මිලියන 969 ක් ඡන්දය දෙන ලෝකයේ ලොකුම මැතිවරණය

vinivida

සාමාන්‍යයෙන් ලෝකයේ ලොකුම පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන්නේ අප අසල්වැසි ඉන්දියාවේ යි. මේ වසරේත් ඉන්දියාවේ මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර මේ වනවිට එම මැතිවරණය පිලිබඳ උණුසුම කෙමෙන් ඉහළ යමින් තිබේ. ඒ, මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිලිබඳව පසුගිය දා නිශ්චිතව ප්‍රකාශයට පත් වීමත් සමග ය. මැතිවරණ කොමිසම පසුගිය සෙනසුරාදා ප්‍රකාශයට පත් කළ ආකාරයට ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 19 වැනි දින ආරම්භ වීමට නියමිතව තිබේ.

අපේ රටවල මෙන් නොව ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය අදියර කිහිපයක් යටතේ දින ගණනක් පුරා පැවැත්වෙයි. මෙවර මැතිවරණය දින 44 ක් පුරා පැවැත්වෙනු ඇත. ඒ අප්‍රේල් 19 වැනි දින සිට ජුනි 01 වැනි දින දක්වා ය. මීට වඩා වැඩි දින ගණනක් ගත වූ මැතිවරණයක් එරට තුළ පවත්වා ඇත්තේ එක අවස්ථාවක පමණි. ඒ ඉන්දියාව නිදහස දිනා ගැනීමෙන් පසු පැවති පළමු මහා මැතිවරණය යි. එය 1951 ඔක්තෝබර් 25 වැනි දින සිට 1952 පෙබරවාරි 21 වැනි දින දක්වා මාස 4 ක් පුරා පැවැත්විණි.

මෙවර මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19 වැනි දින පැවැත්වෙනු ඇති අතර ඉන්පසු ඊළඟ අදියර හය අප්‍රේල් 26, මැයි 07, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජුනි 01 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව ද ඇස් උඩ ඉන්දවන්නට සමත් වන සංඛ්‍යාවකි. බිලියනයකට ආසන්න ඡන්දදායකයන් සංඛ්‍යාවක්, හරියටම කිවහොත් මිලියන 969 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේ දී ඡන්දය භාවිත කිරීමට ලියා පදිංචි වී සිටිති. (ලංකාවේ ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 17 ක් පමණ වේ.)

ඉන්දියාවේ ඡන්දදායකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පිහිටුවීමට නියමිත ඡන්ද මධ්‍යස්ථාන ගණන ලක්‍ෂ 10 කට වැඩි ය. එරට ඡන්දදායකයන් ඡන්දය දෙන්නේ අප මෙන් කඩදාසිවල කතිර ගැසීමෙන් නොව විද්‍යුත් යන්ත්‍ර හරහා යි. විද්‍යුත් යන්ත්‍ර මිලියන 5.5 කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය සඳහා යොදා ගැනෙනු ඇති බවක් ද සඳහන් වේ.

ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස්වරයා වන රජීව් කුමාර් පවසන ආකාරයට මැතිවරණ නිලධාරීන් සහ ආරක්‍ෂක නිලධාරීන් මිලියන 15 කට ආසන්න සංඛ්‍යාවක් මෙවර මැතිවරණ කටයුතු සඳහා යෙදවෙනු ඇත. ඉතා විශාල රටක් වන ඉන්දියාවේ ඈත දුෂ්කර ප්‍රදේශවල දී මැතිවරණ රාජකාරි සඳහා ඔවුන්ට අලි ඇතුන්, ඔටුවන් වැනි සතුන් පිට පවා යාමට සිදුවන බව සඳහන් ය. ලෝකයේ ඉහළම ස්ථානයක පිහිටි ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවන්නේ ද ඉන්දියාවේ ය. එරට හිමාචල් ප්‍රාන්තයේ ටාෂිගංග් නැමැති ඡන්ද මධ්‍යස්ථානයට මුහුදු මට්ටමේ සිට ඇති උස අඩි 15,256 ක් පමණ වේ. නමුත් එහි දී සාමාන්‍යයෙන් ඡන්දය භාවිත කරන්නේ ඡන්දදායකයන් 50 කට ආසන්න සුළු සංඛ්‍යාවකි.

මැතිවරණ සටනේ මේ වනවිට ඉදිරියෙන් සිටින්නේ අගමැති නරේන්‍ද්‍ර මෝදි අයත්වන භාරතීය ජනතා පක්‍ෂය යි. සෝනියා ගාන්ධි, රහුල් ගාන්ධි වැනි නායකයන් අයත් වන ඉන්දීය ජාතික කොංග්‍රස් පක්‍ෂය ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදීන් ය. නමුත් භාරතීය ජනතා පක්‍ෂය මෙවර මැතිවරණයෙන් ජය ගනු ඇති බව පසුගිය කාලයේ පවත්වන ලද ජනමත සමීක්‍ෂණවලින් ප්‍රකාශ වී තිබේ. භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට සටනක් දීම සඳහා කොංග්‍රස් පක්‍ෂය ඇතුළු විරුද්ධ පක්‍ෂ ද පුළුල් සන්ධානයක් පිහිටුවාගෙන ඇත.

ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකක් ඇති අතර මහා මැතිවරණය පැවැත්වෙන්නේ එහි ලෝක් සභාව සඳහා නියෝජිතයන් පත් කර ගැනීමට ය. (අනෙක් මන්ත්‍රී මණ්ඩලය රාජ්‍ය සභාව යි).
ලෝක් සභාවේ ආසන ගණන 543 කි. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්‍ෂයක් හෝ සන්ධානයක් එයින් ආසන 272 කට වැඩි ගණනක් හිමි කරගත යුතුය. 2019 වසරේ පැවැති මහා මැතිවරණයේ දී මෝදි ගේ පක්‍ෂය විශිෂ්ට ජයක් හිමි කරගත් අතර ආසන 303 ක්ම දිනා ගන්නට ඔවුන්ට හැකි විය. මෙවර ඔවුන් පවසන්නේ ඊටත් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගන්නා බවයි. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ආසන 370 ට කිට්ටු ගණනකි. එවැනි ආසන ගණනක් දිනාගතහොත් එය ඉන්දීය මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් වනු ඇත.

2014 සහ 2019 වසරවල පැවැති අවසන් මැතිවරණ දෙකෙන්ම ජය ලැබුවේ භාරතීය ජනතා පක්‍ෂය යි. මෙවරත් ඔවුන් ජය ගතහොත් එය පිට පිට ලබන තුන්වැනි ජයග්‍රහණය වනු ඇත. එවිට අගමැති මෝදිට තුන්වැනි වරටත් එරට අගමැති ධුරයට පත් වීමට අවස්ථාව හිමි වෙයි.

මේ වනවිට 74 වැනි වියෙහි පසුවන මෝදි ඉන්දියානු ඉතිහාසයේ පහළ වූ ප්‍රබලම නායකයකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. මුල් වරට බලයට පත්ව වසර 10 ක් ගත වී ඇතත් තවමත් ඔහු ජනතාවගේ ආදරය, ගෞරවය දිනාගත් නායකයකු ලෙස ඉතා ශක්තිමත් තත්ත්වයක පසුවෙයි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර