මීට දින දෙකකට පමණ පෙර මගේ ‘වට්ස්ඇප්’ පිටුවට ශ්‍රී ලංකාවේ මගේ හිතාදර මිත්‍රයකුගෙන් ලිපියක් ලැබුණි. එම ලිපිය ඉන්දීය නිදහස් ජනමාධ්‍යවේදියකු වන රජීව් ශර්මා නමැත්තෙකු විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි. ශර්මා විසින් මෙම ලිපිය ලියා ඇත්තේ 2012 ඔක්තොම්බර් මස 25 වැනිදා යැයි මට එවන ලද ලිපියේ සඳහන් වී ඇත. ඒ ශර්මා නියෝජනය කරන වෙබ් අඩවියකට ය. එම වෙබ් ලිපිනය ද එහි සඳහන් ය. මෙම ලිපිය මගින් විමසා ඇත්තේ රටේ එක්තරා කණ්ඩායමක් විසින් ව්‍යාපෘතිවලින් කොමින් ගිලින ආකාරය බව ලිපියේ ‘හෙඩිමේ’ සඳහන් ය.
මා පුදුමයට පත්වූයේ එම ශීර්ෂ පාඨයෙන් නොවේ. ලිපිය ලියන ලද රජීව් ශර්මා නැමැත්තාගේ නම අන්තර්ජාලයේ සටහන් කිරීමෙන් ඉක්බිතිව ය. ශර්මා මේ වනවිට දිල්ලි රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කලක් තිස්සේ ඉන්දීය බුද්ධි තොරතුරු, චීන බුද්ධි තොරතුරු අංශය වෙත සපයා මුදල් ලබා ගෙන ඇතැයි කියන චෝදනා යටතේ ය. 2020 සැප්තැම්බර් 14 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන බවත් අන්තර්ජාලයේ සඳහන් ය. දිල්ලි පොලිසිය මෙම චෝදනා පත්‍රය ගොනුකර ඇත්තේ 2021 මුල් කාර්තුවේ දී වන අතර ළඟදීම මෙම පුද්ගලයා අධිකරණය හමුවට පමුණුවන බව ද දැක්වේ. සිය සැමියා අත්අඩංගුවට ගැනීම සාපරාධි කුමන්ත්‍රණයක් යැයි සඳහන් කරමින් ශර්මාගේ බිරිඳ දිල්ලි පොලිසියට ලිපියක් ලියා තිබේ.
රටේ වත්මන් පාලනයට සහ පක්ෂ නායකයින්ට විරුද්ධව එල්ල කරන විවිධාකාර චෝදනා මුහුණු පොත හා වට්ස්ඇප් හරහා නොලැබෙන දිනයක් නැති තරම් ය. ඊට අමතරව දිනපතා රූපවාහිනි ප්‍රවෘත්ති නරඹන විට අසන්නට හා දකින්නට ලැබෙන්නේ රටේ තැනින් තැන මතු වී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන නියෝජිතයින්, ඔවුන්ගේ අනුගාමිකයින් සහ ආණ්ඩුවට එරෙහි වෘත්තීය සමිති සමාගම් ආදිය නගන මැසිවිලි ය. නැතිනම් රජයට එරෙහිව නැගෙන උද්ඝෝෂණ ආදියයි. මේ වනවිට රට පුරා කොරෝනා වසංගතය තදින් පැතිරෙමින් තිබේ. ඒකා පිට එකා මළත් කමක් නැතැයි සිතෙන හා පෙනෙන ආකාරයට පොදි බැඳන් ආණ්ඩුව පළවා හැරීමේ මහා සටනක් රටේ සිව්දිග පවතින බවක් පෙනේ.
එබඳු සටනක ප්‍රතිඵලය විය හැක්කේ දරාගත නොහැකි පීඩනයක් අවසානයේ සමහර දේශපාලන නායකයින්ට ඉවත් වන්නට සිදුවීමයි. එසේ වුවහොත් ඒ වෙනුවට වෙනත් දේශපාලන පක්ෂයක නායකයින් බලයට පත්වීමයි. ඔවුන් රටේ ජාතික ධනය කොල්ල නොකාවි යැයි සහතිකයක් දිය හැකි කිසිවෙක් හෝ සිටීදැයි මම නම් නොදනිමි. මේ වනවිට ආණ්ඩුවට එරෙහි ප්‍රධාන දේශපාලන බලවේග කීපයක් පෙනෙන්නට තිබේ. එහෙත් ඒවායේ නායකයින් කිසිවෙක් රට පාලනය කර නැත. එබැවින් ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ හැඩරුව කෙබඳු වේදැයි කිසිවෙක්ට අනාවැකි පළ කළ නොහැකි ය.
ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය තරම්ම පැරැණි කතාව වන්නේ දේශපාලනඥයින්ගේ සොරකම් ය. “රටේ ජාතික ධනය සොරකම් කිරීම තමන්ගේ අරමුණ..” යැයි කිසිම දේශපාලනඥයෙක් ජන්දයෙන් දිනීමට පෙර ලොව කොතැනකදීවත් කියා නැත. ඔවුන් සියලු දෙනාගේ එකම හඬ වන්නේ රටත්, ජනතාවත් සුඛිත, මුදිත කිරීම තමන්ගේ හා සිය පක්ෂයේ ප්‍රධාන භූමිකාව බවයි. බොහෝ රටවල ජනයා මෙම කතා විශ්වාස කරති. එපමණක්ද නොව, මෙම දේශපාලනඥයින්ගේ හඬට රටවල කීර්තිමතුන්, බුද්ධිමතුන් පවා රැවටෙති. ඔවුන් සමග එකම වේදිකාවට නැග ජනතාවට ආමන්ත්‍රනය කරති. තමන් ආදරය කරන කීර්තිමතුන් හා බුද්ධිමතුන් ද ජන්ද අපේක්ෂකයන් වනු දකින ලොව ජන්දදායකයෝ ඔවුන්ට ද කතිරය ගසා පාර්ලිමේන්තුවට හෝ වෙනත් උත්තරීතර ආයතනවලට පත්කොට යවති. එහෙත් නොබෝ කලකින් කීර්තිමත් හා බුද්ධිමත් ’දේශපාලනඥයින්’ද නිහඬ වෙති. දූෂිත දේශපාලන පීඩනයේ ගොදුරු බවට පත්වී දේශපාලන වරප්‍රසාද පමණක් භුක්ති විඳින පංතියේ ‘ශිෂ්‍යයින්’ බවට පත්වෙති.
ලොව ඇතැම් රටවල බොහෝ දේශපාලනඥයින්ගේ උමතුව වන්නේ මුදල් ය. ඔවුන් මුදල් පසුපස හඹා යන්නේ දේශපාලන වියදම් සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන වාතාවරණය හේතුවෙනි. මේ පිළිබඳ කණගාටුවක් අප සිත් තුළ වැඩෙන්නට දීම ප්‍රයෝජනවත් නොවේ. මන්ද රටක දේශපාලනඥයන් මුදල් ‘අච්චු ගසන’ යන්ත්‍ර බවට පත්කර ඇත්තේ එම රටේ ජනතාව විසින් ය. දේශපාලනඥයින්ට ඇති තන්හාව අවසන් කිරීමට නම් ලොව පවතින මෙම ක්‍රමය වෙනස් විය යුතුය. එය කළ හැක්කේ ද රටක ජනතාවටම පමණී.
අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට