ජයසූරිය වේල්ල යන නම අප සමාජයේ බොහෝ දෙනකුට එතරම් හුරු පුරුදු නොවන්නට පුළුවන. එහෙත්,එනමින් යුතු වේල්ලක් කෙසේ වෙතත් කිලෝමීටර් දෙකක පමණ දුරකින් යුතු මාවතක් තිබේ. කොළඹ මීගමුව ප්‍රධාන පාරේ කඳාන නගර මධ්‍යයේ ඇති ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ ප්‍රතිමාව ළඟින් වමට හැරී කිලෝ මීටරයක පමණ දුරක් යන විට හමුවනුයේ නැදුරුපිටිය නම් ගම්වරයයි.ඉන් අනතුරුව පුරාවිද්‍යා ස්මාරකයක් ද වන පුරාණ ඕලන්ද ඇල හමු වෙයි. අද ඒ ඇලට සමාන්තරව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය වැටී තිබේ. ඊට ඉහළින් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ඉහලින් වැටී ඇති දැවැන්ත ගුවන් පාලම දැක ගත හැක. අද අපගේ මාතෘකාවට බඳුන්වන ජයසූරිය වේල්ල හමුවනුයේ එතැන් සිට ය. කිලෝ මීටර් දෙකක පමණ දිගින් යුතු ජයසූරිය වේල්ලේ අවසානය සටහන් වනුයේ පමුණුගමට අයත් නුගපේ හන්දියෙනි.
වේල්ල යනු කිසියම් ජලප්‍රවාහයක් පාලනය කරනු පිණිස කෘත්‍රිමව තනන ලද පවුරකි. එහෙත්, මේ ජයසූරිය වේල්ල එවැන්නක් නොවේ. එය අක්කර හාර දහසකට ආසන්න වපසරියකින් යුතු මුතුරාජවෙල තෙත් බිම් දෙකට බෙදෙන සේ තනා ඇති එකම පවුර වන අතර එම වේල්ල මුල සිටම භාවිතා කොට ඇත්තේ මාර්ගයක් ලෙසිනි. කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයත් ඊට විකල්ප මාර්ගයක් ලෙස මට්ටක්කුලිය, ඇලකන්ද, උස්වැටකෙයියාව, පමුණුගම ඔස්සේ මීගමුව දෙසට දිව යන මාර්ගයත් කඳාන ප්‍රදේශයේ දී එකට යා කෙරෙන මෙම ජයසූරිය වේල්ල කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදය මග හරිනු කැමති බොහෝ දෙනෙක් අතුරු මාර්ගයක් ලෙස භාවිතා කරති. එමෙන්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගය භාවිතා කිරීම සඳහා අමතර වියදමක් දැරීමට නොහැකි හා අකමැති බොහෝ දෙනකු ද කොළඹ මීගමුව මාර්ගයේ රථවාහන තදබදයෙන් අත්මිදී උස්වැටකෙයියාව පාරට “පැන ගන්නට” මෙම ජයසූරිය වේල්ල යොදා ගැනීම සුලබ සිදුවීමකි. අධිවේගී මාර්ගයේ යාමට වාසනා මහිමයක් නොමැති යතුරුපැදි කරුවන් දහස් ගණනක් ද දිනපතා මේ වේල්ල තරණය කරති. එහෙත්, මේ වන විට ඇද හැලෙන නිරිත දිග මෝසම් වැසි නිසා මෙම ජයසූරිය වේල්ල නම් මහා මාර්ගය වාරි මාර්ගයක් බවට පත්ව තිබේ. මේ පසුගිය කාලයේ එහි ගමන් ගත් යතුරු පැදි මහා මාර්ගය මැද ඇති දිය කඩිති තරණය කිරීමේ දී ඒවායේ ඇති වල ගොඩැලි වල වැටීම් නිසා අද වන විට ඇතැමුන් ඒ ජයසූරිය වේල්ල “ඇට බිඳෙන වේල්ල” යනුවෙන් ද හඳුන්වනු ඇසේ.
දුරාතීතයක් දක්වා නොදිවෙන්නක් වුවද මෙම ජයසූරිය වේල්ල තැනීම සම්බන්ධයෙන් ඇත්තේ ඉතා රසවත් කතා ප්රවෘත්තියකි. එහෙත්, මේ වන විට ඒ කතා ප්‍රවෘත්තිය එම ප්‍රදේශ වල වැසියන් ගේ සිත් සතන් වලින් පවා මුලුමනින් ගිලිහෙමින් තිබේ. අඩුම තරමින් ඔවුන් ගෙන් බහුතරය ඊට ජයසූරිය යන නම සහ වේල්ල යන්න යෙදුණු අන්දමවත් නොදනිති.
1931-1946 කාල සීමාව තුළ අප රටේ පැවැති රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ගම්පහ ආසනය නියෝජනය කළ ඩී.පී. ජයසූරිය හෙවත් දොන් පන්තිනියස් ජයසූරිය අමුතුම නමකින් සේම අමුතුම ගති පැවතුම් සමුදායකින් යුතු චරිතයකි. කඳාන ප්‍රදේශයේ ප්‍රභූ පරපුරකට අයත් ඔහු ප්‍රදේශවාසීන් විසින් හඳුන්වන ලද්දේ “පන්ති මහත්තයා” යන නමිනි. අඩි පහක් තරම් වත් උස නැති කඩියකු මෙන් කඩිසර පන්ති මහත්තයා තම උපැස් යුවල යටින් එල්ල කළ තීව්ර බැල්මකින් යුතු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “පුංචි” මිනිසෙකි. සමාජයේ උස් පහත් මට්ටම් හුවා දැක්වෙන පන්ති භේදය තුට්ටුවකට වත් ගණන් නොගත් මේ පන්ති මහත්තයා ධීවරයාගේ රා මදින්නාගේ ද පොල් කඩන්නා ගේ ද කුලී වැඩකරන්නා ගේ ද කරට අත දමා ගෙන නූතන ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිව හොත් “මචං බාසාවෙන්” කතා කළ අමුතුම ජාතියේ මිනිසෙක් බව මීට දශක කිහිපයකට ඉහත පමුණුගම නුගපේ පාරම්පරික ගැමියකු වූ ඩී. ජී. රුද්‍රිගු මහතා මා හා කීය.
ඒ කාලයේ නුගපේ ගම්වාසීන්ට තමන්ට එදිනෙදා වුවමනා ආහාර කළමණා මිලට ගැනීමට තිබූ නගරය කඳාන ය.එහෙත්, එවක එය ප්රකටව තිබුණේ “අම්බලම් දෙක’ ලෙසින් මිස කඳාන ලෙසින් නොවේ. කඳාන එවකට අම්බලන් දෙක යනුවෙන් හැඳින්වීමට හේතුවක් තිබිණ. එනම් වත්මන් කඳාන පොලීසිය ඉදිරියේ හා පැරණි ඩී.ආර්.ඕ. කාර්යාලය පාර ආරම්භයේ සියවස් ගණනක් පැරණි අම්බලන් දෙකක් තිබූ බැවිනි. එක් දහස් නවසිය හතලිහේ දශකය තෙක්ම මුතුරාජවෙලින් ඔබ්බෙහි ජනතාව කඳානට ඒ නම හඳුන්වන ලද්දේ ‘අම්බලන් යාම’ යනුවෙනි. එහෙත්, ඒ වන විට නුගපේ සහ මුතුරාජවෙලින් මෙපිට නැදුරුපිටිය යා කෙරෙන මාර්ගයක් නොවූ බැවින් එකල නුගපේ ගැමියන් අම්බලන් යාම කරන ලද්දේ මුතුරාජවෙල වගුරු බිම තරණය කරමිනි.
“ඒ කාලේ මිනිස්සු අම්බලන් ගිහින් බඩු ගෙනාවේ ගෝනියක දලා කරේ තියා ගෙන. නැදුරුපිටියේ ඉඳන් නුගපෙට එනකම් මඩ ටිකක් නොගැවී වෙලෙන් ගොඩවෙන්න කිසිම ජගතෙකුට බෑ ….. එවැනි කාලෙට සමහරු ආවේ මඩ නාගෙන.අම්බලන් යන කොට සමහරු සරම ගුලි කරගෙන වෙලට බැහැලා එගොඩට ගිහින් ඕලන්ද ඇලෙන් මූණ අත පය සෝදා ගෙන තමයි සරම ඇඳ ගත්තෙත්.” එක් දහස් නවසිය හතලිහේ දශකය මතකයේ රඳවා ගත හැකි නුගපේ ඩී. ජී. රුද්‍රිගු මහතා මා හා කියා තිබේ.
කෙසේ හෝ දෙවන ලෝක යුද සමය නිමාවීමත් සමඟම ගම්මුන් ගේ මේ දුක් ගැනවිල්ල පන්ති මහත්තයා වෙත යොමු වනු ලදුව ඔහු ද එහි සත්‍යතාව පසක් කරනු පිණිස නැදුරුපිටියේ සිට පාගමනින් ම මුතුරාජවෙල තරණය කොට නුගපෙට සේන්දු වී ඇත.
“මම කොහොම හරි උඹලාට මේ වෙල මැද්දෙන් යන්න පාරක් හදලා දෙනවා දෙනමායි. එහෙම බැරි වුණොත් ලබන සැරේ මට ඡන්දේ නොදී විතරක් ඉන්න එපා” මට ජුහ් ජුහ් කියලා කතා කරපල්ලා” පන්ති මහත්තයා නුගපේ පැවැති ජන හමුවකදී අසුරු සන් හඬ නංවමින් එසේ පවසා ඇත්තේ සද්භාවයෙන්ම විය යුතුය. එහෙත්, දෙවන ලෝක සංග්‍රාමය නිමාවේ එවක රට පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ මාර්ග සංවර්ධනය මුලුමනින්ම නවතා දැමීම මත නුගපේ ජනතාවට දුන් පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වූ පන්ති මහත්තයා වික්ෂිප්ත වූවාට සැක නැත. ඒ අනුව රජයේ වියදමින් එම මාර්ගය තැනීමට පවා අඩුම තරමින් මාර්ග සැළසුමක් වත් සකස් කිරීමට නොහැකි ඔහු අවසානයේ ඉතා දැඩි හිතුවක්කාර තීරණයකට එළැඹිණි. එනම් නැදුරුපිටිය නුගපේ අතර මාර්ගයක් තැනීම කෙසේ වෙතත් එම වගුරු බිම වැසී යන සේ දැවැන්ත පස් පිරවුමක් කිරීමට ය. ඒ අනුව 1944 වසරේ පමණ ඇරඹු දැවැන්ත පස්පිරවුම 1947 වසරේ නිමා වන විට එම කිලෝමීටර් දෙකේ ප්‍රමාණයෙන් යුතු අඩි හතරක් පමණ උස වේල්ලක් ලෙස සැමට දිස්විය. එමෙන්ම පස් කියුබ් ලක්ෂයක් පමණ පුරවා කළ ඒ කාරිය එවක පැවැති පහසුකම් යටතේ නිසැක ලෙසම යෝධ කාරියක් විය.
අප රටේ පැවැති මුල්ම ජාතික මැතිවරණය 1947 වසරේ පැවැති අතර එතෙක් බටහිර දෙසින් මහ මුහුද තෙක්ම විහිද ගත් ගම්පහ ආසනයෙන් කොටසක් ජාඇල ආසනය ලෙස වෙන් කරන ලදී.එය තම ගම් ප්‍රදේශයේ ජනතාවට අතිශයින් හිතවත් ව සිටි පන්ති මහත්තයාට එය ඉබ්බා දියේ දැමීමක් වූ බවට සැක නැත. එම මැතිවරණයෙන් බහුතරය හිමි නොවුණද සමස්ත ලංකා දෙමළ කොන්ග්රසය හා සන්ධානගතව බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පන්ති මහත්තයා ජාඇල ආසනයේ මුල්ම මන්ත්‍රීවරයා වශයෙන් තේරී පත් වූයේ විශාල වැඩි ඡන්ද ප්රමාණයකිනි.එම ජයග්රහණයෙන් උදම් වූ පන්ති මහත්තයාගේ සගයෝ ඒ වන විට මිනිසුන් අතර ජයසූරිය වේල්ල යනුවෙන් ප්‍රකට වූ මාර්ගය විවෘත කිරීමට එවක ප්‍රසිද්ධ වැඩ සහ කර්මාන්ත ඇමති ශ්‍රීමත් ජෝන් කොතලාවල හට ඇරැයුම් කරන ලදී. මෙහිදී ජෝන් කොතලාවලයන් අලියකු පිට නැගී ජයසූරිය වේල්ල විවෘත කිරීම ද විශේෂ සිදුවීමක් විය. ඊට හේතුව ඒ වන විට ඒ මාර්ගයට තාර දමා නොතිබීම ද නැතහොත් ඔහු සේම පන්ති මහත්තයා නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය ද අලියා වීම ද යන්න අවිනිශ්චිතය.
“අද මං යෝධයෙකු ගේ යෝධ වැඩක් දැක්කා. මේ යෝධයා තමයි තමුනාන්සේලා ගේ මන්ත්‍රී ඩී. පී. ජයසූරිය.නමුත් අනිත් කිසිම යෝධයෙකුට දෙවෙනි නැති මේ යෝදයාගේ ලොකු වෙනසක් තියනවා. ඒ තමයි මේ යෝධයා අඩි හතරක් උස යෝදයෙක් වීම”
එම විවෘත කිරීමේ උත්සවයේ දී ශ්‍රීමත් ජෝන් කොතලාවලයන් කළ ඒ කතාවත් සමඟ ජාඇල ජනතාව විසින් පන්ති මහත්තයා අඩි හතරේ යෝධයා යන නමින්ම ජන කරලියේ “බෞතීස්ම” කරන ලදී.පසුව අඩි හතරක් උසට තිබූ ජයසූරිය වේල්ල මතට තාර වැටීමෙන් පසුව එය අඩි දෙක තෙක් ගිලා බැස තිබූ අතර 1970 දශකයේ අගභාගයේ පමණ සිට ඒ දෙපස මානව ජනාවාසයන් සඳහා සිදු කරන ලද මහා පරිමාන පස් පිරවීම නිසා අද වන විට අඩි හතරේ යෝදයා තැනූ ඒ සුවිශේෂ වේල්ල පහත් බිමක් බවට පත්ව ඇත.එනිසාම එය මේ වන විට සුළු වර්ෂාවකදී පවා මුතුරාජවෙල තෙක් බිමට යටවීමේ ඛේදවාචකයට ලක් වෙමින් තිබේ.ඒ අතරේ මේ වන විට ඒ මහා නිමැවුම් කරු ගේ නම පවා ජන මනැසින් මුලුමනින්ම සෝදා පාළු වී ඇති අතර ඔහුගේ සේයාරුවක් සොයා ගැනීමට අප දැරූ උත්සාහය පවා ව්‍යවර්ථ වූ බව සඳහන් කරනුයේ සාතිශය සංවේගයෙනි.
තිලක් සේනාසිංහ