මෙරටට ආවේණික රිලවුන්ට අපට වඩා මෙම භූමියේ ජීවත් වීමට වැඩි අයිතියක් ඇත” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර තැබූ ෆේස්බුක් සටහනක් පිළිබඳව මේ වන විට යම් සමාජ කතිකාවක් පැන නැඟී තිබේ.යමකුට එක් වරම විහිළුවක් සේ හැඟී යා හැකි “රිලවුන් චීනෙට යැවීමට අපට අයිතියක් තිබේ ද?” යනුවෙන් නම් කරන ලද ඔහුගේ එම ෆේස් බුක් සටහන මෙලෙසිනි.
“අවුරුදු මිලියන ගණනක් අප රට තුළ හුදෙකලා ව පරිණාමය වුණු මෙරටට ආවේණික රිලවුන්ට අපට වඩා මෙම භූමියේ ජීවත් වීමට වැඩි අයිතියක් ඇත. මීට වසර එක්ලක්ෂ විසි පන්දහසකට පමණ ප්‍රථම බාහිරින් පැමිණ මෙරට ජනාවාස කර ගත් අපට රිලවුන් මෙරටින් පිටුවහල් කිරීමට තීරණය කළ නොහැක. රිලවුන්ව පමණක් නොව වෙනත් කිසිදු ජීවියෙකු මෙරටින් වෙනත් රටකට යැවීමට තීරණය කළ නොහැකි ය.
මිනිසා අයත් වන ප්‍රයිමේටා ගෝත්‍රයට ම අයත්, මිනිසා මෙන් ම වෙනස් වන පරිසරයන්ට ඉතා හොඳින් අනුවර්තනය විය හැකි රිලව් මිනිසා ගේ ම හානිකර ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස වාසස්ථාන අහිමි වීම නිසා අවතැන් ව සිටිති. එසේ අවතැන් වූ සතුන් ව තව දුරටත් අවතැන් කිරීම සඳහා තීරණය කිරීමට අපට අයිතියක් නොමැත.
වනාන්තර ඇතුළු ස්වාභාවික පරිසර පද්ධති දැවැන්ත විනාශයකට ලක් කර ජනාවාස ව්‍යාප්ත කිරීම, නගර නිර්මාණය කිරීම, වැරදි ජාතික භෞතික සැලැසුම් මත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා ඒක බෝග වාණිජ වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් මෙම සතුන් ගේ වාසස්ථාන අප විසින් එම සතුන්ට අහිමි කර ඇත.
එපමණක් නොව මෙම සතුන් ගේ ආහාර ප්‍රභවයන් නොවන තේක්ක, ෆයිනස්, යුකැලිප්ටස්, ඇකේසියා වැනි වන වගාවන් ව්‍යාප්ත කිරීම නිසා ද මෙම සතුන්ට ආහාර ප්‍රභවයන් අහිමි වී ඇත. රුක් රෝපණ වැඩසටහන්වල දී බොහෝ විට කුඹුක් හා මී ශාක පමණක් බහුල ව සිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස ද මෙම සතුන්ට ආහාර ප්‍රභවයන් අහිමි ව තිබේ.
හේන් වගා බිම් වෙනුවට වියළි කලාපයේ ඒක බෝග වාණිජ වගාවන් වන බඩඉරිඟු හා උක් වගා බිම් ව්‍යාප්ත කර තිබීම මෙන් ම තෙත් කලාපයේ බහු බෝග වගා බිම් වෙනුවට තේ හා කටුපොල් වගා බිම් ව්‍යාප්ත කර තිබීම රිලවුන්ට ආහාර ප්‍රභවයන් අහිමි කිරීමට හේතු වී ඇත.
ග්‍රාමීය ගෙවතු ආශ්‍රිත ව වර්ධනය වී තිබෙන මෘදු දැව සහිත ශාක අධික ලෙස කපා ඉවත් කර තුනී ලෑලි නිෂ්පාදනයට හා දැව ඉන්දන ලෙස භාවිතයට ගැනීම හා ඒ සඳහා ජංගම ඉරුම්හල් භාවිතය වර්ධනය වීම ද රිලවුන් ගේ ආහාර ප්‍රභවයන් අහිමි කිරීමට හේතු වී ඇත.
මේ සියල්ලේ ම ප්‍රතිඵලයක් ලෙස වගා බිම්වලට හා ගෙවතුවලට පැමිණෙන රිලවුන් බෝග පළිබෝධකයකු ලෙස සැලකීම යුක්ති සාධාරණ නැත. එපමණක් නොව බෝගවලින් ලැබෙන ඵලදාවට හා අස්වැන්න සඳහා බාධකයන් වී ඇත්තේ රිලවුන් ගේ වගා හානි පමණක් නොවේ. අප ගේ වැරදි භූමි භාවිත රටාව, බෝග විවිධත්වය අහිමි කිරීම හා දුර්වල පසු අස්වනු තාක්ෂණය මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මේ නිසා අප අද සිට තීරණය කළ යුතු වන්නේ රිලවුන් චීනයට යැවීම නොව සියලු වගා බිම් බහු බෝග වගා බිම් තත්ත්වයට පත් කිරීම, තේක්ක, ෆයිනස් වැනි ඒක බෝග වන වගාවන් ඉවත් කර එම භූමි ප්‍රදේශ ස්වභාවීකරණය වී වනාන්තර ප්‍රතිස්ථාපනය වීමට ඉඩ හැරීම හා ගෙවතුවල විදේශීය ශාක පමණක් සිටුවීම වෙනුවට විවිධ ආහාර බෝග සිටුවීමට ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම ය. ඒ තුළින් රිලවුන් ඇතුළු සියලු ජීවීන්ට ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැඟිය හැකි වනු ඇත.”(උපුටා දැක්වීම අවසන්) “දුබලයාට සිදුවන හානිය කුමක් වුව දුබලයා ප්‍රබලයාගේ අභිමතයට යටත් විය යුතුය”.යන්න මිනිසා ද සත්ව ලෝකයේම සාමාජිකයකු බව මනාව තහවුරු වූ දඩයම් යුගයට අයත් අති පෞරාණික චින්තනයකි.එහෙත්,මානව බුද්ධි පරිනාමයේ ඊළඟ ප්‍රවර්ධක අවස්ථාව වන එඬේර සහ කෘෂි යුග වලදී තමන් ගෝත්‍රික නොවන සමාජමය සත්වයකු බව ඉතා මඳ වශයෙන් වටහා ගන්නට මිනිසාට හැකි විය. පසුව දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමිකව සිදු වූ මානව බුද්ධි පරිනාමයේ දී දුබලයා යනු ප්‍රබලයාගේ දයානුකම්පාවට ලක් විය යුතු කොටසක්ය යන මතය කෙමෙන් සමාජ සම්මත විය.ඒ අනුව කුඩා දරුවන්,වයෝ වෘද්ධ වූවන්,රෝගීන්,ආබාධිත වූවන් ගැබිණි කතුන් වැනි ජන කොටස් සාමාන්‍ය සමාජයේ ආදර කරුණාව සේම පිහිටාරක්ෂාව ලැබිය යුතු බවට අද වන විට ලෝක සම්මතයක් ගොඩ නැඟී තිබේ. මානව බුද්ධි පරිනාමයේ ඊළඟ පියවරේ දී එම සමාජ අවධානය වන සතුන් සහ ගෘහස්ථ සතුන් වෙත ද යොමු ව තිබේ.අද වන විට ලොව පුරා සත්ව හිංසනයට අදාල නීති රීති දැඩි කොට ඇත්තේ ඒ පසුබිම යටතේ ය.නමුත් මෙම නව සමාජ ප්‍රවණතාව තවමත් අප රටේ ජන සමාජයට නිසි පරිදි සම්ප්‍රේෂණය වී ඇති බවක් නොපෙනෙයි. ඉහත සඳහන් සේස්බුක් සටහන තැබූ ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර මිනිසා සහ සොබා දහම සම්බන්ධයෙන් වන පරීක්ෂණ නිරීක්ෂන නිගමන වෙනුවෙන් ජීවිතයේ නව යොවින් වියේ සිටම අති මහත් කාලයක් ශ්‍රමයක් කැප කළ සැබෑම පරිසරවේදියෙකි.චීනයේ සත්වෝද්‍යාන සඳහා යැයි කියමින් මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට පැටවීම සම්බන්ධයෙන් නිහඬව සිටීමට ඔහුට නොහැකි වූ බව ඔහුගේ ඉහත සටහනින් පෙනෙයි.ඒ පරම අවිහිංසාව පරමාදර්ශ කොට ගත් බුදු දහම නියෝජන කරන මෙරට භික්ෂු පරපුරත් තමන්ට වාසිදායක කරුණු සම්බන්ධයෙන් පමණක් ඉදිරියට පැන “සිංහ නාද” කරන හා තමන්ට අවාසිදායකයැයි හැඟෙන සෙසු සමාජ අර්බුද හමුවේ “මී හඬක්” වත් නොනඟන විකල්ප දේශපාලනඥයන් බහුල රටක ය. “මෙරටට ආවේණික රිලවුන්ට අපට වඩා මෙම භූමියේ ජීවත් වීමට වැඩි අයිතියක් ඇත” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර කළ ප්‍රකාශය ඇතැමුනට විහිළුවක් සේ පෙනුණ ද එය විශ්ව පරිනාමීය සාධක සහ ස්වභාවික යුක්ති මූල ධර්මය මත පදනම් වන ඉතා වැදගත් ප්‍රකාශකයකි.එය අප රටේ මෑත භාගයේ පහළ වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ ආචාර්ය ඊ.ඩබ්ලියු අදිකාරම් සූරීන් ද ඉදිරිපත් කළ දාර්ශනික මතයකි. එහෙත්, ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර කළ ප්‍රකාශයෙන් පැවසෙනුයේ පරිනාමීය සාධක අනුව බලන විට අප රටේ අපට වඩා පැරණි උරුම කරුවන්ට රට භාර දී අප චීනයට හෝ වෙන රටකට යා යුතු බවක් නොවේ.ස්වභාවික යුක්ති මූලධර්මය මත පදනම් ව සිතුව හොත් “ප්‍රමුඛතමයන්ට මුල් තැන යන පදනම යටතේ වුව අප රටේ රිලවුන් මෙලෙස ඉවත් කිරීමේ අයිතියක් අපට නොමැති බවකි. එහෙත්,පසුගිය කොවිඩ් වසංගත සමයේ එය පිටු දැකීමට ගෝලීය ප්‍රවණතාවන් සමඟ අත් වැල් බැඳ ගනු වෙනුවට කාලි දෙවඟන විසින් පෙදරේරුවකුට දුන් බව කියූ බෙහෙත් වට්ටෝරුවකින් ගෝලීය කොවිඩ් වසංගතය පිටු දැකිය හැකි බවට ප්‍රසිද්ධියේ පිළිගෙන එම පෙදරේරුවාට එම වට්ටෝරුවට අනුව බෙහෙත් නිපදවීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් රටකට “මෙරටට ආවේණික රිලවුන්ට අපට වඩා මෙම භූමියේ ජීවත් වීමට වැඩි අයිතියක් ඇත” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පරිසරවේදී සජීව චාමිකර තැබූ ෆේස්බුක් සටහන විහිළුවක් වීම සම්බන්ධ කිසිම පුදුමයක් අප තුළ නම් නැත. දමයන්ති ගමගේ