මුතුරාජවෙල තෙත් බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් එක් තැනැත්තකුට අලෙවි කොට ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) දැඩි අවධානයට යොමුවී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ පරිසරවේදීන් විශාල උද්ඝෝෂණ සිදු කළ ද ඉන් කිසිදු ඵලක් නොවිණි.එක්තරා කූට ජාවාරම් කරුවකු ගම්පහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාලයට මුදල් ගෙවා මෙම මිලදී ගැනීම කර ඇති අතර ඒ සඳහා උදව් කර ඇතැයි පැවසෙන එම දෙපාර්තමේන්තු නිලධාරීන්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් මෙතෙක් කර නොතිබීම ගැන කෝපා කමිටුව විමතිය පළ කර ඇත.මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවා ඇතත් ඔවුන් පැමිණීම මග හැර ඇත.ඒ පිළිබඳව එම කාරක සභාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කර ඇතැයි කෝපා කමිටු වාර්තාවක සඳහන්වේ.මේ අතර පරිසර සංවේදී මුතුරාජවෙල භූමියට කිසිවකුට හෝ අනවසරයෙන් ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවටත් එහි කිසිදු ගොඩ කිරීමක් නොකිරීමට වගබලා ගත යුතු බවටත් කමිටුව පරිසර අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලට උපදෙස්දී ඇත.මෙම මිල දී ගැනීම කළ පුද්ගලයා මුතුරාජවෙල පරිසර සංහාර වෙනුවෙන් අධිකරණය මඟින් දඬුවම් ලත් අයකු බව පරිසරවේදීහු පවසති.