මී මැසි පාලක කවියා දුටු “අවුරුද්දට පසු දා”

මී මැස්සා යන වදන සමඟම අපේ සිත් තුළ මැවෙන්නේ රසය මැවීම පිළිබඳ සංකල්පයක්. නමුත් අද අපි කතා කරන්නේ වෘත්තීය මීමැසි පාලකයකු ගේ කවි රස මැවීමක් පිළිබඳව. ඔහු තිස්ස බණ්ඩාර තඹවිට. මීමැසි පාලනය සම්බන්ධ පර්යේෂණාත්මක අද්දැකීම් සම්භාරයක් හිමි තිස්ස කාව්‍යකරණයට වගේම ළමා කතා සහ නවකතාකරණය පිළිබඳවත් ප්‍රතිභාවක් පළ කරන්නෙක්.

“අවුරුද්දට පසු දා” යනුවෙන් අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන ‘කුමරි බඹසර’ කෘතියෙන් උපුටා ගත් කවියක්.
සංයුක්ත කවියක ස්වරූපයෙන් යුතු වුවත් වියරණ කෙරෙහි පවා තැකීමක් නොකොට එළි සමය රැක ගනිමින් තම අදහස් ප්‍රකාශ කරන කවියා ඉතා කුඩා වචන ප්‍රමාණයකින් ප්‍රබල සමාජමය පණිවිඩයක් ගෙන ඒමට දරා ඇති වෑයම වෙනුවෙන් මේ කවිය අපි මෙවර ‘wall එක’ ට තෝරා ගත්තා.
“මී පැණි ගෙදර” නම් ළමා සාහිත්‍ය කෘතිය රචනා කිරීමෙන් සාහිත්‍ය සම්මානයකට පවා හිමිකම් කියන ඔහු මේ වනවිට තවත් සාහිත්‍ය කෘති කිහිපයක් එළි දැක්වීමට වෙර දරන බවක් පවසා හිඳිනවා. තිස්ස බණ්ඩාර තඹවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨයේ මීමැසි පාලන උපදේශකවරයා ලෙස ද කටයුතු කරනවා.

අවුරුද්දට පසු දා

පුස්කාපු
කැවුම් මලු
පෑල දොර
ඉගිලෙති ….
සිනාසුන
මිනිසුන්ම
පිට පාරේ
යති එති ….
මොනර කොළ
සිනාසුන
පර්ස් එක
ඔරවති ….
කොහා
පමණක් ගසේ
අවුරුද්ද
සමරති ….

තිස්ස බණ්ඩාර තඹවිට

wall එක