2006 වසර තෙක් අප රටේ “ජාතික” නමින් හඳුන්වන පුවත් පත් වල සිංහල අලුත් අවුරුද්දට පුර්වගාමීව දක්නට ලැබුණු සම්පූර්ණ පිටුවක ප්‍රමාණයේ වර්ණ දැන්වීමක් තිබිණ. එහි එම පිටුවෙන් වැඩි කොටස වෙන් වී තිබුණේ එක්තරා වර්ගයක අරක්කු බෝතලයක ඡායාරූපයක් වෙනුවෙනි. ඊට අමතරව ඒ පිටුවේ ඉහළ කෙළවරේ සූර්යයා, කොවුලකු සහ මලින් පිරුණු එරබදු අත්තක සිත්තම් ද දක්නට ලැබිණ. එමෙන්ම ඒ ඡායාරූපයට අනුව අරක්කු බෝතලය තිබුණේ බුලත් කොළ කිහිපයක් මත ය. ඒ බුලත් කොළ මත රුපියලේ හෝ දෙකේ රිදී පැහැති කාසි දෙකක් ද දැකිය හැකි විය.
එකල අප රටේ පළවූ සෑම ජාතික පුවත් පතකම පාහේ පළ වූ ඒ දැන්වීමට අනුව පාඨකයන් හට ඒත්තු ගැන්වෙන එක් ප්‍රබල අදහසක් තිබිණ. එනම් සූර්යයා, කොවුලා සහ මල්බර එරබදු අත්තෙන් සිංහල අලුත් අවුරුද්ද චිත්‍රානුසාරයෙන් නිරූපණය කෙරෙන එම දැන්වීම් ඡායාරූපයේ ඇති බුලත් කොළයෙන් සංකේතනය වන සාමයත් රිදී පැහැති කාසි වලින් සංකේතනය වන සෞභාග්‍යයත් උදා කර ගැනීම සඳහා එම ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන වර්ගයේ අරක්කු පානය කළ යුතු බවකි.
එම දැන්වීම් නිර්මාණ ශිල්පීන් ගේ පරිකල්පනයට අනුව ඒ පුවත් පත් දැන්වීමේ මූලික අදහස එය බව නිසැක ය.එහෙත්, එකල එම දැන්වීම් දුටු අපගේ සිත තුළ ඇති වූයේ ඊට ඉඳුරාම වෙනස් අදහසකි. එනම් එහි ඉහළින්ම චිත්‍රානුසාරයෙන් දැක්වෙන සූර්යයා කොවුලා සහ මල්බර එරබදු අත්තෙන් නිරූපණය වන අන්දමට සිංහල අලුත් අවුරුද්ද හුදු සංකේතාත්මක දෙයක් බවට පත් ව තිබේ.ඒ අතර ඡායාරූපයෙන් දැක්වෙන අරක්කු බෝතලය පරිද්දෙන්ම සිංහල අලුත් අවුරුද්දේ මත්පැන් පානය සජීවීමත් වී ඇත . එමෙන්ම එම බෝතලයේ පාමුල ඇති රිදී පැහැති කාසිවලින් සහ ඒ බෝතලයට යට කොට ඇති බුලත් කොළවලින් පැවසෙන අන්දමට අද මත්පැන් විසින් ඒ වන විට අප සමාජයේ පැවැති සාමයත්, සෞභාග්‍යයත් යට කරගෙන අවසන් ය.
ඒ මත්පැන් යනු හුදෙක් ධන හානියට අමතරව මිනිසාගේ සෞඛයයට බරපතල තර්ජන ඇති කරමින් මිනිසා පෞරුෂ,පවුල්,ප්‍රජා සහ සමාජමය වශයෙන් විනාශ මුඛයට පත් කරන්නක් බැවිනි. නමුත් අරුමය එය නොවේ. අප රටේ ජාතික වශයෙන් හැඳින්වෙන පුවත් පත් ඔස්සේ නූතන සිංහල අලුත් අවුරුද්ද සහ මත්පැන් අතර ඇති ඒ නොබිඳිය හැකි සබැඳියාව ජාතියට හඬ ගා පැවසෙන අතරේ අප රටේ බුද්ධාගම, සිංහල ජාතිය, සංස්කෘතිය, සභ්‍යත්වය වෙනුවෙන් නිරතුරු කැප වන බවට බොහෝ දෙනකු පිළිගන්නා කිසිදු බෞද්ධ භික්ෂුවක් ඒ සම්බන්ධයෙන් එක් වදනක් වත් නොපැවසීම ය. ඒ සිංහල අලුත් අවුරුද්ද වසර දෙදහස් පන්සියයකටත් වඩා ඉපැරණි උදාර සංස්කෘතික උරුමයක් බව දිවා රෑ දෙකේ පවසන ඒ භික්ෂුන් මත්පැන් පානය නූතන සිංහල බෞද්ධ සමාජයේ සැබෑ සංස්කෘතික උරුමයේ ප්‍රධාන අංගයක් සේ හදවතට එකඟවම තේරුම් ගෙන සිටි නිසා වීමට ද බැරි නැත.
නමුත් 2006 වසරින් පසු ඒ නූතන සිංහල අලුත් අවුරුදු සංස්කෘතියේ සැබෑ කැඩපතක් බඳු ඒ දැන්වීම අප රටේ ජාතික පුවත් පත් පිටු අතරින් ගිලිහී තිබිණ. ඒ 2006 අංක 26 දරන දුම්කොළ සහ මද්‍යසාර ආඥාපනතින් මත්පැන් ප්‍රචාරණය සම්බන්ධයෙන් පැනවුණු සීමාවන් මත ඒ පුවත් පත් දැන්වීම් පළ කිරීමට ඉඩක් නොලැබුණු නිසා ය. ඒ හැරුණු කොට සිංහල අලුත් අවුරුදු කුමරුවා මත්පැන් නමැති ගණිකාව සමඟ එක සයනයේ යහන් ගත කිරීමට පැවැති පොදු ජන අකමැත්ත නිසා නොවේ.සැබැවින්ම කිවහොත් වර්තමානයේ එම අනියම් සංවාසය සමාජ සම්මතයක් වී තිබේ.
අතීතයේ කිසියම් යුගයක ඇරඹී මේ වන විට පැවැත ගෙන ආ දේශීය පසු අස්වනු උත්සවයක් වන සිංහල අලුත් අවුරුද්දට “ජාතික” ලේබලයක් ඇලවෙන ලද්දේ ඉතා මෑතක දී ය. ඒ හැරුණු කොට එය මෙරට අතීත නරපතියන් ගේ සහභාගීත්වයෙන් සමරනු ලැබූ වර්තමාන ආකෘතියේ උත්සවයක් බවට ශ්‍රී ලාංකිකයන් ගේ ප්‍රමුඛතම මූලාශ්‍රය වන මහා වංශයේ ලියැවී තබා ඊට ගෑවිලාවත් වත් නැත. අතීතයේ විවිධ යුගවල බක් මාසය මුල්කොට ගත් වසන්ත සැනකෙළි පැවැති බවට අනුමාන සාක්ෂි ලක් ඉතිහාසයෙන් හමු වේ. එහෙත් පරණ අවුරුද්දට ස්නානයේ සිට අළුත් අවුරුද්දේ හිස තෙල් ගෑමෙන් සමාප්ත වන වත්මන් ආකෘතියේ සිංහල අලුත් අවුරුද්දක ආදිතම යුගය වශයෙන් අපට හඳුනා ගත හැක්කේ ක්‍රි.ව 1751-1782 අතර කන්ද උඩරට රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ නායක්කර් වංශික රජුගේ පාලන සමයයි.
අතීත සරල කෘෂිකාර්මික සමාජයක් තුළ හෙමි හෙමින් විකාශනයකට පත් වූ සිංහල අලුත් අවුරුද්ද අද වන විට නූතනයට සරිලන සේ යාවත්කාලීන වී තිබේ. ඒ අනුව ඊට “සංස්කෘතික”යන වදන යෙදිය හැක්කේ එය වත්මන් ජනප්‍රියව අනුරූපී ලෙස සැකසෙන බැවින් පමණි.එනිසාම නූතනයේ ද සිංහල අලුත් අවුරුද්ද යල් පැන නොගිය; ජනප්‍රිය සංස්කෘතිකාංග අතරින් ද පෙරමුණ ගෙන තිබේ.
අපගේ අතීත කෘෂිකාර්මික සමාජය තුළ පැවැති සරල හුවමාරු ආර්ථික ක්‍රමයේ අළු දුහුවිලිවත් දැන් සොයා ගත නොහැක. ඒ වන විට නූතන සමාජයේ මස්තක ප්‍රාප්ත වී ඇත්තේ අලෙවිකරණය(Marketing )පදනම් කර ගත් පරිභෝජනවාදයයි. (Consumerism) අතීතයේ සරල හුවමාරු ආර්ථිකයක් තුළ නිරාබාධිතව සංවර්ධනය වූ සිංහල අලුත් අවුරුද්ද හුදෙක් භාණ්ඩ සහ සේවා කෙරෙහි අසීමිත ලෝලීත්වයකින් යුතු පරිභෝජනවාදී සමාජයක් තුළ ඊට ගැලපෙන අයුරින් විපරීත වීමේ ප්‍රතිඵල දැන් අපි ඇති පමණට භුක්ති විඳිමු.
අතීත සමාජයට සුන්දරත්වයක් එක් කළ ගැමිලියගේ මිනිස් ආකෘතීන් වත්මනේ සිංහල අලුත් අවුරුදු කාලයට සුපිරි වෙළඳ සල් වල මුදල් ගෙවීමේ කවුන්ටර් ඉදිරියෙන් ඉස්මතු කරවීම නූතන පරිභෝජනවාදය විසින් සිංහල අලුත් අවුරුද්ද “නොමරා එම්බම් කොට” ඇති බවට එක් නිදසුනක් පමණි.
මේ සියළු ඛේදනීය තත්වයන් තිබිය දී තවමත් සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ ඇල්ම ,ආකර්ශනය අප ගේ සිත් සතන් වලින් බැහැර නොවන ප්‍රධාන හේතුවක් තිබේ. එනම් අතීත කාමය ( Nostalgia) නම් වන මනෝමය සාධකයයි. ඒ අතීත කාමය නම් වන සමාජමය නැඹුරුව මුල් කර ගන්නා ව්‍යාපාරික සහ ජාවාරම්කාර ප්‍රජාව අද වන විට ජාතික සේම ජාත්‍යන්තර මට්ටමේ සකල විධ ඇස් බැන්දුම් යොදමින් ජනතාව සුරාකති. මනෝ වෛද්‍ය විද්‍යා විෂය පථය තුළ සායනික වශයෙන් කැපී නොපෙනුණ ද මෙම තත්වය ජාතික මානසික යහපැවැත්ම කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපාන බව අපගේ වැටහීම ය.
භාණ්ඩ සහ පාරිභෝගික සේවා මිනිසා ගේ පරිභෝජනය සඳහා වුව ද මිනිසා භාණ්ඩ සහ සේවා පරිභෝජනය සඳහා කැපවිය යුතුය යන නරුම සංකල්පය සමාජ ගත කරවීමේ කූට ව්‍යාපාරික සහ ජාවාරම් කරුවන් ගේ වෑයම මේ වන විට ද සඵල වෙමින් තිබේ.භාණ්ඩ සහ සේවා තෝරා ගැනීමේදී බහුලත්වය (Plenty) විවිධත්වය ( Variety) ආටෝපය ( Vanity )සංතෘප්තිය(Contentment) සුඛෝපභෝගීත්වය (Comfort ) විනෝදාශ්වාදය (Entertainment ) ආදී කරුණු සමාජ පුරුෂාර්ථ බවට පත්ව ඇත්තේ මෙම අධිපරිභෝජනවාදයේ(Hyper consumerism) දුර්දාන්ත ප්‍රතිඵලයක් ලෙසිනි. එහි දී මිනිසා තුළ පවත්නා පාරිභෝගිකත්වය සම්බන්ධ සිතීමේ සහ විමසීමේ නිදහස, විචාරශීලී බව කෙමෙන් අඩු වී යයි. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ මිනිසා තමන්ගේ “ඇති හැකි සීමාව”ඉක්මවා කටයුතු කිරීම ය.පසුව සමාජය පාරිභෝගික වශයෙන් ඕනෑම “කුනු ගොඩක්’ බදා ගන්නා තත්වයට පත්වීම ය.
“ලාබ කළ සේල්”, “තොග අවසන් කිරීමේ සේල්” “විස්මිත ලෙස මිල අඩු කළා” වැනි ව්‍යාපාරික චාටු කතා හමුවේ නතු වන සමාජය තම විචාරශීලීත්වය පසෙක ලා භාණ්ඩ මිල දී ගැනීමට යොමු වීම මෙම තත්වයේ දුර්දාන්ත ප්‍රතිඵලයකි. සාප්පු උන්මාදය ( Shopaholic ) සහ රංචු චර්යා (Herd behavior )සමාජ සංත්‍රාසය( Social panic) ආදී වශයෙන් හැඳින්වෙන මෙවන් බුද්ධිගෝචර නොවන ක්‍රියාකාරකම් මගින් පළමුව තමන් ගේ මානසිකත්වය අසමතුලිත වීමට සාපේක්‍ෂව දෙවනුව තම ආර්ථිකය අසමතුළිත වන වන බව බොහෝ දෙනෙක් නොසිතති. “අවුරුදු කිට්ටු හින්දා මේ දවස් වල මට පිස්සු වගේ”සමහරුන් එසේ ද පවසනු අප අසා තිබේ.ඉන් ඔවුන් පවසනුයේ සිංහල අළුත් අවුරුද්ද මුල් කොට තමන් අවිචාරවත්ව කටයුතු කරන බවකි. පහසු ගෙවීමේ ක්‍රම යන ආටෝපකාරී වදනට රැවටී සමාජයේ බොහෝ දෙනා තමන්ට දරා ගත නොහැකි ලෙස අධිපරිභෝජනයේ යෙදී උසුලා ගත නොහැකි බර කන්දක් හිස මත දරා ගැනීම මෙම සැබෑ අලුත් අවුරුදු සංස්කෘතියේ ප්‍රධානතම “චාරිත්‍රයක්” වී තිබේ. ඉන් සමාජයේ මානසික යහපැවැත්ම කෙරෙහි අතිශය අහිතකර ලෙස බලපෑම වලකා ගත නොහැක. ඒ අනුව මේ සම්බන්ධයෙන් අපට අවසන් වශයෙන් කිව හැක්කේ සාරධර්ම විරහිත ( Anomic) පාදඩ සමාජයක් දක්වා යොමු වන නූතනයේ සිංහල අලුත් අවුරුද්ද ද ඒ නරුම සංස්කෘතියට අනුරූපව හැඩ ගැසෙන බවකි.ඒ අනුව “වත්මන් සිංහ අලුත් අවුරුද්දෙන් ප්‍රවේසම් වන්න” යන අනතුරු හැඟවීම කිරීමට මෙය ඉතා සුදුසු කාලය බව අපගේ වැටහීම ය.
විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ