කලින් කලට සතුන් අතරත් වෛරස් රෝග පැතිරී යනවා. සුනඛයන් අතර ප්‍රචලිත වෛරස් රෝගයක් වන පාවෝ ද මේ දිනවල එලෙස පැතිර යමින් තිබෙන රෝගයක්.
බඩ බුරුල් වී දියර ලෙසින් මල පිටවීම සහ වමනය මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි රෝග ලක්ෂණ යි. නිසි ප්‍රතිකාර නොලැබුණොත් මෙම රෝගයෙන් 90% ක් පමණ ම සුනඛයන් මිය යනවා.
මේ පාවෝ වෛරසය නැනෝ මීටර් විස්සක් පමණ තරමේ ඉතාමත්ම කුඩා යි. මෙතරම් කුඩා වුවත් වෛරස් ඉතා කුඩා ප්‍රමාණයකින් සතුන් විශාල ප්‍රමාණයක් ආසාදනය කරවීමට මෙම වෛරසය සමත් වෙනවා. මෙම රෝගය හට ගන්නා කාලයට විශාල වශයෙන් සුනඛයන් අතර රෝගය පැතිරෙන්නේ ඒ හේතුව නිසයි.
රෝගී සුනඛයකුගේ මල නිරෝගී සුනඛයකු ලෙව කෑම, ඉව කිරීම තුළින් පවා මෙම රෝගය නිරෝගී සතෙකුට බෝ වෙන්න පුළුවන්. එන්නත් නොකරන ලද වීදි සුනඛයන් අතර මෙම රෝගය විශාල වශයෙන් ඇති වීමට හේතුව එයයි.
සාමාන්‍යයෙන් තාප්ප සහ ගේට්ටු සහිත නිවෙස් තුළ ඇති කරන කිසි විටෙකත් ගේට්ටුවෙන් පිටතට නොයන සුනඛයන්ට වුව පාවෝ වැළඳෙන අවස්ථා තිබෙනවා. පාවෝ වැළඳුණු වෙනත් සුනඛයකුගේ මල, අපද නොදැනුවත්ව අපගේ සපත්තුවකට පෑගුණු පසු එම සපත්තුවේ අඩිය නිවසේ සිටින සුනඛයා විසින් ඉව කර බැලූ විට එම සුනඛයාට පාවෝ එන්නත ලබාදී නොමැති නම්, එමගින් වෛරසය ආසාදනය වීමට පුළුවන්.
මෙම වෛරසය ශරීරගත වීමෙන් පසු එහි බලපෑම් ඇති වන්නේ ආහාර ජීර්ණ පද්ධතියට යි. කුඩා අන්ත්‍රවල බිත්ති සෛල මෙමගින් ආසාදනය වෙනවා. එම බිත්තිවල වෛරසය වර්ධනය වී බිත්ති තුවාල වන අතර ඉන්පසු රුධිර වහනයක් හට ගන්නවා. රෝගී සුනඛයාට රුධිරය මිශ්‍ර දියර වැනි මල පිට වන්නේ මේ හේතුවෙනුයි.
මේ රෝගයෙහි දැකිය හැකි අනෙකුත් ලක්ෂණ වන්නේ අලස බව, කෑම අරුචිය, උණ, උදරයේ අපහසුව, එක්වරම සුනඛයාගේ ශරීරයෙහි බර අඩුවීම, අඳුරු තැන්වල සිටීමට ප්‍රිය වීම, සෙම සහිත වමනය නිතර නිතර යාම, ඉහත ද කී පරිදි රුධිරය මිශ්‍රව මල පිටවීම ආදියයි. රුධිරය මඳ වශයෙන් ජීර්ණය වී මල සමග මිශ්‍රව පිටවීම නිසා රෝගී සුනඛයාගේ මලවලින් මාළු කුණු වුණු ආකාරයේ දුගඳක් හමනු ඇති. වෛරසය ආසාදනය වී දින හතරක් පමණ ගත වන විට රෝග ලක්ෂණ පහළ වීම මෙම රෝගයේ ස්වභාවයයි.
මෙහිදී සුනඛයාගේ ශරීරයෙන් විශාල වශයෙන් දියර පිටවීම නිසා විජලනයට පත්වීම සහ දියර සමග ශරීරයේ ප්‍රෝටීන් පිටවීම ද සිදු වෙනවා. අවසානයේ විජලනය නිසා කම්පනයට පත් වීමෙන් සුනඛයා මිය යනවා.
රෝගය වැළඳුණු පසු අත්බෙහෙත් ආදිය කරමින් වෛද්‍ය ප්‍රතිකාර පමා කිරීම අන්තරාදායක යි. මෙම රෝගයට ඉක්මනින්ම පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නොත් සුනඛයාගේ ජීවිතය බේරාගැනීමට හැකි වෙනවා. සේලයින් සමග අනෙකුත් ඖෂධ ප්‍රතිකාර සේම ප්‍රතිජීවක ඖෂධ ද ආරම්භ කළ යුතුයි. ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නේ මෙම වෛරසය නිසා ශරීරයේ ද්විතියික බැක්ටීරියා ආසාදන ඇතිවී සතා එම ආසාදන මගින් මිය යාමට තිබෙන ඉඩකඩ වළක්වාලීම සඳහා යි. දින කිහිපයක් නොකඩවා සේලයින් සහ මෙම අනිකුත් සියලු ඖෂධ ප්‍රතිකාර ලබා දිය යුතුයි.
වැඩුණු සුනඛයන්ට වඩා කුඩා පැටවුන්ට පාවෝ වැළඳුනහොත් ඔවුන් බේරා ගැනීම තරමක් දුෂ්කර වෙනවා. විශේෂයෙන් කුඩා පැටවුන් මෙම රෝගයෙන් එක්වරම මරණයට පත් වීමට බොහෝ ඉඩකඩක් පවතිනවා. ඒ, පාවෝ වෛරසය සුනඛ පැටවාගේ හෘදයට බලපෑමෙන් හෘද පේශි අකර්මන්‍ය වීම හේතුවෙනුයි.
මෙම රෝගය ඔබේ නිවසේ සුනඛයෙකුට හැදුනොත් තවත් සුනඛයන් සිටී නම් වහාම රෝගී සුනඛයා වෙන් කළ යුතුයි. අනෙක් ප්‍රධානම දෙය නම් වහාම රෝගී සුනඛයාව පශු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන යාමයි. පාවෝ රෝගය හට ගැනීම වළක්වාලීම පිණිස ඔබේ සුනඛයා ව එන්නත් කළ යුතු වෙනවා. මුලින්ම සුනඛයාගේ වයස මාස එක හමාරේදී පළමු එන්නත ලබාදී, දෙවන එන්නත මාස තුනෙන් පසුව දිය යුතුයි. ඉන්පසු වසරක් පාසා වසරකට එක වතාව බැගින් එන්නත් දීම කළ යුතු වෙනවා.
මෙම වෛරසය විනාශ කළ හැක්කේ සර්ජිකල් ස්ප්‍රීට්වලින් සහ 5% ක්ලෝරින් ද්‍රාවණයෙන් පමණයි. රෝගී සතුන් සිටින ස්ථානයට සහ ඒ අවටත් , නිවසේ ගෙබිමටත් මේවා ඉසීම සහ රෝගී සතාව ස්පර්ශ කිරීමෙන් පසුව ඔබේ දෑත් සර්ජිකල් ස්ප්‍රීට්වලින් සේදීම ආදිය මගින් මෙම වෛරසය විනාශ කිරීමට පුළුවන්.
පාවෝ රෝගය සුනඛයන්ගෙන් මිනිසුන්ටත් බෝ වෙනවාද යන්න බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයක්. නමුත් එයට දිය හැකි පිළිතුර නම් එවැන්නක් සිදුනොවන බවයි. එසේම මෙම රෝගය සුනඛයන්ගෙන් බළලුන්ට පැතිරෙන්නේත් නෑ . බළලුන්ට වැළඳෙන මේ ආකාරයේ වෙනත් රෝගයක් තිබෙනවා. නමුත් එය සුනඛයන්ට වැළඳෙන පාවෝ රෝගය නොවෙයි.
පශු වෛද්‍ය නදීකා දිල්රුක්ෂි
ඉන්දු පෙරේරා