මීගමුවේ කිතුණු තරුණ පෙළ සත්ව අහිංසා නැඹුරුවකට මුල පුරති

malu

කතෝලික බැතිමතුන් බහුතරයක් විසීම නිසා පුංචි රෝමය නමින් හඳුන්වන ලද මීගමු පුරවරයේ නව පරපුර අතරේ සත්ව අහිංසාව මුල් කොට ගත් සත්ව හිමිකම් සහ සුබසාධනය සම්බන්ධ නව පිබිදුමක් ඇති වී තිබෙන බව තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාධක මේ වන විට මතු වෙමින් පවතී.විශේෂයෙන් මීගමුව හා ඒ අවට සාම්ප්‍රදායික ධීවර පවුල් වලින් පැවත එන උසස් අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් හිමි කර ගත් 1980 දශකයේ සහ ඉන් පසුව පසුව උපන් තරුණ පරපුර තුළ මෙම නැඹුරුව විශේෂයෙන් දක්නට ලැබෙන බව පෙනී යයි.සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට නවීන විද්‍යා තාක්ෂණික අංග එක්වීම නිසා මීගමුවේ ධීවර ජනතාවගේ සමාජ ආර්ථිකය දියුණු වීම මත ගොඩ නැඟුණු මෙම නව මධ්‍යම පාන්තිකයන් ගේ දරුවන් බොහෝ දෙනකු ඉංග්‍රීසි ඇතුළු ජාත්‍යන්තර භාෂා නිපුනතා,විද්‍යා තාක්ෂණය සහ නවීන ආචාර ධර්ම පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් ඇති පිරිසකි.

මීගමු පුරවරයේ නව පරපුර අතරේ සත්ව අහිංසාව මුල් කොට ගත් සත්ව හිමිකම් සහ සුබසාධනය සම්බන්ධ මෙම නව පිබිදුම වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැකි සිදුවීමක් 2020 වසරේ වාර්තා විය.එනම් මීගමුව,පෙරියමුල්ලේ ශාන්ත අන්තෝනි මාවතේ අංක 69 දරන නිවසේ පදිංචි ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ගේ නිවසේ ආදරයෙන් ඇති දැඩි වූ මැක්ස් නම් සුනඛයා එම වසරේ වෙසක් පුන් පොහොය යෙදුණු මැයි මස 06 වන දා හිමිදිරියේ ඔවුන් ගේ අසල් වැසියකු වන විශ්‍රාම ලත් පොලිස් අධිකාරී වරයකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියයි.එම අමානුෂික ක්‍රියාව මුල් කොට මීගමුව ප්‍රදේශයේ තරුණ පරපුර සමාජ ජාල උපයෝගී කර ගනිමින් පළ කළ දැඩි අප්‍රසාදය සහ පිළිකුල මීගමු පුරවරයේ නව තරුණ පරපුර තුළ පවත්නා මෙම නව ආකල්පමය පිබිදුම විදහා දැක්වෙන නව දර්ශකයක් විය.

අප රටේ සෙසු ජන කොටස් අතුරින් රෝමානු කතෝලික ජනතාව මිත්‍රශීලීත්වය සහ සංග්‍රහශීලීත්වය අතින් ඉහළම තලයක පසුවන බව නොරහසකි.”:අසල් වැසියාට ප්‍රේම කිරීම”නම් වන කිතුනු දේව නියමය ඊට හේතු වන්නට ඇත.එමෙන්ම මීගමු වැසියන්ගේ ආහාර රටාව තුළ ද යම් සුවිශේෂත්වයක් දක්නට ලැබේ.එනම් ඔවුන් අප සමාජයේ සෙසු බොහෝ ජන කොටස් වලට වඩා මාංශ පරිභෝජනයේ රුසියන් වීම ය. ඔවුන්ගේ එම ආහාර රටාව සම්බන්ධයෙන් ඇතැම් ගම්මානවල සිංහල බොදු ජනතාව වෙතින් පළවූයේ බිය මුසු අප්‍රසාදයකි. එකම ආහාර වේලක් සඳහා දිය මස්, ගොඩ මස් යන දෙවර්ගයම ගැනීම, රාත්‍රී කාලයේ පවා පුළුටු වර්ග ආහාරයට ගැනීම, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, ජාඩි, විනාකිරි වැනි ගිනියම් ආහාර, අසීමාන්තිකව ආහාරයට ගැනීම ඒ බිය මුසු අප්‍රසාදයට හේතු විය.

මූලික බුදු දහමට අයත් නොවුණ ද බලි, තොවිල්, ශාන්තිකර්ම දේශීය බෞද්ධ සංස්කෘතිය තුළ මුල් බැසගෙන දැනට වසර දහස් ගණනකි. එහි දැක්වෙන අන්දමට යක්ෂ, ප්‍රේතාදීන් සඳහා දෙනු ලබන දොළ පිදේනි සඳහා දිය මස්, ගොඩ මස් සහ පුළුටු එක් කර ගත යුතුය. ඒ අනුව යක්ෂයන් ප්‍රේතයන් සඳහා කැප වූ එම ආහාර වර්ග දෙකක් එකම ආහාර වේලක් සඳහා එක් කර ගැනීමට සිංහල බෞද්ධ ගැමියෝ බිය වූහ. ඊට හේතුව එවන් ආහාර රටාවක් මගින් ඒවාට ලොල් වඩන එම අමනුෂ්‍යයන්ගේ බැල්ම තමන් සහ තම නිවෙස් වෙතට ද යොමු විය හැකි බවට ඔවුන් තුළ පැවැති විශ්වාසයයි.

එමෙන්ම ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, ජාඩි, විනාකිරි, තක්කාලි වැනි ආහාර යමකුගේ ශරීර සුවතාව සඳහා පදනම් වන ආහාර වට්ටෝරුවෙන් බැහැරින් බැහැර කළ යුතු බවට එවක සිංහල වෙද මහත්වරු රෝගීන්ට තරයේම අවවාද කළහ. එහෙත් මීගමු වැසියන් තුළ ඒ සම්බන්ධයෙන් ද කිසිදු වග විභාගයක් නොමැති වූ විට රට ඇතුළත ගම්බද වැසියන් විසින් එය විවේචනය කරන ලද්දේ ‘‘මීගමුව පැත්තේ මිනිස්සු කිසිම අණක් ගුණක් නැතුව යක්කුන්ගේ කෑමනේ කන්නේ’’ යනුවෙනි.

එබැවින් මීගමු වැසියන් විසින් අනුගමනය කරන ලද මෙම “යක්ෂ ආහාර” රටාව පිළිබඳව විමසුමක් කරනු පිණිස මම මීට වසර කිහිපයකට ඉහත මීගමු පුරවරය ආශ්‍රිත වැල්ලවීදිය, කාමච්චෝඩේ, තලාදූව, දූව පිටිපන ආදී ප්‍රදේශ කිහිපයක සංචාරය කොට ඇත්තෙමි.

මීගමු වැසියන්ගේ මෙම ‘‘යක්ෂ ආහාර’’ රටාව මීගමුව කේන්ද්‍ර කොට පැවැතිය ද හලාවත සිට හැඳල දක්වා වන ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ආසන්නයේ ධීවර වෘත්තිය මුල් කොට ගත් කතෝලික ජනතාව අතර එහි විවිධ අංග භාවිත වන බව පළමුව අවධාරණය කර ගත හැකි විය.

මීගමුව යනු පෘතුගීසි සහ ඕලන්ද යන ජාතීන් ගේ සෘජු පාලන බලයට නතු වූ ප්‍රදේශයකි. 1523 පෘතුගීසින් මීගමුවේ බළකොටුවක් තනා ගත් අතර 1644 වසරේ මීගමුවේ බලය ලන්දේසින් අතට පත්වීමත් සමග එහි ඕලන්ද බළකොටුව තැනිණ. මීගමු වැසියන්ගේ මෙම ‘‘යකාගේ ආහාර’’ රටාවට එම යටත් විජිත බලපෑම ද යම් තරමකට හෝ ඉවහල් වන්නට ඇත.

“මීගමුවෙන් ගොඩ දාන හැම මාළුවෙක්ම මීගමු මාළුවෙක් නෙවෙයි. මොකද? මීගමුවෙන් මූහුදු යන සමහර බෝට්ටු මාසෙ හමාර මහමූදේ නතර වෙලා මාලදිවයින මැඩගස්කරේ පැත්තෙනුත් මාළු ගේනවා. ඉතින් ඒවා මීගමු මාළු නෙවෙයිනේ. නමුත් පාරම්පරිකව අපි උයන්න පිහන්න ගන්නේ එදා උදේ හරි කලින් දවසේ රෑ හරි අල්ලන මීගමු මූහුදු මාළු විතරයි.’’ මීගමු වැල්ල වීදියේ දී හමුවූ කත්‍රිනා ප්‍රනාන්දු මහත්මිය මා හා එසේ කීවාය.

‘‘ඉස්සර අපේ අම්මල අයිස් දමපු මාළු ගෙදර පැත්ත පළාතට ගන්නේ නැහැ. ඒ වගේම පරණ වුණු, අයිස් දමපු මාළු දැක්ක හැටිය කියන්න ඒ අයට පුළුවන් වුණා කොහොමත් අල්ලලා පැය දොළහක්වත් යන්න කලින් ළිපේ තියන්න පුළුවන් නම් තමයි අපේ අම්මල මාළු ගෙදරට ගත්තේ. අදත් මේ පළාත්වල සමහරු ඉන්නවා. ඒ සිරිත ඒ විදිහටම අනුගමනය කරන ඇය වැඩිදුරටත් එසේ කීවාය.

ඉන්පසුව මම ඇඟට පතට නොදැනී මීගමු වැසියන්ගේ යකාගේ ආහාර රටාව පිළිබඳවද ඇගෙන් විමසා සිටියෙමි. එවිට ඇය කීවේ මීගමු ප්‍රදේශයේ ඇති මාළු බහුලත්වය සහ ආහාර පිණිස සපයා ගත හැකි වෙනත් ද්‍රව්‍යවල හිඟතාව මත එක් බත් පතක් සඳහා කිහිප ආකාරයකින් මාළු පිළියෙල කිරීම මීගමු වැසියන්ට අතීතයේ සිටම අරුමයක් නොවූ බව ය.”මෙහේ ඔය අනික් පළාත්වල වගේ ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් හරියන්නේ නෑනේ. ඉතින් බත් පතේ කිහිප තැනකටම මාළු බෙදා ගන්න තමයි අපේ මිනිස්සු ඒ කාලෙ ඉඳලම පුරුදු වුණේ”ඇය කීවා ය.එමෙන්ම එක් එක් මාළු වර්ගයේ ස්වභාවය අනුව ඒවා පිසීම සඳහා වන විවිධ ක්‍රම පිළිබඳවද පැරණි මීගමු කාන්තාවන් දැන සිටි බව ද කත්‍රිනා ප්‍රනාන්දු මහත්මිය කීවාය. ඒ අනුව සාමාන්‍යයෙන් අප මාළු පිසින ‘‘කිරට’’ ‘‘මිරිසට’’ යන ක්‍රම දෙකට අමතරව කුම්බලාවන් වැනි මාළු වර්ග තියුණු පිහියකින් පලා තෙළෙන් තැම්බීමක් පිළිබඳවද ඇය කීවාය. එසේ තියුණු පිහියකින් මාළුවා මත ඉරි ඇඳීම ඔවුන් හඳුන්වන්නේ ‘‘කේඳි ඇදීම’’ යනුවෙනි. එසේ සකස් කර ගන්නා මාළුවා අබ, ගම්මිරිස්, කහකුඩු සහ විනාකිරි මිශ්‍රණයක බහා තබා රම්පේ, කරපිංචා, ලුණු සහිත පොල්තෙල් තෙම්පරාදුවකින් තම්බා ගැනීමෙන් බත් පත සඳහා වෙන වෙනම ව්‍යංජනයක් ලෙස සකසා ගත හැක.

1940 වසරේ ජනවාරි 13දා පිහිටුවනු ලැබූ මීගමුව නගර සභා ලාංඡනයේ කකුළුවාගේ රූපයක්ද දක්නට ලැබේ. ඇතැම් විට යම් පළාත් පාලන ආයතනයක ලාංඡනයක් සඳහා ආහාර පිණිස ගනු ලබන සතකුගේ රූපයක් සටහන් වන්නේ නම් ඒ මීගමුවේ පමණක් විය යුතුය. ඊට හේතුව අතීතයේ සිට මීගමුව ඉස්සන්, දැල්ලන්, කකුළුවන් ආදී මුහුදු ආහාර සම්බන්ධ සුවිසල් ප්‍රසිද්ධියක් ලබා තිබීම ය. මීගමුවෙන් ලබා ගත හැකි කකුළු විශේෂ අතර දියෙහි සේම ගොඩබිමද සැරිසැරිය හැකි දිය සෙවලේ පැහැයේ කලපු කකුළුවන් විශේෂයක්ද ඇත. ඉස්සර මීගමු ගෙවල්වල ජාඩි මුට්ටිය වැරදුණේම නැහැ. මෙම සංචාරයේ දී හමුවූ මීගමු දූවේ පාරම්පරික ධීවරයකු වන ෆ්‍රැන්සිස් එමානුවෙල් ප්‍රනාන්දු මහතා කීය.

‘‘ඒ කාලේ අද වගේ ශීතකරණ නොතිබුණු හින්දා මාළු බහුල කාලෙට ඒවයින් කොටසක් ජාඩි දැම්මා. මාළු අරගෙන හොඳට කපලා හෝදලා ඒ මාළු මැටි මුට්ටියක ලුණු කැට, ගොරකා තට්ටු අතරේ තැන්පත් කරලා හුළං නොවදින්න තව හට්ටියකින් වහලා මාසයකින් හමාරකින් ගත්තාම ඒවා හොඳට ජාඩි වෙලා. හැබැයි හුළං වැදුණොත් පණුවෝ ගහන හින්දා සමහරු ඒ මූඩිය හුඹස් මැටිවලින් වහලා තමයි දුම්මැස්සේ තිබ්බේ. ඔය ජාඩි කොච්චි වගේ දේවල් දාල රස කර ගත්තම වෙන මුකුත් නැතුවත් ‘‘බත් මරන්න’’ පුළුවන්. ඒ වගේම කොස්, දෙල් වගේ දේවල් කන්නත් පංකාදු පහයි’’ හෙතෙම කීය.

මෙවන් පසුබිමක් යටතේ අපගේ රට ඇතුළත පිටිසර ගම්බද ජනතාව යක්ෂයන්ගේ ආහාර වශයෙන් හඳුන්වනු ලැබූ මුහුදු ආහාර විවිධාංගීකරණය සම්බන්ධ මීට වසර එකසිය දෙකක් පැරණි ස්මාරකයක් අදටත් මීගමුව කාමච්චෝඩේ ප්‍රදේශයේ දක්නට ලැබේ. Negombo Fish Market 1917 යනුවෙන් පිවිසුම් දොරටුවේ ඉහළින් සඳහන් ඉංග්‍රීසි ජාතිකයන් විසින් ඉදි කරන ලද පැරණි මාළු වෙළෙඳසලයි. මේ වන විට පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කළ හැකි මෙම ගොඩනැගිල්ල මුල් කොට ධීවර ජන කෞතුකාගාරයක් තැනවීම කෙරෙහි මීගමුව මහ නගර සභා, බස්නාහිර පළාත් සභා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු බලධාරීන්ගේ අවධානය යොමු වීම අතිශය වැදගත්ය.

මස් මාංශ යන සිංහල වදනෙන් මස් යන්නෙන් මසුන් හෙවත් මාළු යන්න හැඟවෙන අතර මාංශ යනුවෙන් ගොඩබිම සතුන්ගේ මාංශ පිළිබඳව ඇඟවේ. දේශීය ගැමි වහරෙහි දිය මස් – ගොඩමස් යනුවෙන් හැඳින්වෙනුයේද මේ දෙවර්ගයයි.
සාමාන්‍යයෙන් නත්තල් උත්සවය මුල් කොට ලොව පුරා වැඩිපුරම භාවිත වනුයේ කළුකුන් මස් ය. එහෙත් මීගමුවේ සාම්ප්‍රදායික ආහාර රටාව අනුව එහි වැසියන් තම නත්තල් කෑම මේසයේ කළුකුමාට හිමි තැන අත් කර දී ඇත්තේ ඌරාට ය. නත්තල වෙනුවෙන් සේම ප්‍රදේශයේ දේවස්ථාන මංගල්‍යය වෙනුවෙන් විවාහ මංගල්‍යයන් ඇතුළු සියලු උත්සව සාද වෙනුවෙන් මීගමු යක්ෂ ආහාර රටාව අනුගමනය කරන ජනයා ඌරු මසක් පිළියෙල නොකළහොත් එය ලෝක පුදුමයකි.”පිටපළාතකින් මීගමුවේ ගෙදරකට එන කෙනෙකුට ඌරු මස් ටිකක් එක්ක බත් කටක් කන්න නොදුන්නොත් ඒක ඒ ගෙදර අයගේ වගේම අමුත්තාගේ හිතටත් මදිකමක්.” එසේ කීයේ එම චාරිකාවේ දී මීගමු පිටිපන දී හමුවූ කුරුකුලසූරිය විනිෆ්‍රීඩා ප්‍රනාන්දු මහත්මියයි.

නමුත් මෙවර නත්තල් සමයේ මීගමුව සම්බන්ධ නවතම තොරතුරු පිළිබඳව කරුණු විමසූ මට එහි ඇති වී තිබෙන නව සංස්කෘතික වෙනස පිළිබඳ බොහෝ කරුණු වටහා ගත හැකි විය.එනම් නත්තල යනු හුදෙක් මස් මාංශ වල බඩ කට පුරවා ගැනීම පිළිබඳ සැමරුමක් නොවන බවත් බැහැපත් බව (Humble) සරල බව හා චාම් බව පදනම් කර ගත් දිළිඳුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු උතුම් ආධ්‍යාත්මික සැමරුමක් බවත් මීගමුවේ නව පරපුර මනාව වටහා ගෙන තිබීම ඊට මුල් වී තිබේ. ඒ අනුව නත්තල් කෑම මේසයේ තිබූ පුහු ආටෝපය ඉවත් කිරීමටත් හුදෙක් මස් මාංශ මත පදනම් වූ නත්තල් කෑම මේසයේ මාංශමය විවිධාංගීකරණය ඉවත් කොට සතුන් ගේ ජීවත් වීමේ උරුමය වැඩි වැඩියෙන් තහවුරු කිරීමටත් මේ වන විට මීගමු තරුණ පෙළ සැදී පැහැදී සිටිති.එය නම් මාව බුද්ධි පරිනාමයේ විශිෂ්ඨ සන්ධි ස්ථානයක් බව නොකියාම බැරි ය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර