මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශවාසීන් විසින් මරා දමන ලද අඳුන් දිවියන්, වල් බළලුන් සහ කොළ දිවියන්ගේ මළ සිරුරු මහ මඟ අද්දර දමා යන අවස්ථා බෙහෙවින් ඉහළ නගිමින් පවතින බවට වාර්තා ලැබෙමින් තිබේ. එම ප්‍රදේශයේ නිවෙස්වල කුකුළු කොටු, පරෙවි කූඩු, මාළු ටැංකි ආදියට රාත්‍රි කාලයට දඩයම් පිණිස කඩාවදින මෙම සතුන් සඳහා උගුල් අටවා ඔවුන් මරා දමන ඇතැම් ප්‍රදේශවාසීන් නීතියෙන් ගැලවීම පිණිස එම සතුන්ගේ මළසිරුරු අලුයම් යාමයේ ඊට තරමක් දුරින් පිහිටි ස්ථානවල මාර්ග අද්දරට ගෙන ගොස් දමන බව මේ වන විට තහවුරු වී තිබේ.රාජ්‍ය අනුග්‍රහය ද සහිතව මුතුරාජවෙල සිදුවන මහා පරිමාන පරිසර සංහාරයන් හමුවේ එම සතුන් ගේ ස්වාභාවික වාස භූමි සහ ආහාර රටා අහිමි වීම මත ඔවුන් මෙසේ නිවාස ආශ්‍රිත පරිසරයන්ට සංක්‍රමණය වන බව පැවසෙයි.‘‘මේ පරිසර පද්ධතියේ ජීවත්වෙන ඔය කියන සත්ත්ව විශේෂ තුන සම්බන්ධයෙන්ම පෙරට වඩා අන්තරාකාරී තත්ත්වයක් දැන් උදාවෙලා තියෙනවා. ඔවුන් වඳවී යෑමට මතුපිටින් පේන එක හේතුවක් තමයි මේ ප්‍රදේශයේ මාර්ග කාපට් කිරීම මුල් කොට රථවාහනවල වේගය වැඩිවීම නිසා ඔවුන් රිය අනතුරුවලට ලක්වීම. නමුත් මහ පාරවල් අයිනේ දකින්න ලැබෙන ඔය හැම වනජීවියෙකුගේම මරණයට හේතුව රිය අනතුරක් බව නිශ්චිතවම කියන්නට අපට බැහැ. සමහර විට තමන්ගේ වාසස්ථාන ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන ඔවුන් රහසිගතව මරා නීතියෙන් ගැලවීමට සමහරුන් ඒ සතුන්ගේ මළසිරුරු ඒ ආශ්‍රිත වෙනත් ප්‍රදේශවලට ගෙනැත් දමනවා වෙන්න පුළුවන්. මොකද ඒ මළසිරුරු තමන්ගේ ඉඩකඩම්වල වළ දැමීමේ යම් අවදානමක් පවතින නිසා.’’
මේ සම්බන්ධයෙන් අප විසින් කරන ලද විමසුමකට පිළිතුරු දුන් පමුණුගම, බෝපිටියේ මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පරිසරවේදී අරුණ වීරසිංහ මහතා කීවේ ද එවන් කතාවකි. 2009 වසරේ අංක 22 දරන වනසත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) ආඥා පනතට අනුව අඳුන් දිවියා, වල් බළලා සහ කොළ දිවියා යන මුතුරාජවෙල තෙත්බිම ආශ්‍රිතව ජීවත්වන වනජීවීන් විශේෂ තුනම දැඩි ලෙස ආරක්ෂිත සත්ත්වයන් ලෙස නම් කොට ඇත. එමෙන්ම හෙක්ටයාර් 1777කින් හෙවත් අක්කර 4390කින් යුතු මුතුරාජවෙල අභයභූමි සීමාව තුළදී හා හෙක්ටයාර් 3068 හෙවත් අක්කර 7580ක විශාල සමස්ත මුතුරාජවෙල තෙත්බිම තුළදී මෙන්ම දිවයිනේ වෙනත් ඕනෑම ප්‍රදේශයකදී මෙම වන ජීවියකු ඝාතනය කිරීම බරපතළ අපරාධයකි. ඒ සඳහා රුපියල් තිස් දහසකට නොඅඩු, රුපියල් ලක්ෂයකට නොවැඩි දඩ මුදලක් සහ වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට බලය පැවරී තිබේ. මෑතක සිට මෙම සතුන් කුමන්ත්‍රණකාරී ලෙස ඝාතනය කිරීමට ඇතැමුන් පෙළඹී හිඳිනුයේ ඒ නිසාය.
සාමාන්‍ය බළලකුට වඩා වැඩුණු ශරීරයකින් යුතු අඳුන් දිවියකු කිලෝග්‍රෑම් 7-16 අතර බරකින් යුතු අතර ශරීරයේ දිග සෙ.මී. 65-85 අතර වෙයි. වර්තමානයේ මෙන් අකල් මරණයකට ලක් නොවුණහොත් අවුරුදු දහයක පමණ ආයු කාලයක් මෙම වනජීවියාට හිමිය.
බළල් ලක්ෂණවලට වඩා කොටි ලක්ෂණ වැඩිපුර පෙන්වන සිරුරකින් යුතු අඳුන් දිවියා ඒකචාරී නිශාචරයෙකි. මසුන්, කුරුල්ලන් සහ කුඩා ක්ෂීරපායින් දඩයම් කොට ආහාරයට ගන්නා මොහු ජලයේ පිහිනමින් දඩයම් කිරීමටද හපනෙකි. ඝනවන් පඳුරුවලින් වැසීගත් වදුල ඇති ස්ථාන, ගස් බෙන, දිරාගිය රුක් කඳන්වල සැදුම්ලත් කුහර සේම ගල් පර්වතවල පැළුම් සහිත ස්ථානවල දිවා කාලයේ සැඟවී හිඳින අඳුන් දිවියා රාත්‍රි අඳුරේ ඉන් පිටතට පැමිණ ගැමියන්ගේ කුකුළු කොටුවලට ඉව නොඅල්ලන බවට සහතික වීමට මට නුපුළුවන.
වල් බළලා නම් වන සත්ව විශේෂය කිලෝග්‍රෑම් 03-16ක බරින් සහ සෙන්ටිමීටර් 50-94 දිගින් යුතුය. බාහිර පෙනුමින් ගෘහස්ථ බළලුන්ට සමාන වුවද ඔවුනට සාපේක්ෂවද උස් වූ පාද සහ කෙටි වලිගය මොවුන්ගේ අනන්‍යතා ලක්ෂණ අතර වෙයි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේදී කළු සහ දුඹුරු වර්ණයන්ගෙන් සහ දකුණු ප්‍රදේශයේදී රතු සහ කහ වර්ණයෙන්ගෙන් යුතු මෙම බළලුන්ද නිශාචර ඒකචාරී සත්ත්ව විශේෂයකට අයත්ය.මීට වසර ගණනකට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වල් බළලා රඳවා ඇති කූඩුවේ ඔහුගේ නමට යටින් ‘නපුරු සතෙකි’ යනුවෙන් වරහන් තුළ සඳහන් කොට තිබුණු අයුරු අපට මතකය.
ඊට හේතුව බාහිර පෙනුමින් සාමාන්‍ය බළලකුට සමාන බැවින් කුඩා දරුවන් එම කූඩුව තුළට ඇඟිලි දමන්නට යෑමෙන් ඔහුගේ සපාකෑම්වලට ලක්විය හැකි නිසා වියහැක. දැනුදු ඒ සඳහන එලෙසම තිබේදැයි නොදනිමි.ගස් නැගීමේ තමන් සතු සුවිශේෂ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් තුරු මත ඇති කුරුලු කැදලිවලට සේම නිවෙස්වල ඇති පරෙවි පෙට්ටිවලටද පිවිසීමේ පහසු හැකියාවක් මොවුනට තිබේ. මෙම අබිරහස් සතුන් අකාලයේ මරා දැමීමට එයද එක් හේතුවකි.එමෙන්ම මුතුරාජවෙල ප්‍රදේශයේ අටවන උගුල්වලට පසුගිය කාලය තුළ මොවුන් විශාල ප්‍රමාණයක් හසුව ඇත්තේ තමන් ප්‍රිය කරන ජීවී ආහාර ස්වාභාවික පරිසර පද්ධතියෙන් සොයා ගත නොහැකිව මිනිස් වාසස්ථාන වෙත සංක්‍රමණය වීමේ “වරදට” බව පෙනේ.
මුතුරාජවෙල මෙම මහා පරිමාණයෙන් සිදුවන තෙත් බිම් සංහාරය පිළිබඳව කරුණු විමසා බැලීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය කාලයේ එහි පැමිණ එම පරිසර සංහාරය මැඬලීම පිණිස අවශ්‍ය උපදෙස් අදාළ අංශවලට ඒ මොහොතේම ලබාදෙන ලදී. නමුදු ඒවා හුදෙක් හිස් වදන් පමණක්ත බවට පත්ව මුතුරාජවෙල පෙරටත් වඩා බරපතළ ලෙසින් පරිසර සංහාරකයන්ගේ ජයබිමක් බවට පත්ව ඇත.අප රටට සේම මුළු ලොවටම මාහැඟි සම්පතක්ව පවතින මෙම වනසත්ත්ව විශේෂ මෙලෙස අබිරහස් මරණවලට ලක්ව සදහටම වඳවී යෑමට එය ද එක් හේතුවක් බව නිසැකය.රේනුකා දමයන්ති