මුතුරාජවෙල මීගමු කලපු ඉසව්වේ අඟුලකින් සවාරියක් යමුද?

මුතුරාජවෙල තෙත් බිම සහ මීගමු කලපුව පිළිබඳව අපි කොතෙකුත් අසා තිබෙනවා. ඒ තොරතුරු වැඩි කොටසක් අපට දැන ගන්නට ලැබෙන්නේ ඒ පරිසර පද්ධතීන් මුල් කර ගත් පාරිසරික හානි පිළිබඳ විස්තරත් සමඟයි. ඒ බොහෝ කරුණු සත්‍ය වුණත් මුතුරාජවෙල තෙත් බිමේ සහ මීගමු කලපුවේ ජෛවමය අගය සහ සොබා සොඳුරු බව තවමත් මුලුමනින්ම වැනසී නැහැ.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ වැඩි කොටස මුතුරාජවෙල තෙත් බිම මැදින් වැටී ඇති අතර එහි අවසන් කොටසේ දී ඔබට මීගමු කලපුව දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් හිරු බැස යන සන්ධ්‍යා කාල වලදී මීගමු කලපුවේ දර්ශනය කොතෙක් මනරම් ද කිවහොත් අධිවේගී මාර්ගයේ වාහන නතර කිරීමේ තහනමක් නොතිබුණා නම් ඒ ඉසව්ව සොබා දහමේ රසය හඳුනන පරිසර ලෝලීන් ගෙන් පිරී ඉතිරී යන්නට වුවත් පුළුවන්.

නමුත් අද අපි ඔබට දැනුම් දෙන්නේ මුතුරාජවෙල තෙත් බිමේ සහ මීගමු කලපුවේ අසිරිය සිත් සේ විඳගත හැකි අපූරු මංපෙතක් පිළිබඳවයි.
පමුණුගම, බෝපිටියේ, ඉඳිගස්ලන්දේ පිහිටි මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය කියන්නේ මුතුරාජවෙල තෙත් බිමේ සහ මීගමු කලපුවේ පාරිසරික යහපැවැත්ම අරමුණු කර ගත් ප්‍රජා ක්‍රියාකාරී සංවිධානයක්. ඒ පරිසර කේන්ද්‍රය මගින් මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් රාශියක් සිදු කරනවා.ඊට අමතරව මේ වන විට පාරිසරික වශයෙන් සැළැකිය යුතු හානියකට ලක් නොවූ මුතුරාජවෙල තෙත් බිමේ උතුරු කොටසත් මීගමු කලපුවේ දකුණු කොටසත් එක්කර ගන්නා චාරිකා වැඩසටහන් ද ඒ පරිසර කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය සංවිධානය කොට ඇති අලුත්ම වැඩසටහනක් වන්නේ ඒ අගනා පරිසර පද්ධතිය මුල් කොට සිදු කරන ජලජ යාත්‍රා සංචාර වැඩසටහනයි. මෙහි දී ඔවුන් ඒ සංචාර සඳහා සාම්ප්‍රදායික අඟුල නම් වන ජල යාත්‍රා යොදා ගන්නවා. ඒ පරිසරයට සිදුවන අනර්ථකාරී බලපැම් මඟහරවා ගැනීම පිණියසි. ඒ අනුව මුතුරාජවෙල ආශ්‍රිත මීගමු කලපු පද්ධතියේ පුරා පැය දෙකක පමණ කාලයක් අඟුලකින් සංචාරය කිරීමේ අවස්ථාව ඔබට උදා කර ගන්න පුළුවන්. මේ කාලය තුළ එම අගනා පරිසර පද්ධතියේ සොබා සොඳුරු බව අත්විඳීමට වගේ එම පරිසරයේ සත්ව ශාක ප්‍රජාව පිළිබඳ සජීවී අත්දැකීම් ලබන්නටත් ඔබට හැකි වනු ඇති. ඒ සඳහා ඔබට ඒ පරිසර පද්ධතිය පිළිබඳ දැනුම් අවබෝධයන් ගෙන් යුතු සංචාරක මඟ පෙන්වන්නකු සේ කටයුතු කරන මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ ස්වේච්ඡා පරිසර නියාමකයකු ගේ සේවය ලබා ගන්නට පුළුවන්.

පළපුරුදු අඟුල් පදවන්නන් ගේ සේවය ලැබීමත් ජීවිතාරක්ෂක කබා සහිතව යාත්‍රා කිරීමත් නිසා මේ අඟුල් සංචාරය අනතුරුදායක නැහැ. එක්වරකට වැඩිහිටි පුද්ගලයන් හය දෙනකුට මෙම අඟුලක ගමන් කළ හැකියි.

එමෙන්ම උදෑසන හි නැඟෙන මොහොතේ සහ සවස හිරු බැසයන මොහොතේ මේ මුතුරාජවෙල මීගමු කලපුව ආශ්‍රිත අඟුල් සංචාරයක යෙදීමෙන් ඔබට මනා පාරිසරික සුන්දරත්වයක් වගේම එම පරිසර පද්ධතියේ පක්ෂීන් ඇතුළු සත්ව ප්‍රජාව පිළිබඳ වැඩි දැනුමක් අවබෝධයක් ලබා ගත හැකි බව මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ වීරසිංහ මහතා පවසනවා .ඒ අනුව මේ අගනා පරිසර පද්ධතියේ අඟුල් සංචාරක කැමති ඔබට 011-4030150 අංකය අමතා ඒ සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගත හැකියි.

දමයන්ති ගමගේ

හරිත දනව්ව