අපේ සමාජයේ යමෙකු නිතර කෝපය් පත් වන්නේ නම් ඒ තැනැත්තා සම්බන්ධයෙන් “මූලග්ගින්න ද කොහෙද?”යනුවෙන් ව්‍යහාර වනවා ඔබත් අසා ඇති.
මේ කාලයේ දකින්නට තිබෙන බොහොමයක් බෝ නොවන රෝග වලට වඩා වැඩි ඉතිහාසයක් තිබෙන බෝ නොවන රෝගයක් තමයි අර්ශස් රෝගය. ගැමි ව්‍යවහාරයට අනුව නම් මූලග්ගින්නයි. වෛද්‍ය විද්‍යාවේ මෙය හිමරොයිඩ් (Haemorrhoid ) ලෙස හඳුන්වනවා.
අර්ශස් රෝගයේදී සිදු වන්නේ කුමක්ද ?
අපේ අධෝ මාර්ගයේ අපාන ඈලිය (Anal canal) හෙවත් කෙළවර ඇති ශ්ලේෂ්මල පටලය ආශ්‍රිතව ඒනල් කුෂන් නමින් ව්‍යුහයක් තිබෙනවා .මෙම ව්‍යුහයට ධමනි සහ ශිරා සෘජුවම සම්බන්ධයි.
එසේම කේශනාලිකා සමුහයකුත් මෙහි තිබෙනවා. අර්ශස් රෝගය තිබෙන අවස්ථාවේ දී සිදුවන්නේ මේ ධමනි සහ ශිරාවල සම්බන්ධයකින් යුතු කේශනාලිකා සමූහයක් සහිත ඒනල් කුෂන් විශාල වීමයි.
මේ රෝගය හටගන්නා නිශ්චිත හේතුවක් ගැන තවමත් දන්නේ නෑ . නමුත් සමහරුන්ගේ පරම්පරානුගතවම ඒනල් කුෂන් වල සිනිඳු මාංශපේෂි ඉහිල් ස්වභාවයෙන් යුතුයි. මෙවැනි අයට පරම්පරානුගතවම අර්ශස් රෝග තත්ත්වය හට ගත හැකියි.
මලබද්ධය තිබෙන අය මළ පහ කිරීමේදී අධික ලෙස තැටමීම අර්ශස් රෝගවලට හේතු වන බවට මතයක් තිබෙනවා. මෙය විද්‍යාත්මකව තවම තහවුරු වී නැතත් ප්‍රතික්ෂේප වෙලත් නෑ.
අධෝ මාර්ගයේ කපාටයේ පීඩනය වැඩිවීම ද අර්ශස් රෝගය ඇතිවීම සඳහා බලපානවා. නමුත් අර්ශස් නිසා එහි පීඩනය වැඩි වුණාද, පීඩනය වැඩිවීම නිසා අර්ශස් ඇති වුණාද යන්න නිශ්චිතව පැවසීම අසීරුයි.
දැනට සමීක්ෂණවලින් හෙළි වී ඇති අන්දමට ජනගහනයෙන් 50% – 70 % අතර ප්‍රමාණයකට ජීවිතයේ එක වරක් හෝ අර්ශස් රෝගය හටගෙන තිබෙනවා. මේ රෝගයට වයස් භේදයකුත් නෑ.
කෙසේ වුවද ඒනල් කුෂන් විශාල වූ විට විශේෂයෙන්ම මලපහ කරන අවස්ථාවේ දී දීප්තිමත් රතු පැහැති රුධිරය බිංදු වශයෙන් හෝ ඇතැම් විට ඊට වැඩි ප්‍රමාණයකින් මල සමග පිට වන්න පුළුවන්. මේ තමයි අර්ශස් රෝගයේ පළමු අවස්ථාව.
මෙය තවත් වර්ධනය වූ විට අර්ශස් රෝගයේ දෙවැනි අවස්ථාවට පැමිණෙනවා. මෙහිදී ඒනල් කුෂන් තවත් විශාල වී මල පහ කිරීම සඳහා තටමන විට එය අධෝ විවරයෙන් පිටතට පැමිණෙනවා.
මෙසේ ඒනල් කුෂන් එක පිටතට ඒම සාමාන්‍ය ජනතාව හඳුන්වන්නේ අර්ශස් ගෙඩි කියලයි. නමුත් මේක ගෙඩියක් නොවෙයි. ගෙඩියක ස්වභාවයෙන් යුතු කොටසක්. රතු පැහැයට හුරු වර්ණයකින් යුතු මෙම කොටස මල පහ කර අවසන් වූ පසු ඉබේම නැවතත් ඇතුළට යනවා.
මේ තත්ත්වයටත් ප්‍රතිකාර නොගෙන එය නොතකා හැර සිටියොත් රෝගය තුන්වෙනි අවස්ථාව දක්වා ගමන් කරනවා. දැන් මල පහ කරන විට අධෝ විවරයෙන් පිටතට එන ගෙඩිය වැනි කොටස ඉබේ ඇතුළට යන්නේ නෑ. එය රෝගියාට මල පහ කර අවසන් වීමෙන් පසු ඇඟිල්ලෙන් ඇතුළට තල්ලු කරන්නට සිදු වෙනවා.
මෙහිදීත් ප්‍රතිකාර නොගෙන සිටියොත් ඊළඟට ගමන් කරන්නේ රෝගයේ සිව්වෙනි අවස්ථාවටයි . එවිට එම ගෙඩිය වැනි කොටස ඇඟිල්ලෙන්වත් ඇතුළට තල්ලු කළ නොහැකියි. මෙය Prolapsed haemorrhoid ලෙස හඳුන්වනවා.
මේ තත්ත්වයේදී අධෝ මාර්ගයේ කපාටය හැකිලීම සිදුවෙනවා. එසේ වූ විට අර්ශස් ගෙඩියේ තිබෙන රුධිරයට එහි ඇති කේශ නාලිකා තුළින් ආපසු යාමට බැරි වෙනවා.
එවිට ඉදිමී තිබෙන මෙම ගෙඩියේ පීඩනය වැඩිවී එහි ශිරාවල පීඩනයත් වැඩි වෙනවා. මේ නිසා ඊට සම්බන්ධ ධමනිවල පීඩනයත් වැඩි වීම සිදු වෙනවා. දැන් ශරීරයේ ඇතුළත ඇති ධමනිවලට අර්ශස් තිබෙන රුධිර නාල කරා රුධිරය ගෙන යාමට නොහැකි නිසා එම ගෙඩිය සහිත කොටසට රුධිර සැපයුම නැතිවී යනවා.
මේ අවස්ථාව වන විට රෝගියාට විශාල වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. රෝගියාට දැන් සිටගෙන ඉන්නත් බෑ. වාඩි වෙලා ඉන්නත් බෑ. ගෙඩිය තුළ ඇති ධමනි සහ ශිරාවලින් රුධිරය ගමන් කිරීමට නොහැකි නිසා එහි පවතින රුධිරය කැටි ගැසී ඒවා ගමන් කළ නොහැකි තත්වයට පත් වෙනවා. මේකට කියන්නේ Thrombosed කියලයි. මේ වනවිට ගෙඩිය දම් පැහැයට හුරු යි.
රෝගය මේ තත්වයට පත් වූ විට රෝගියාට දැනෙන දැඩි වේදනාව නිසාම අනෙක් අය නොරුස්සන ස්වභාවයක් දැනීම, ඉක්මනින් තරහ යාම වැනි දේවල් හට ගත හැකියි. අර්ශස් තිබෙන අයට ඉක්මනට කේන්ති යනවා කියන්නේ මේ නිසා වෙන්න පුළුවන්.
නමුත් තද හිස කැක්කුමක් ඇති අවස්ථාවකදී වුවත් අපට අනික් අයව නොරුස්සන ස්වභාවයක්, ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් ඇතිවිය හැකි බව අමතක නොකළ යුතුයි. මේ රෝගයේ මුල් අවස්ථාවේදී බොහෝ විට ම රෝගීන් ලජ්ජාව නිසා වෛද්‍යවරුන් හමුවට පැමිණීමට පැකිලෙනවා. නමුත් මෙම සිව් වන අවස්ථාවේදී අධික වේදනාවක් දැනෙන නිසාම වෛද්‍යවරුන් කරා පැමිණෙනවා.
සමහර කාන්තාවන්ට ගර්භණී සමයේ දී අර්ශස් රෝගය හට ගන්න පුළුවන්. ඒ, එම කාලයේ දී සිරුරේ රුධිර ප්‍රමාණය වැඩිවීමත්, ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයත් හේතුවෙන් අධෝ මාර්ගයේ සිනිඳු පේශිවල ඉහිල් වීමක් හට ගන්නා නිසයි.
ඒ අනුව ගර්භණී සමයේ දී මේ රෝගය හටගැනීමේ සම්භාවිතාව වැඩියි. නමුත් ගර්භණී සමය අවසාන වන විට රෝගය ඉබේම නැතිවී සාමාන්‍ය අතට පත් වෙනවා.
මේ රෝගයට කරන ප්‍රතිකාර රෝගයේ අවස්ථාව අනුවයි තීරණය වන්නේ.
පළමු අවස්ථාවේ දී නම් රෝගය ඉබේම සුවවිය හැකියි. වෛද්‍යවරයෙකු වෙත මේ අවස්ථාවේදී ගියහොත් රෝගියාට රක්තහීනතාවය තිබේද යන්න පරීක්ෂා කිරීම, අධෝ මාර්ගය පරික්ෂා කිරීම ආදිය සිදු කරන අතර වැඩිපුර වතුර පානය කරන ලෙසත්, පලතුරු ආහාරයට ගන්නා ලෙසත්, ව්‍යායාම කරන ලෙසත් උපදෙස් දෙනවා.
මීට අමතරව ඖෂධ වර්ග වර්ගත් තිබෙනවා. 80% – 90%ක් පමණ දෙනාගේ වසර 2 – 10 ඇතුළත රෝගය සම්පූර්ණයෙන්ම සුව වෙන්නත් පුළුවන්.
රෝගයේ දෙවන අවස්ථාවේ දී ද විවිධ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරනවා. එහිදී සුව වුවත් රෝගය නැවත හට ගන්නට අවකාශය නැතුවා නොවෙයි.
රෝගය තුන්වන අවස්ථාවට පැමිණි කල ශල්‍ය ප්‍රතිකාර ( Haemrrhoidectomy) කළ යුතුයි. මෙම ශල්‍ය කර්මය නිසා අපාන කපාටයේ පීඩනය අඩු වී 99% පමණ ම රෝගය නිට්ටාවට සුව වෙනවා.
මෙම තුන්වැනි අවස්ථාවේ දී සිදු කළ හැකි තවත් විවිධ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ බොහොමයක් ප්‍රතිකාර මගින් රෝගය සුව කරගත හැකියි.
රෝගයේ සිව්වැනි අවස්ථාවේදී ද ගෙඩිය ක්ෂණිකව ඉවත් කළ හැකි ශල්‍ය ක්‍රම තිබෙනවා .එම ශල්‍ය ක්‍රම මගින්ද රෝගය නිට්ටාවට සුව වීමේ වැඩි හැකියාවක් තිබෙන බව සඳහන් කළ යුතුයි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත්
ඉන්දු පෙරේරා