මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ‘800’ නැමැති සිනමාපටය ලබන මස 6 වැනි දින ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන බව සඳහන් වේ. එය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලොලීන් තුළ පමණක් නොව ලොව පුරා විසිර සිටින ක්‍රිකට් ලෝලීන් තුළ ද සතුටක් ඇති කරන පුවතක් වනවාට සැකයක් නැත. මෙම සිනමාපටය ‘800’ යනුවෙන් නම් කර ඇත්තේ මුරලිදරන් ලබා ගත් වාර්තාගත ටෙස්ට් කඩුළු 800 හඟවනු පිණිස ය.
මෙම සිනමාපටයේ නිල පූර්ව ප්රචාරක පටය (Trailer) එළි දැක්වීමේ උළෙල පසුගිය 5 වැනි දින මුම්බායිහි දී පැවැත්විණි. එය එළිදක්වන ලද්දේ මුරලිගේ සමකාලීන විශිෂ්ටයන් දෙදෙනකු වන සචින් තෙන්දුල්කාර් සහ සනත් ජයසූරිය විසින් වීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට එම දෙදෙනා සහභාගි වීම ගැන මුරලි මහත් සතුටට පත්ව සිටිනු දැකිය හැකි විය.
“සචින් සහ සනත් දෙදෙනා මා වෙනුවෙන් මෙය එළිදැක්වීම ගැන මට ආඩම්බරයක් දැනෙනවා” යයි ඔහු පවසා තිබිණි. (මුරලිගේ ක්‍රිකට් දිවිය තුළ ඔහු 13 වතාවක් සචින් ගේ කඩුල්ල දවාගෙන ඇත.)
“අවුරුදු පහක් තිස්සේම මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු කෙරෙමින් තිබුණා. දැන් එය යථාර්ථයක් බවට පත්ව තිබෙනවා. ජනතාව මෙය රස විඳිනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි’ යනුවෙන් ද මුරලි සඳහන් කර තිබේ.
මෙම සිනමාපටයේ මුරලිගේ චරිතය නිරූපනය කරන්නේ බොලිවුඩ් නළු මධූර් මිත්තල් ය. ඔහු මෙයට පෙර වඩාත්ම අවධානයට ලක් වූයේ 2008 වසරේ තිරගත වූ Slumdog Millionaire චිත්‍රපටයේ කළ රංගනය තුළිනි. ප්‍රේක්ෂක විචාරක පැසසුමට ලක් වූ එම සිනමාපටය හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන කිහිපයකින් පිදුම් ලැබීය. මෙහි මිත්තාල් රඟපෑවේ සලිම් මලික් නැමැති චරිතයකි. සලිම් යනු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ජමාල් මලික්ගේ වැඩිමල් සහෝදරයා යි. එම චරිතය ද චිත්‍රපටය තුළ කැපී පෙනෙන චරිතයක් විය.
‘800’ සිනමාපටය තුළින් මුරලිගේ ජීවිතයේ දිගු කාලයක් ආවරණය වන බව පැවසෙන අතර එහි මුරලිගේ බිරිය වන මදිමලර්ගේ චරිතය නිරූපනය කරනු ලබන්නේ මහීමා නම්බියාර් විසිනි.
ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව පිලිබඳ ආන්දෝලනාත්මක කාරණා ද මෙම සිනමාපටයට ඇතුළත් බව මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි. දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන්ට මුහුණ දෙන්නට සිදු වූ යම් යම් දුෂ්කරතා ද මේ තුළින් නිරූපනය වන බව සඳහන් ය. එමෙන්ම මුරලිගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න ඇතුළු ඔහුගේ ක්‍රිකට් දිවියට අදාළ බොහෝ කාරණා ද, ඔහුගේ පෞද්ගලික ජීවිතයට අදාළ, බොහෝ දෙනෙකු නොදන්නා කාරණා ද ‘800’ සිනමාපයට ඇතුළත් බව වාර්තා වේ. පන්දු යැවීමේ ඉරියව්වට අදාළ සිදුවීම්වල දී මහත් අවධානයක් දිනාගත් ක්‍රිකට් විනිසුරු ඩැරල් හෙයාර්ගේ චරිතයට පණ දෙන්නේ බි්රතාන්ය ජාතික නළුවකු බව පැවසේ. ඩැරල් හෙයාර් ඕස්ටේ්රලියානු ජාතිකයෙකි.
‘800’ හි රූපගත කිරීම් රටවල් කිහිපයකම සිදු විය. ප්‍රධාන වශයෙන්ම එම කටයුතු සිදු වූයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවල යි. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ එම්.එස්. ශ්‍රීපති විසිනි.
‘800’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කෙරෙන බව මුලින්ම ප්‍රකාශයට පත් වූයේ 2020 වසරේ ය. නමුත් එම අවස්ථාවේ ඊට එරෙහිව තමිල්නාඩුවේ ඇතැම් දෙමළ දේශපාලන කණ්ඩායම් වෙතින් විශාල විරෝධයක් පැන නැගිණි. එහි මුරලිගේ චරිතය රඟපෑමට තෝරාගෙන සිටි ජනප්‍රිය නළු විජේ සේතුපතිට සහ ඔහුගේ පවුලේ උදවියට විවිධ තර්ජන පවා ඉදිරිපත් විය. මෙම විරෝධයට හේතු වූයේ මුරලි ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවේ දී දෙමළ ජනයාට විරුද්ධ සහ යුද්ධයට සහය දෙන ස්ථාවරයක සිටියාය යන මතය යි. නමුත් මුරලි මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් එකල නිවේදනයක් ද නිකුත් කර තිබිණි.
විජේ සේතුපතිට එරෙහිව තර්ජන එල්ල වෙද්දී ඔහුට මෙම චිත්‍රපටයෙන් ඉවත් වීම විනා වෙනත් විකල්පයක් නොවීය. ඔහු ඉවත් වීමත් සමගම සිනමාපටය විශාල අර්බුදයකට ලක් වූ අතර එහි කටයුතු අතරමග ඇණ හිටියේය. ‘800’ අලුත් චිත්‍රපටයේ කටයුතු පටන් ගැනුණේ එයින් ටික කලකට පසුව යි. කෙසේ හෝ වේවා, මෙවර සිනමාපටයේ කටයුතු අවසන් කිරීමට නිශ්පාදකයන්ට හැකියාව ලැබී තිබේ.
1992 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක් වූ මුරලි 2011 වසර දක්වාම ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය. වැඩිම ටෙස්ට් කඩුළු සංඛ්‍යාවක් (800 ක්) මෙන්ම වැඩිම එක් දින කඩුළු සංඛ්‍යාවක් (534 ක්) ද ලබාගත් පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා පිහිටුවා තිබේ. මුරලි අවසන් වරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වූයේ 2011 වසරේ යි. එය ඉන්දියාව සමග පැවැති එක් දින තරගයක් විය.
නිහාල් පීරිස්