මුදල් ඇමතිගේ ‘අතමාරු’ ඉන්දීය චාරිකාව

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක් සඳහා සුදානම් වන්නේ මාස කිහිපයක සිට ය. ලබන සතියේ ඔහුට ඒ වෙනුවෙන් ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවීමට අවස්ථාව හිමිව තිබේ. ඊට අමතරව ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් ද හමුවීමට නියමිත ය. මීට මාස කිහිපයකට ඉහත දී ඔහු ඉන්දියාවේ සංචාරය කළ අතර එහි දී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

නැවතත් අවස්ථා කිහිපයක දී යළිත් ඉන්දිය සංචාරයක් සඳහා සුදානම් වුවත් ඊට අවස්ථාව හිමිවූයේ නැත. නමුත් ඉකුත් සතියේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ඉන්දීය විදේශ අමාත්‍යාංශය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් කාලය වෙන් කර ඇති බව ය.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඉන්දීයාවේ යාමට සුදානම් වන්නේ ණය මුදලක් ඉල්ලා ගැනීමට ය.රාජ්‍ය තාන්ත්‍රික කතා පැත්තකට දමා ගමේ ගොඩේ බාසාවෙන් කිව හොත් මෙය “අත මාරුව”කි. ඩොලර් බිලියනයක ණයක් මෙරටට ලබා දීමට ඉන්දියාව එකඟ වුව ද එය දිනෙන් දින කල් යාම නිසා මුදල් ඇමතිවරයා ඉන්දියාවට ගොස් මේ ගැන සාකච්ඡා කිරීමට සැලසුම් කළේය.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා එම හමුවට වේලාව වෙන් කර ගත්ත ද පසුව එය අවලංගු විය. දැන් නැවත ඔහුට ඒ සඳහා අවස්ථාව උදාවී තිබේ. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් විමසා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය පා කිරීමට තීරණය කළේ මුදල් ඇමතිගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් ද යන්නයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ අගය රුපියල් 202 ක මට්ටමක සිරකරගෙන සිටියේ කාලයක පටන් ය. එහෙත්, ඉකුත් අගහරුවාදා මහ බැංකුව විශේෂ නිවේදනයක් කරමින් සඳහන් කළේ ඩොලරයේ අගය 230 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව ය. මෙම තීන්දුව ගැනීමට පෙර බැංකුවල ඩොලරයට ගෙවූ මුදලට වැඩා වැඩි මුදලක් විවෘත වෙළෙද පොලේ ගෙවනු ලැබී ය.

විවෘත වෙළෙද පොලේ ඩොලරයට රුපියල් 240 ත් 260 ත් අතර මුදලක් ගෙවද්දී බැංකුවලින් ගෙවනු ලැබූවේ ඩොලරයට රුපියල් 202 ක මුදලකි. එම නිසා විදේශ ප්‍රේෂණ බැංකු හරහා පැමිණියේ නැත. විදෙස්ගත ශ්‍රමිකයෝ තම මුදල් “කළු කඩ” හරහා ලංකාවට එවූහ. එම නිසා රටට ඩොලර් පැමිණියේ නැත. රට තුළ තිබෙන රුපියල් පමණක් එහා මෙහා විය.

ඩොලරයට බැංකුවකින් 202 ක් ගෙවද්දී බැංකුවෙන් පිටත වෙළෙද පොලේ රුපියල් 240 ක් ගෙවීම නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් උන්ඩියල්, හවාලා වැනි නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ලංකාවට මුදල් එවූවේ තම ඥාතීන්ට වැඩි රුපියල් ප්‍රමාණයක් ලබා දීම වෙනුවෙනි. එම නිසා මහ බැංකුව සතු ඩොලර් සංචිත ශීඝ්‍රයෙන් පහත බැස්සේය.

පෙබරවාරි මාසයේ මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 2.31 ක් ලෙස පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙරට රන් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 98 ක් බව ද මහ බැංකුව කියයි. 2019 ආණ්ඩුව බාරදෙන අවස්ථාවේ මෙරට ඩොලර් සංචිතය ඩොලර් බිලියන 7 කි. රන් සංචිතය ඩොලර් බිලියන 4 කි.

නමුත් ඉන් වසර දෙකකට පසු රන් සංචිතය ඩොලර් සංචිතය ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. එය භාණ්ඩ ආනයනයට දැඩි හානිදායක තත්ත්වයකි. රට තුළ ඩොලර් සංචිත නොමැති වීම මත ඉන්ධන ආනයනය, ගෑස් ආනයනය මෙන්ම ඖෂධ ආනයනය ද අර්බුදයකට ගමන් කර තිබේ. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇතිව තිබෙන්නේ මේ නිසා ය.එසේ නොමැතිව අගමැති මහින්ද රාජපක්ෂ කී අන්දමට ළඟදීම ඉන්ධන හිඟයක් එන බවට ජනතාව දැනුවත් ව සිටි නිසා නොවේ.

මුදල් අමාත්‍යාංශය 09 දා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් ඇපල්, දොඩම්, මිදි ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට ආනයනය සීමා පැනවීය. කෙටි කාලයක් සඳහා මෙලෙස ආනයන සීමා පනවන බව ද මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ය. එසේම ඩොලර් අර්බුදය හේතු කොට ගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග රැසක් වරායේ ගුදම් වල සිරව තිබේ. ඒවා මුදා ගැනීම වෙනුවෙන් ඩොලර් සැපයීමට මෙරට බැංකු අසමත්ව තිබේ.

මෙරට මුදල් අමාත්‍යංශය ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලා සිටිනුයේ මේ සියලු කාරණා හමුවේ ය. නම් එය ලබාදීමට ඉන්දියාව තවමත් එකඟතාවය පළ කර නැත. ඊට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ රට තුල මුල්‍ය විනයක් නොමැතිය යන කාරණයයි. එම නිසා මහ බැංකුව ඩොලරයේ අගය ඉහළ දැමුවා විය හැකි ය.

එසේම ඉදිරියේ දී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ද යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශේෂඥයෝ පවසති. කෙසේ වෙතත් ආණ්ඩුවේ වත්මන් වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඉන්දියාවේ සතුටක් නැති බව ඔවුන් ලබා දෙන ඉඟි මගින් පැහැදිලි ය. මේ අතර ලබන 30 දා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.

බිම්ස්ටෙක් සමුළුවට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිවූ ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට ද නියමිත ය. ඔහු තම රාජ්‍ය තාන්ත්‍රික සඳහා ගමන තෝරාගෙන ඇත්තේ පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොල ය. කටුනායක ගුවන් තොටුපෙල වෙනුවට ඔහු පලාලි ගුවන් තොටුපොල තෝරා ගැනීමම වෙනත් පණිවුඩයක් දීමකි.එහෙත් ඒ සම්බන්ධයෙන් අගමැති වරයා කියන්නේ”ලංකාවට කොහෙන් ගොඩ බැස්සත් මිනිහා එන්නේ මගේ ආරාධනාවකටනේ”යනුවෙනි.

මෙස් බොහෝ දෙස් තුළ අපේ බොහෝ දෙනෙකුට නොතේරෙන සමීකරණයක් බව නම් පැහැදිලි ය. ඉදිරියේ දී ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් වෙනස්කම් රාශියක් ඇතිවිය හැකි බවට ඉඟි ලැබෙමින් පවතියි. චීනය ද ලංකාවෙන් ඈත් වෙන අතර ඉන්දියාව ද ලංකාවෙන් ඈත් වෙමින් සිටියි.

මේ අතර මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ සියළු උපාය මාර්ග අපේ රට ඇමරිකානු ආර්ථික යටත් විජිතයක් කිරීම සඳහා රට අස්ථාවර කිරීම බව ඇමති ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ කියයි.ඔහු හුදු දේශපාලනික ආත්මාර්ථයන් සඳහා තම මුඛය අව භාවිතා නොකරන්නකු වී නම් වීරවංශගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව ඊට වඩා ගැඹුරින් සිතනු ඇත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර