මුදල් ඇමති තනතුර අවිනිශ්චිතතාවක ?

දැනට පුරප්පාඩු වී ඇති මුදල් අමාත්‍ය ධූරය සඳහා හිටපු වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත් කිරීමට නියමිතව තිබුණ ද හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත පත් කිරීමේ සූදානමක් ගැන තොරතුරු වාර්තා වෙයි.නමුත් ඊයේ(05 ) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ තමන් නැවත එම ධුරය භාර ගැනීමට සූදානම් නැති බවකි.මේ අතර පසුගිය දා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලද හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ද අන්තර්කාලීන රජයකට අවස්ථාව සැලසීම සඳහා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් එම පත් කිරීමෙන් පැය විසි හතරක් ඉක්ම යාමටත් පෙර ඉල්ලා අස් විය.මේ අතර මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ද ඊයේ දිනයේම ඉල්ලා අස්වීම දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක් විය.මේ අතර බන්දුල ගුණවර්ධන මහතා නැවත මෙරට මුදල් ඇමති බවට පත් වන්නේ නම් එහි වාසිය හිමි වනුයේ පුවත් පත් කාටූන් ශිල්පීන්ට පමණකැයි මෙරට විපක්ෂ දේශපාලනයේ නියුතු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු ඊයේ පාර්ලිමේන්තු ආලින්දයේ දී පැවසූ කතාවකට ද බොහෝ දෙනකුගේ එකඟතාව පළ වී තිබේ.ඒ අතර මීළඟ මුදල් ඇමති ධුරය පිළිබඳ ව බොහෝ දුරට අද තීරණය කෙරෙනු ඇතැයි පැවසෙයි.

කාලීන පුවත්