අප උපන් මොහොතේ සිට අවසන් හුස්ම හෙළන මොහොත දක්වා නොදැනුවත්වම කරනු ලබන ක්‍රියාවක් වන්නේ හුස්ම ගැනීම යි. අප අවට ඇති වාතයෙන් කොටසක් පපුවට ඇද ගැනීමත්, එවැනි ම කොටසක් ශරීරයෙන් පිටකිරීමත් මෙලෙස නිරන්තරයෙන් සිදු කරමින් සිටිමු. අප කැමති වුණත් අකමැති වුණත් මෙය අපටද නොදැනී ඉබේම සිදු වෙයි. අප කුමන ආකාරයේ තැනක සිටියත්, අවදියෙන් සිටියත්, නිදාගෙන සිටියත් මෙය සිදුකළ යුතුය.
නමුත් අප මෙසේ පපුවට ඇදගන්නේ පිරිසුදු වාතය පමණක්ම නොවේ. ජල වාෂ්ප, දුහුවිලි, විෂබීජ, විවිධාකාර දුම් වර්ග, වාතය සමග පපුව කරා පැමිණෙන්නේ ඉබේටමය. මේ සියල්ල පපුවට ඇතුල් වූ පසු එතැනින් එහාට සිදුවන්නේ අප කැමති දෙයම නොවේ. සමහර විට එය අපට මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන බරපතළ රෝගාබාධයක් වන්නට වුව බැරි නැත.
විෂබීජ පපුව තුළට ඇතුළු වූ පසු ඒවා සමඟ සටන් කිරීමට අපේ ශරීරය විවිධ ක්‍රමවලින් උත්සාහ ගනී. බොහෝවිට විෂබීජ පැරදවීමට අපට බැරි වන්නේ නැත. අප අදටත් මොන මොන රෝගවලට මුහුණ දුන්නත් මෙලෙස නිරූපද්‍රිතව හිඳින්නේ එනිසා ය.
නමුත් දියවැඩියාව ආදී යම් යම් රෝග තත්ත්වයන් හේතුවෙන් අපගේ ප්‍රතිශක්ති පද්ධතිය ඌනතාවයකට ලක්වුවවොත් විෂබීජ ජයගැනීමට හැකියාවක් ඇත. නියුමෝනියාව මීට එක් උදාහරණයකි. මෙහිදී රෝගියා අප්‍රමාදව රෝහලකට රැගෙන ආවොත් වෛද්‍යවරයාගේ දක්ෂතාවය මත සුවය ලබන්නට පුළුවන. යම් හෙයකින් වැරදී ගියහොත් විෂබීජය ශරීරය ආක්‍රමණය කරමින් ශරීර ක්‍රියාකාරකම් අඩපණ කරන අතර රෝගියාගේ තත්ත්වය දිනෙන් දින අසාධ්‍ය තත්ත්වයට යා හැකිය.
මෙවැනි දහසකුත් එකක් කරදර වළක්වා ගැනීමට මෑතක සිට අප පළඳින මුව ආවරණය ඉවහල් වූ බව නොරහසකි. වෙනදාමෙන් සෙම්ප්‍රතිශ්‍යාව, උණ, සෙම් රෝග, නියුමෝනියා තත්ත්ව වර්තමානය වන විට රෝහල්වල විශාල වශයෙන් නොමැත. කොරෝනා මර්දනය වූ ආකාරයටම සියලු සෙම් රෝග ක්‍රමයෙන් පහළ බැස තිබේ. වාතයත් සමඟ පැමිණ අපේ ශරීරය නිරන්තරයෙන් ආක්‍රමණය කරනු ලබන විවිධාකාර වූ විෂබීජවලට අප පළඳින මුව ආවරණය පළිහක් වී තිබීම මොන තරම් අගනේ ද ?
නමුත් කොපමණ කාලයක් අපේ සමාජය අද මෙන් මුව ආවරණය පළඳීවිදැයි කිව නොහැකිය. විවිධ ප්‍රතිශක්තිකරණ ඌනතා සහිත රෝගීන්, පෙනහලුවල ආබාධ ඇති රෝගීන් ජීවත්ව සිටින්නේ මාරාන්තික විෂබීජයක් පපුව තුළට පැමිණෙන තෙක් පමණි. එලෙස විෂබීජයක් ඇතුළු වුවහොත් පළමු අවස්ථාවේදීම ඔවුන් අසාධ්‍ය වන්නේ නොසිතූ විරූ අයුරිනි. මෙවැනි කරදර බාධක අභිබවා යෑමට මුව ආවරණය උදව් වී ඇති බව සමහර රෝගීන් දන්නේ නැත. සමහර නිදන්ගත පෙනහලු රෝග නිසා ඇතැම් රෝගීන්ගේ ස්වසන මාර්ගය සදහටම පළල් වී ඇත. ස්වසන මාර්ග පළල් වූ තැනකදී සෙම පැසව පැසවා එතනම රැඳෙන අතර සෙම ඉහළට ඒමක් නැත.
සිහින් කාණුවක ඉක්මනින් ජලය බැස යන මුත් යම් තැනකදී කානුව පළල් වී ඇත්නම් එතැන වතුර ඉක්මනින් බහින්නේ නැහැ නොවේද? පතුලේ මඩ රැඳෙනවා නේද ? ස්වසන මාර්ගය පළල් වූ තැන සිදුවන්නේ ද මෙයට නොදෙවෙනි දෙයකි. සමහර ස්වසන රෝගීන්ගේ පෙනහලු තුළ කෝප්පයක් වැනි ලොකු කුහර එකක් හෝ ගණනාවක් පවතී. මෙවැනි කුහරයක එකතු වන සෙම කහින කහින වාරයක් පාසා සම්පූර්ණයෙන් එළියට නොපැමිණෙයි. මෙවැනි කුහර එක්ස්රේ ඡායාරූපයක පැහැදිලිව සටහන් වනු ඇත. මෙබඳු තත්වයන් ඇතිවීම වළක්වා ඇත්තේ ද මුව ආවරණය යි.
ඔබ දිගින් දිගටම මුව ආවරණය පැළඳීමේ පුරුද්ද පවත්වා ගන්නේ නම් ඉදිරි කාලයේ ද සියලු ළය රෝග වලින් ආරක්ෂා වීමට එය ඔබට උපකාර කරනු ඇත.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා