මී හරකුන් මරා මස් කර විකුණූ මැණික් මුදලාලි පොලිස් දැලේ

දකුණු පළාත ඇතුළු ඈත ප්‍රදේශවලින් මී ගවයන් සොරකම් කර මරා මස් කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගෙනැවිත් එළ හරක් මස් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලට හොර රහසේ අලෙවි කළ මහ පරිමාණ ජාවාරමක් මෙහෙය වූ බව කියන කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනෙක් මී ගවයන් 13 දෙනකු සහ එම ගවයන් මැරීමට යොදා ගත් උපකරණ තොගයක් ද සමග වලාන පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් වැලිපැන්නේ දී පෙරේදා (26) අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අතර මෙම මැණික් ව්‍යාපාරිකයා නිදහස් කර ගැනීමට හිටපු ජනාධිපතිවරයකුගේ ලේකම්වරයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කේ.ඒ උදය කුමාර සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික විරසිංහ යන මහත්වරුන්ට දිගින් දිගටම බලපෑම් එල්ල කර ඇතැයි ද වාර්තා වේ.එහෙත්, එම නිලධාරින් එම බලපෑම් ගණන් නොගෙන රාජකාරිය නිසියාකාරව ඉටුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම වැටලීම කර ඇත්තේ වලාන පානදුර දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට පෞද්ගලිකව ලැබුණු තොරතුරක් අනුව ය. දකුණු පළාත ඇතුළු ඈත ප්‍රදේශවලින් මී ගවයන් සොරකම් කර මරා මස්කර දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගෙනැවිත් දිවයිනේ විවිධ ප්‍රදේශවලට අලෙවි කිරීම මෙම ජාවාරම්කරුවන් දිගු කලෙක සිට සිදු කොට ඇති බවට තොරතුරු අනාවරණයවී යැයි පානදුර දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.ඒ අතර මෙම ජාවාරම් කරු ප්‍රබල දේශපාලනඥයකු ගේ සමීප හිතවතකු බව ද කියනු ලැබේ.

කාලීන පුවත්