එසේ පත් කර එවනු ලබන්නා සාපරාධී ක්‍රියාවන්ට,ත්‍රස්තවාදී ක්‍රියාවලට මත් ද්‍රව්‍ය, නීති විරෝධී ආයුධ ගනුදෙනු ආදියට සම්බන්ධ ද යන්න හා ඒ තැනැත්තා සාපරාධී ගණයේ චෝදනා සඳහා අධිකරණයක් මඟින් වරද කරුවකු වී තිබේ ද යන්න පමණි. ඒ හැරුණු කොට එම තැනැත්තාගේ දැන උගත් කම් සහ වෙනත් සුදුසුකම් සළකා නොබැලේ.එහෙත්,අහිංසක විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතාට එවන් අපකීර්තිමත් ඉතිහාසයක් නොමැති බව අපි දනිමු.

එය වෙනම කතාවකි.නමුදු දහසකුත් එකක් ප්‍රශ්න,ගැටළු ,අර්බුද මැද මිලානෝ නුවර විවිධ රැකියාවල යෙදෙමින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය සම්භාරයක් සපයා දෙන අප සඳහා අපගේ “දුක් ගන්නා රාළ “හෙවත් මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් වරයා ලෙස අඩුම තරමින් හරිහැටි අධ්‍යාපනයක් වත් නොලද ජනප්‍රිය විකට නළුවකු පත් කොට එවීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපට කළ කුරිරු සරදම අතිශය බරපතල ය. පසුගිය ජනපතිවරණයේ දී ඔහුට ඡන්දය දීම පිණිස අතින් මුදල් වියදම් කොට ලංකාවට පැමිණි මිලානෝ හි ශ්‍රී ලාංකික අපි එය කෙසේවත් සුළු කොට නොතකමු.

එමෙන්ම එම කුරිරු සරදමට සරිලන සරදමක් මනැසේ නොපිහිටන බැවින් ජනාධිපති වරයාට හුදු සරදමක් නොවන මෙම යෝජනාව ගෙනෙමින් මම මෙම සටහන නිමා කරමි.”බන්දු සමරසිංහ වෙනුවට ඔබ තුමා මිලානෝ නුවර කොන්සියුලර් ජනරාල් වරයා හැටියට පත් වෙලා එන්න .හැබැයි, ඔබ තුමා දැන් ලංකාවේ දරන තනතුරට බන්දු සමරසිංහව පත් කරලා. දැන් අපේ රට යන විදිහට ඒකත් දැනට වඩා හොඳ  වෙයි කියලමයි අපි හිතන්නේ”

ෂෙහාන් මෙල්වින් ප්‍රනාන්දු

මිලානෝ නුවර සිට

එතෙර - මෙතෙර