ශ්‍රී ලංකාවේ වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හින්දු දේවාලයක තරාදියක් මත වාඩි වී සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔබ ද දකින්නට ඇත.ඒ පසුගිය කාලයේ ඉන්දියාවේ තිරුපති දේවාලයට ගොස් එය වැදපුඳා ගෙන තුලාභර දානයක් ද දුන් ආකාරය දැක්වෙන ඡායාරූපයකි. ඒ සමඟ පළ වූ ඇතැම් ප්‍රකාශ මඟින් කියා ඇත්තේ අගනා පුස්තකාලයක (ගිනි තැබීමට ලක් වූ) හිමි කරුවකු බව කියන රනිල් වික්‍රමසිංහ මහතා ඒ පොත් කියවා තිබිණි නම් මෙබඳු මිථ්‍යා විශ්වාස පසු පස ලුහු බැඳ නොයනු ඇති බව ය.එහෙත්,එසේ පැවසූ බොහෝ දෙනකු මෙම තුලාභර දානය පිළිබඳව අසා වත් නොමැති බව නිසැක ය.
අනෙක පොත් පත් කියැවීම මත මෙවැනි මිථ්‍යා විශ්වාස දුරු වන බව පැවසීම ද තර්කානුකූල ප්‍රකාශයක් නොවේ.මක් නිසාද ඉන්දුවේදය( Indology)නම් වන විෂය පථය තුළ පමණක් මෙම අභිචාර විධි සම්බන්ධ පොත පත දස දහස් ගණනක් ලියැවී ඇති නිසා ය.ඒවා තැන්පත් කොට ඇත්තේ ද පුස්තකාල වල මිස වෙනත් තැන් වල නොවේ. ශ්‍රී ලංකාවේ දේශපාලඥනයින් අතර ඉතාම සුප්‍රසිද්ධ තිරුපති දේවාලය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ය. මෙම දේවාලය තුළ විෂ්ණු දෙවියන් ජීවමානව වැඩ වෙසෙන බව විෂ්ණු දේව බැතිමතුන්ගේ විශ්වාසය යි. මේ නිසාම මෙය ලොව පුරා වාසය කරන හින්දු බැතිමතුන් අතර ද ජනප්‍රිය ස්ථානයකි. මේ නිසාම දිනකට ලක්ෂ හත අටක් පමණ බැතිමතුන් මෙම ස්ථානය වැද පුදාගෙන දේව බැල්ම ලබා ගැනීමට මෙහි පැමිණෙන්නට පුරුදු වී සිටිති.
මීට වසර කීපයකට පෙර තිරුපති දේවාලය පිළිබද ව ශ්‍රී ලාංකිකයන් තුළ වැඩි අවබෝධයක් නොතිබුණු අතර තිරුපති දේවාලය සහ තුලාභර සංකල්පය කරලියට පැමිණෙන්නේ අපේ රටේ දේශපාලඥයින් තිරුපති දේවාලයට ගොස් තුලාභර දානමය පිංකම් සිදු කරන්නට පටන් ගත් නිසා වන්නට පුලුවන.
තුලාභර හෙවත් සිරුරේ බරට සරිලන ලෙස බාරහාර වීම තිරුපති දේවාලයේ පමණක් නොව විෂ්ණු දෙවිඳුන් විශේෂයෙන්ම කෘෂ්ණ දෙවියන් සම්බන්ධ දේවාල වල ප්‍රසිද්ධ පූජාවන්ගෙන් එකකි.ශ්‍රී ලාංකේය හින්දූන්ගෙන් බහුතරය ශිව භක්තිකයන් වීම මත අප රටේ මෙම තුලාභර පූජාවට වැඩි තැනක් ලැබී නැත. මා පෙර සඳහන් කළ ආකාරයට අපේ රටේ වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පහුගිය කාලයේ මෙකී තුලාභර නම් වූ තරාදිය උඩට නැගී තුලාභර දානමය පූජාවක් සිදු කරනු ලැබීය. මෙහිදී සිදු වන්නේ දේවාලය තුළ එල්ලා ඇති දැවැන්ත තරාදියේ එක් පසක තැටියක අදාල පුද්ගලයා අසුන් ගැනීමත් ඔහුගේ බරට සමාන වී තරාදිය සමබර වන තෙක් අනිත් පස තැටියට තමන් විසින් පූජා කරන්නට කැමති ඕනෑම දෙයක් තැබීමත් ය.
අති විශාල ධනයක් හිමි සමහරු මේ සදහා රත්රන් තබති.නො එසේ නම් මුදල්,එළවළු,පලතුරු,විවිධ ස්වභාවික මල් වර්ග, කපන ලද දිගු කෙස් වැටි, ඇදුම් ආයිත්තම්, පළතුරු ආදිය ද තරාදි තැටිය මත තබති. තිරුපති දේවාල වන්දනාවේ ගිය රනිල් වික්‍රමසිංහ මහතා තරාදි තැටිය මත තබා බාරහාර වූයේ කුමක් ද යන්න පිළිබඳව වාර්තා වී නැත.මෙම තුලාභර දානයට සම්බන්ධ වූ එකම ශ්‍රී ලාංකිකයා හෝ දෙශපාලනඥයා රනිල් වික්‍රමසිංහ මහතා නොවේ.අප රටේ බොහෝ දේශපාලනඥයෝත් කෝටිපති ව්‍යාපාරිකයෝත් නිතිපතා මේ “තුලා භාරය” දෙති.මෙය අපගේ ජන සංස්කෘතිය හා සම්බන්ධයක් නොමැති බැවින් බොහෝ දෙනාගේ අපහාස උපහාස වලට මුල් වුව ද ඉන්දියාවේ තත්වය එය නොවේ.ඉන්දියාවේ සෑම රාජ්‍ය නායකයකුම පාහේ මෙම තුලාභර දානයට සම්බන්ධ වෙති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ මෙම තුලාභර දාන පිළිබඳව ඉන්දීය මාධ්‍ය විශේශ අවධානයක් යොඉමු කරති.දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ශ්‍රී කෘෂ්ණ දෙවාලය ද මෙම තුලාභර දාන සඳහා විශේෂ ප්‍රසිද්ධියක් උසුලනු ලැබේ.
මෙම තුලාභර දාන වලට අමතරව මුදල් මුට්ටි පූජා කිරිමේ යාගයක් ද තිරුපති දේවාලයේ පැවැත් වේ. විෂ්ණු දෙවියන් පද්මාවතිය සමග විවාහ වීමේදී ලබාගත් කාසි ණයක් සිහිපත් කිරීම මේ කාසි මුට්ටි පූජාවෙන් සිහි කරනු ලබයි. එලෙස දිනකට එකතු වන මුට්ටි කාසිවල මුළු වටිනාකම පමණක් ඉන්දීය රුපියල් ලක්ෂ 250 ඉක්වන බව විවිධ මාධ්‍යවල වාර්තා වී තිබේ. පෙර කී පරිදි ම කේශ කල්‍යාණය දෙවියන් වෙත දන්දීම ද මේ දෙවොලේ සිදුවන තවත් පිංකමකි. මේ පිංකම නිසා දිනකට දෙවොලට ටොන් තුන හතරක පමණ කොණ්ඩා ලැබෙන බව දේවාලයේ වාසය කරන බැතිමත්තු සියැසින් දැක තිබෙන බව ද වාර්තා වී තිබේ. මේ කොණ්ඩා විකිණීමෙන් විශාල ආදායමක් දේවාලයට ලැබෙන බව ද තතු දන්නෝ පවසති.
නිශ්ශංකමල්ල රජ සමයේ ශ්‍රී ලංකාවේ ද තුලාභර දානමය පිංකම් පැවැත්වුණු බවට සාක්ෂි අතීත සෙල්ලිපිවලින් හමු වී තිබේ. මේ ආකාරයේ තුලාභර දානමය පිංකම් මගින් සිදුවන වඩාත් යහපත වන්නේ දේව බැල්ම කෙසේ වුව ද එකී දානමය පිංකම සිදු කරන පුද්ගලයාගේ සිතෙහි ඇතිවන සන්සුන්භාවයයි. නොඑසේ නම් මානසික තෘප්තිමත් බවයි.
ඒ මිස මෙමගින් දේව බැල්ම ලැබෙන්නේ ය යන්න පිළිබද ව විශ්වාස තැබීම එතරම් නුවණට හුරු නැතැයි යෝජනා කරමි.
නමුත් ඕනෑම ක්‍රියාවක් මගින් යම්කිසි පුද්ගලයෙකු වෙත මානසික තෘප්තිමත් බවක් හෝ මානසික සහනයක් ලැබෙන්නේ නම්, එකී පුද්ගලයාට මිථ්‍යාවන් පසුපස යෑමට ඇති අයිතියට ගැරහීම ද යුතු නොවේ.
දුලංජලී මුතුවාඩිගේ