ලෝකයේ මිනිස් ජීවිත රදා පවතින්නේ මී මැස්සන් ජීවත් වෙන තාක් පමණක් බව සත්ව විද්‍යාව පිළිබද විද්‍යාඥවරු සහ මහාචාර්යවරු පවසා තිබෙන්නේ මීට වසර ගණනාවකට පෙර සිටය. දිනක මෙලොව ජීවත් වන අවසාන මී මැස්සා ද මිය ගිය පසු ඉන් ඉතාම කෙටි කාලයක් තුළ මිනිසා ද ක්‍රමයෙන් වද වන්නට පටන් ගන්නා බව ඉන් වැඩිදුර ප්‍රකාශ වේ. එහි අදහස වන්නේ මී මැස්සා ඒ තරම්ම අපට, මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය කෘමියෙකු බවය.
නමුත් එය එසේ තිබියදී මී මැස්සෙකු සමග ආයුධ සන්නද්ධව දැවැන්ත සටනක් කර එකී මී මැස්සා මරා දැමීමට උත්සාහා කිරීමේ සිදුවීමක් පිළිබද පුවතක් ජුනි 24 වෙනිදා සිට ඔබට අසන්නට ලැබේවි. ඒ අන් කිසිවක නොව, සුප්‍රසිද්ධ මිස්ට බීන් නොහොත් රෝවන් ඇට්කින්සන් විසින් රංගනයෙන් දායක වන Man vs Bee නම් ටෙලි කතා මාලාවෙනි. රෝවන් ඇට්කින්සන් සහ විලියම් ඩේවීස් විසින් ලියා නිර්මාණය කරන ලද මෙම ටෙලි කතා මාලාව ඩේවිඩ් කර්ගේ අධ්‍යක්ෂණයෙන් යුතුව ජුනි 22 වන දා ලන්ඩනයේ දී නිකුත් වන අතර එය ජුනි 24 වෙනිදා සිට නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීමට ඔබට අවස්ථාව හිමි වේ.
එහි කතා තේමාවට අනුව, ට්‍රෙවෝ ෆින්ඩ්ස් නම් වූ ඉතාම කම්මැලි පුද්ගලයෙකු විසින් සුවිසල් මන්දිරයක් වන් වූ සිය නිවසේ සිටින මී මැස්සෙකු සමග ද්වන්ධ සටනක නිරත වන ආකාරයත්, එකී සටන මෙහෙයවීම සදහා ඔහු භාවිත කරන ප්රහසනශීලී උපක්‍රම පිළිබදවත්, මෙම සටන අතරතුර සිදුවන ආපසු හරවන්නට නොහැකි තරම් වූ දේපොල හානිය සහ එහි නිවැසියන්ට ඇතිවන මානසික අවපීඩනය පිළිබදවත් ඔබට මෙම ටෙලි කතා මාලාව ඔස්සේ දකින්නට හැකියාව ලැබේ.
සාමාන්‍යයෙන් කෘමින් වටා ගෙතුණු පූර්ණ ත්‍රිමාණ සජීවීකරණය නිර්මාණ ලෝක සිනමා සහ ටෙලි ඉතිහාසයේ ඕනෑ තරම් නිර්මාණය වී තිබුණ ද අර්ධ වශයෙන් ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය භාවිත කරමින් සිදුකළ මෙවැනි නිර්මාණ ලෝක ඉතිහාසයේ නිර්මාණය වී තිබෙන්නේ අතේ ඇගිලි ගණනටත් වඩා අඩුවෙනි. 2012 වසරේ Eega නමින් නිර්මාණය වූ දමිල සිනමා නිර්මාණය ද අර්ධ ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණය භාවිත කරමින් සිදුකළ විශිෂ්ඨ නිර්මාණයකි. දේශපාලන බලවතුන් පිරිසක් විසින් මරාදමන ලද තරුණයෙකු ඊළග ආත්ම භවයේදී මැස්සෙකු ලෙස උපත ලබන ආකාරයත්, මෙකී මැස්සා විසින් පෙර භවයේ තමාව මරා දමනු ලැබූ සහ සිය පෙර භවයේ ආදරවන්තියට හිරිහැර කිරීමට පැමිණෙන එකී මිනීමරුවන්ගෙන් පළි ගනිමින් ක්‍රමයෙන් ඔවුන් මරණයට පත් කරන ආකාරයත් එහි අගනා ලෙස නිරූපණය කර තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 7 ක් වැය කර, ඇමෙරිකානු ඩොලර් මිලියන 24 ක ආදායමක් ඉඋපයනු ලැබූ Eega සිනමා නිර්මාණය ඉන්දීය ඉතිහාසයේ වැඩිම ලාභයක් ඉපැයූ ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ අතර ඉහළින්ම පවතින නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය. එකී නිර්මාණයෙන් පසු කිසිදු සිනමාවක් තුළ කෘමියෙකු වටා ගෙතුණු එවැනි අර්ධ සජීවීකරණ නිර්මාණ බිහි වී නොමැත.
1997 වසරේ නිර්මාණය වූ Mimic නම් වූ කැරපොත්තන් ගහනයක් පිලිබද සිනමා කෘතියෙන් පසු ප්‍රේක්ෂක මතකයේ රැදී පැවතිය හැකි මට්ටමේ නිර්මාණයක් මෙතෙක් බිහි වී නොතිබීම පුදුමයට කරුණකි. මේ නිසාම Man vs Bee නිර්මාණය ටෙලි කතා මාලා ප්‍රේක්ෂකයන් විසින් සාර්ථකව ග්රහනය කරගනු ඇති බවට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය විචාරකයන් විසින් විවිධ මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබේ. මේ නිසාම විවිධ අන්තර් ජාල සෙවුම් ක්‍රම ඔස්සේ දින කීපයක් තුළ සොයන ලද ටෙලි නිර්මාණ අතර Man vs Bee ටෙලි කතා මාලාව සීග්‍රයෙන් ඉදිරියට පැමිණෙමින් පවතින බව ද සදහන් කළ යුතු ය.
මෙම ටෙලි කතා මාලාව ප්‍රසිද්ධියට පත්වීමට ප්‍රබල හේතුවක් ලෙස ඔවුන් සදහන් කරන්නේ මෙහි ප්‍රධාන චර්තය ලෙස රෝවන් ඇට්කින්සන් විසින් සිදු කරනු ලබන ප්රහසනශීලි රංගනයයි. ඔහු විසින් සිය මුහුණේ විවිධ ඉරියව් මනාව හසුරුවමින් සිදු කරන රංගනය ඔහු වන්ව සිදු කළ හැකි වෙනත් රංගන ශිල්පියෙකු හොලිවුඩයේ නොව ලොව කිසිම සිනමාවක නැති බව විචාරකයන්ගේ ඒකායන අදහසයි.
දුලංජලී මුතුවාඩිගේ