මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට එරෙහිව කාදිනල් තුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමුද්‍රාසන්න තෙත් බිම් කලාපයක් වන ගම්පහ දිස්ත‍්‍රික්කයේ මීගමුව, වත්තල හා ජා ඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ පිහිටි ඉඩම් හෙක්ටයාර් 3862 කට අධික ප‍්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කර ඇත.
නීතිඥ සඳුන් නාගහවත්ත මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍ය අගමැති මහින්ද රාජපක්‍ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී විෂයභාර අමාත්‍ය සී. බී. රත්නායක, ඇතුළු 18 දෙනකු නම්කර ඇත.ජනාධිපති වරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව මුතුරාජවෙල රැම්සා තෙත් බිමක් ලෙස සංරක්ෂණය කිරීම අරමුණු කොට ඇතත් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති මුතුරාජවෙල අභය භූමිය ඇතුළු සමස්ත තෙත් බිම් පද්ධතියම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් පසු එය විවිධ මානව ක්‍රියාකාරකම් සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට පැවරීමට පහසු හැකියාවක් පවතින බව නීතිවේදීන් සහ පරිසරවේදීහු පෙන්වා දෙති.
.එමෙන්ම මෙම ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාදීමට එරෙහිව කොළඹ අගරදගුරු මැදුරේ සෙත් සරණ කරිටාස් ආයතනයේ අධ්‍යක්‍ෂ ලෝරන්ස් රාමනායක පියතුමන්ද, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය 05 දා පැමිණිලි කොට තිබිණි.

කාලීන පුවත්