මෙවර අවුරුදු “කැමට පෙර” පිළිපැදිය යුතු “වෛද්‍ය වට්ටෝරුවක්”

සෑම සිංහල අලුත් අවුරුදු සමයක් අවසානයේ ම සායන වලට එක් වන වෛද්‍යවරුන්ට මුහුණ දීමට සිදුවන පොදු අත්දැකීමක් තිබේ. එනම් දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධිකොලෙස්ට්‍රෝලියතාව, හෘදයාබාධ ඇතුළු බෝ නොවන රෝග සඳහා සායනික ප්‍රතිකාර ලබන ඇතැම් රෝගීන්ගේ යම් යම් රෝග තත්වයන් තරමක් උත්සන්න හෝ වී තිබෙනු දක්නට ලැබීම ය. එවිට ඒ සම්බන්ධයෙන් කරුණු විමසා සිටීමේ දී; ඇතැම් විට කරුණු විමසීමටත් පෙර ඒ රෝගීන් බොහෝ දෙනකු ගෙන් පැවසෙන පොදු ප්‍රකාශයන් කිහිපයක් ද වෛද්‍යවරුන්ට අසන්නට ලැබේ.

“අනේ ඩොක්ට” පහුගිය ටිකේ බෙහෙත් ටික නම් හරියට ගන්න බැරි වුණා. කොහෙද? මේ දහසකුත් එකක් වැඩ අස්සේ ඒකත් අමතක වුණානේ; අනික දන්නෙම නැතුව බෙහෙත් ටිකත් ඉවර වෙලා; ඒත් ගන්නේ කොහෙද? ෆාමසිත් වහලා නේ; පැණි රස කෑම අඩු කරන්න කියලා ඩොක්ට` කොච්චර කිව්වත් අවුරුද්දට ගෙවල් වල ගොඩ ගැහෙන්නෙම පැණි රස කෑමනේ; අනික නෑදෑ ගෙදරකට ගිය වෙලාවට ඒ මිනිස්සු දෙන දෙයක් කනවා මිසක් අලුත් අවුරුද්දෙ ඒවා එපා කියන සිරිතක් නෑනේ. ඒත්, එක අතකට හිතෙනවා අවුරුද්දට කියලා මෙච්චර කැවිලි ජාති මොකටද කියලත්. ඒත් ඉතින් එහෙමයි කියලා එච්චර මහන්සි වෙලා හදන ඒවා කහල ගොඩට දාන්නත් ලෝබයි නේ;” ඒ එම රෝගීන්ගේ සුලබම ප්‍රකාශ අතුරින් කිහිපයකි.

“ ඩොක්ටත් කීප සැරයක්ම කියපු හින්දාමම ඩ්‍රින්ක්ස් ගන්න එක මාස හයක් විතර එහෙම් පිටින්ම නතර කරලා තිබුණානෙ. ඒත් කොහෙද? පහුගිය ටිකේම අවුරුදු පාටි වලට යන්න වුණා. අන්තිමට ඉතින් කොහොම හරි ඉතින් යාළුවොත් හැමදාම බිව්වේ නැතුවට අද විතරක් බීපන් කියලා බලෙන්ම වගේ මගේ කටේ ගහනවනෙ. මට මතක හැටියට ඒ වගේ පාටි දහයක් විතර තිබුණා.ඒක තමයි ප්‍රශ්නේ වුණේ”
මේ එම රෝගීන් අතුරින් පුරුෂ පක්ෂයෙන් නැගෙන ප්‍රධානතම පාපෝච්චාරණයකි.

සිංහල අලුත් අවුරුදු සැමරුම වශයෙන් ලේඛනයන්ට ඇතුලත් වන සිංහල අලුත් අවුරුදු උත්සවය සුලබ වශයෙන් හැඳින්වෙන ප්‍රධාන ව්‍යවහාරය වන්නේ ‘අවුරුදු කනවා” යන්න ය. ඉන් අපට වටහා ගත හැක්කේ සිංහල අලුත් අවුරුද්ද ආහාර කේන්ද්‍රීය උත්සවයක් බව ය. සිංහල සේම අසිංහල ජනතාවගේ විවිධ ආගමික සංස්කෘතික උත්සව ඇතත් සිංහල අලුත් අවුරුද්ද තරම් ආහාරය කේන්ද්‍ර කර ගත් වෙනත් උත්සවයක් නොමැති බව අපගේ වැටහීම ය.කිතුනුවන්ගේ නත්තල් උත්සවය වුව “නත්තල් කනවා”යනුවෙන් හැඳින්වුව ද ආගමික ස්වරූපයෙන් ඇරඹෙන ඒ උත්සවය එක් දිනයකට පමණක් සීමා වේ.එහෙත්, ආහාර අනුභවයෙන් ඇරඹෙන සිංහල අලුත් අවුරුදු ආහාර රටාව දින කිහිපයක් සතියක් ඒ අයුරින්ම පවතී.එමෙන්ම සිංහල අලුත් අවුරුද්දු නැකත් අතරේ එන අවසාන නැකත වන රැකී රක්ෂා සඳහා පිටත් ව යාමෙන් ද ඒ ආහාර රටාව නතර නොවේ ඒ ඉන් පසු අප රටේ බොහෝ දෙනකු තම රැකියා ස්ථාන වල දී ද අලුත් අවුරුදු කෑම බෙදා හදා ගෙන රස බලන බැවිනි.

සිංහල අලුත් අවුරුද්දේ ආහාර අතුරින් ප්‍රධාන තැන හිමි වනුයේ කිරි බතට බව නොරහසකි. ඒ කිරිබත සාමය,සතුට සංකේතය කරගත් ආහාරයක් නිසා ද විය හැක. එහෙත්, සිංහල අලුත් අවුරුදු ආහාර අතරේ කිරිබත වටා රොක් වී ඇති සෙසු ආහාර පිළිබඳව විමසා බලමු. කැවුම්, කොකිස් අතිරස, අළුවා, ආස්මි, අග්ගලා, ආදී වශයෙන් පෙළ ගැසෙන මෙම ආහාර සියල්ල අධික සීනි සහිත රස කැවිලි ය. ඒ අනුව අප සමාජයේ බොහෝ දෙනෙක් නාමික වශයෙන් කිරිබත් කෑල්ලක දෙකක රස බලන අතරේ එම ආහාර වේල සම්පූර්ණ කර ගන්නේ මුළුමනින්ම පාහේ සීනි සහ පිෂ්ටය බහුල ආහාර වලිනි.එනිසාම මේ කාලයට අප රටේ බොහෝ දෙනකුගේ සාමාන්‍ය රටාව පවා වෙනස්වන බව නොරහසකි.

ලෝකයේ සෑම සමාජයකම පාහේ මිනිසා ගේ ආහාර ගැනීම හා බැඳුණු සංස්කෘතික පදනමක් ද තිබේ. “ආහාර සංස්කෘති’ යන නමින් හැඳින්වෙනුයේ එයයි. එහි දී විවිධ උත්සව සැමරුම් මුල් කොට ගත් විවිධ ආහාර හා පාන වර්ග යොදා ගැනෙයි. නමුදු ලොව බොහෝ දියුණු ශිෂ්ටාචාරවල එම ආහාර රටා විමැසීමේ දී පෙනී යන්නේ ඒවා එකි’නෙකට වෙනස් පෝෂ්‍ය පදාර්ථයන් ගෙන් යුතු විවිධ ආහාර වර්ග බව ය. නමුදු අපගේ සිංහල අලුත් අවුරුදු කැවිලි රටාවේ එම විවිධාංගීකරණ ස්වරූපය නොමැති වීම කණගාටුවට කරුණකි.ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමැසීමේ දී පෙනී යන්නේ සිංහල අලුත් අවුරුදු රසකැවිලි එකතුව සංවිධිත ආකාරයකට පෙළ ගැසුණු හෙවත් ඒකරාශී ඒවා නොවීම ඊට හේතුව බව ය.එමෙන්ම ඒවා කලින් කලට සිංහල අලුත් අවුරුදු ආහාර අතරට එක් වූ ඒවා බව ය.අනෙකක් තබා අප සාම්ප්‍රදායික දේශීය ආහාරයක් වශයෙන් සළකන කොකිස් අප රට පාලනය කළ ඕලන්ද ජාතිකයන්ගෙන් අපට ලැබුණු ආහාරයක් බව පැවසෙයි.එමෙන්ම මේ සම්බන්ධයෙන් කරුණු විමසන බොහෝ දෙනකු නඟන ප්‍රධාන තර්කයක් ද තිබේ.එනම් මේවා අතීත ජන සමාජයට එතරම් අහිතකර ලෙස බල නොපෑවේ මන්ද?යන්න ය.ඒ සඳහා දිය යුතු පිළිතුර දෙයාකාරයකින් දැක්විය හැක.ඉන් පළමු වැන්න ඕනෑම ජන සමාජයක ආහාර රටාව හා ඒ සමාජයේ චර්යා රටාව අතර සෘජු සබැඳියාවක් තිබීම ය.මීට සියවසකට හමාරකට පෙර පමණක් නොව මීට දශක කිහිපයකට පෙර සමාජයේ පැවැති කායික ක්‍රියාකාරකම් වලින් සියයට එකක් වත් අද සමාජයෙන් දක්නට නොලැබේ.

පොදු ජන වහරට අනුව කිව හොත් අද සිටිනුයේ “අඩි දහයක් වත් පයින් යන්නට අකමැති”සමාජයකි.ඒ අනුව අතීත හා වර්තමාන සමාජ චර්යා රටාවන් අනුව අතීතයේ පා ගමනින් යන්නවුන් ගේ ප්‍රියතම ආහාරයක් වූ “උණු කැවුම්”අලස සුව විඳින නූතන සමාජයට කෙසේ වත් නොගැලපෙන බව කිව යුතු ය.අතීත සමාජය පා ගමනින් විවිධ ගමන් බිමන් යන අතර මඟ කැවුම් පිස අලෙවි කරන ස්ථාන තිබිණ.ඒවායේ එවෙලෙම පිස දෙන උනු කැවුම් සම්බන්ධයෙන් පැවති උණුසුම් ඉල්ලීම මත අදටත් ශීඝ්‍ර අලෙවියක් ඇති දෑ හැඳින් වීම පිණිස “උනු කැවුම් මෙන්”යන වදන යොදනු අපි අසා දැක ඇත්තෙමු.ඊට අමතරව මීට දශක කිහිපයකට පෙර පැවැති අප සමාජයේ ආයු අපේක්ෂාව(Life expectancy) වර්තමානයට සාපේක්ෂව අඩු අගයක් ගැනීම මත අපට හැඟී යනුයේ එවක සමාජයෙන් අදට වැඩි පිරිසක් බෝ නොවන රෝග මඟින් අඩු වයසින් මිය ගොස් ඇති බවකි.

එමෙන්ම බෝ නොවන රෝග; අඩුම තරමින් දියවැඩියාව වත් හඳුනා ගත නොහැකිව තිබූ අතීතයේ ගැමියන් තුළ මෙම සීනි සහ පිෂ්ඨය අධික ආහාර රටාවේ අවදානම් සහගත බව වැටහී තිබුණේ ද නැත.එක් දහස් නවසිය අනූව දශකයේ අප වෛද්‍ය සිසුන් කාලයේ විවිධ ග්‍රාමීය ප්‍රදේශ වල කරන ලද නිරීක්ෂණ වලදී”සීනි අමාරුව එහෙම තියනවද?”යනුවෙන් ගැමියන් ගෙන් අසන සෑම විටෙකම ඔවුන් දුන් පිළිතුර වූයේ “නෑ”යන්න ය.ඒ සමඟම අපි”කවදා හරි සීනි චෙක් කරවා ගෙන තියනවද?”යනුවෙන් ද ඔවුන්ගෙන් අසමු.එවිට එම ගැමීයන් දෙන පොදු පිළිතුර වනුයේ ද “නෑ”යන්නම ය.එවක වෛද්‍ය ක්ෂේත්‍රයේ අද්දැකීම් ලබා නොතිබුණු තරුණයන් වූ අපට මෙය තරමක් විනෝදයක් ගෙන දෙන පිළිතුරක් වුව එම පිළිතුර අප රටේ පවත්නා තවත් සමාජ ඛේදවාචකයක පැතිකඩක් බව වෛද්‍ය කේෂේතයට පිවිසි පසු වටහා ගන්නට අපට හැකි විය.ඒ සමඟම අප එදා අත් විඳි සතුට එහි අළු දුහුවිළි වත් සොයා ගත නොහැකි අන්දමට ශූන්‍ය විය. මේ අතර වර්තමාන සමාජයේ බොහෝ දෙනකු සිංහල අලුත් අවුරුදු කැම සියල්ල එකම මේසයක ප්‍රදර්ශය කොට තමන් “ජයටම අවුරුදු කන” බව අඟවති.ඒ අතර තවත් පිරිසක් මෙසේ පැණි රස වලින් ආකූල ව්‍යාකූල වූ අලුත් අවුරුදු කෑම මේස වල ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි වලට පවා යොමු කරති. රූපවාහිනී වෙළඳ දැන්වීම් වලින් පෙන්වන අළුත් අවුරුදු කෑම මේස වල ත්ත්වය ද මෙය මය.

ඒ අනුව මෙය නරක පූර්වාදර්ශයක් සේම නූතන සමාජයේ ප්‍රවර්ධනය වන නව පන්නයක් විලාසිතාවක් වී තිබේ.එහෙත්, මෙමඟින් සිදුවන ප්‍රධානතම අයහපතක් ද වේ.එනම් රස කැවිලි මෙලෙස ප්‍රදර්ශනාත්මක ලෙස තැබීමෙන් ඒවා වැඩිපුර ආහාරයට ගැනීම පිළිබඳ ඇති රුචිකත්වය ඉහළ නැංවීම ය.නිදසුනක් ලෙස එම කෑම මේසයකින් කැවුමක් රැගෙන අනුභව කරන්නකු තුළ ඉන් පසු ඒ මත ඇති පැණි වළල්ලක රස විඳීමේ ස්වභාවික ආශාවක් ද ජනිත විය හැක.බොහෝ ආහාර වෙළඳුන් ප්‍රදර්ශනාත්මකව ඒවා අලෙවි කිරීමට පෙළඹෙනුයේ ද මේ හේතුව නිසාම ය.එහෙත්, අතීත ගැමි සමාජයේ අලුත් අවුරුදු රස කැවිලි මෙලෙස එක පෙළට ප්‍රදර්ශනය කිරීමක් සිදු වූයේ නැත.ඒවා මුට්ටි හට්ටි පෙට්ටි වල අසුරා තබා භාවිතයට ගැනුණේ අවශ්‍යතාව මත පමණි.
දේශීය ආහාර වශයෙන් හඳුන්වන එම ආහාරවල තත්වය එසේ තිබියදී අප සමාජයේ සිංහල අලුත් අවුරුදු කැවිලි අතරට බටහිරින් පැමිණි කේක්, බිස්කට් ඇතුළු සීනි සහ පිෂ්ටය අධික ආහාර ද එක්වීමෙන් මෙම තත්වය තවත් බැරෑරුම් වී තිබේ. බටහිර සංස්කෘතියට අනුව “කේක්” යනු එක් ආහාර මාධ්‍යයක් වන අතර එය බොහෝ විට චාරිත්‍රමය අනුභවය සඳහා හෝ අතුරුපසක් ලෙස යොදා ගැනෙන්නකි. නමුදු අප සමාජයේ කේක් ආහාරයට ගැනීම සම්බන්ධයෙන් වුව පැහැදිලි සම්ප්‍රදායක් හෝ විචාරශීලීත්වයක් නොමැති බව ද කිව යුතු ය.

වර්තමාන සිංහල අලුත් අවුරුදු කෑම මේසයෙන් මතු වන මෙම ආහාරමය ව්‍යාකූලතාව සමාජයේ සෑම කෙනෙකුටම විවිධාකාරයෙන් බලපාන බව නොරහසකි. නිදසුනක් ලෙස කිසියම් පවුලක් ගතහොත් අධික ලෙස සීනි සහ පිෂ්ටය සහිත ආහාර වලින් යුතු සිංහල අලුත් අවුරුදු කෑම මේසය පවුලේ එක් එක් සාමාජිකයන් සම්බන්ධයෙන් වෙන වෙනම බලපෑම් කරන බව පැහැදිලි ය. එය සිංහල අලුත් අවුරුදු රස කැවිලි මේසයට එකට වාඩි වීමට පෙර විශේෂයෙන් දැන ගත යුත්තකි.

අද වන විට බොහෝ පවුල්වල දියවැඩියාව, අධික රුධිර පීඩනය, අධි කොලෙස්ට්‍රෝලියතාව සහිත රෝගියකු හා කිහිප දෙනකු වුව හිඳීමට පුළුවන. ඊට හේතුව මෙම රෝග වැළඳීම සම්බන්ධයෙන් ජානමය බලපෑම් ආදී ප්‍රවේණිගත සාධක ද ඉවහල් විය හැකි බැවිනි. විශේෂයෙන් ඔවුන් අතරේ හෘද රෝග වලින් යුතු, ඒ සඳහා ප්‍රතිකාර ලබන හෘද සැත්කම් වලට භාජනය වූ සහ භාජනය වීමට නියමිත රෝගීන් සිටිය හැක. එසේ නොමැති වුවද කුඩා දරුවන්, වියපත් වූවන් ආදී විවිධ කායික තත්වයන් ගෙන් යුතු සාමාජිකයන් ගෙන් යුතු පවුලක සාමාජිකයන් සිංහල අලුත් අවුරුදු කෑම මේසය භාවිතා කළ යුත්තේ තම තමන් හට ගැලපෙන ක්‍රමයකට ය. විශේෂයෙන් ඉහත සඳහන් රෝග වලින් පෙළෙන්නවුන් හට හා අවදානම් සාධක වලින් යුතු වූවන්ට ආහාර පාන සම්බන්ධයෙන් නිකුත් කළ වෛද්‍ය උපදෙස් තිබේ. එය සිංහල අලුත් අවුරුද්ද හෝ අපගේ සංස්කෘතිය වෙනුවෙන් වෙනස් කිරීමට අපට නොහැක. ඒ හුදෙක් මිනිසාගේ කායික ව්‍යුහයට “සංස්කෘතිය” බලනොපාන බැවිනි.
ලොව බොහෝ ආහාර සංස්කෘතීන් තුළ එළවළු පළතුරු සඳහා හිමි වන ස්ථානය අප රටේ ආහාර සංස්කෘතිය තුළ දක්නට නොලැබීම ඛේදනීය තත්වයකි.

මගේ දැනීමේ හැටියට සිංහල අලුත් අවුරුදු රස කැවිලි මේසයට එක් වන එකම පළතුර කෙසෙල් ගෙඩි පමණි. නමුත් ලොව බොහෝ රටවල දියුණු ආහාර සංස්කෘතීන් තුළ අප රටේ ග්‍රාමීය ආහාරයක් වන ඉරිඟු වලට පවා වැදගත් තැනක් හිමිව තිබේ.ඒවා රසවත් සහ පෝෂ්‍යදායී ලෙසි විවිධ ක්‍රම ඔස්සේ පිළියෙල කළ හැකිය. ඊට අමතරව අධික සීනි සහ පිෂ්ටය බහුල සිංහල අලුත් අවුරුදු මේසයට තම්බා පිළියෙල කරන ලද එළවළු එක් කර ගැනීමෙන් ඊට නවතාවයක් සේම පෝෂණ සමතුලිතතාවට ද යම් තරමකට ඉවහල් විය හැකි ය. කවර හෝ ජන සමාජයක බලවත් ව්‍යසනයකට ඉවහල් වන මත්පැන් සිංහල අලුත් අවුරුද්දේ “ප්‍රධානතම පාන වර්ගය” බවට පත්වීම ජාතික ඛේදවාචකයකි. චාරිත්‍රමය වශයෙන් වෙලාවට වැඩ ඇල්ලීමෙන් පසුව හෝ සිංහල අලුත් අවුරුද්දට මත්පැන් එක්කර ගැනීම පුද්ගල කායික මානසික සෞඛ්‍යයේ බිඳ වැටීමේ සිට පොදු සමාජමය සෞඛ්‍ය යහපැවැත්මට බලවත් තර්ජනයක් බව ද නොකියාම බැරිය.
ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කිව යුත්තේ සිංහල අලුත් අවුරුද්දෙන් පසුව වෛද්‍ය සායන වලට එක් වීමේදී ඉහත සඳහන් මාදිලිවල පැමිණිලි පොදි බැඳ ඉදිරිපත් කිරීමට වඩා නියමිත සුව පිළිවෙත් අනුගමනය කිරීමෙන් හා නියමිත ඖෂධ නියමිත පරිදි නොකඩවා භාවිතා කිරීමෙන් ඒ සඳහා ඇති ඉඩකඩ අවුරා ගැනීම ඉතා වැදගත් බවකි.

හෘදරෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර