මේ මොහොතේ රාජපක්ෂලාට රට වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය දේශපාලනයෙන් ඉවත් වීමයි

මේ මොහොතේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට රට වෙනුවෙන් කළ හැකි ලොකුම සේවය දේශපාලනයෙන් ඉවත්ව සිටීම යැයි හිටපු ඇමති,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.ඒ මහතා වැඩිදුරටත් කියා සිටිනුයේ රාජපක්ෂ පවුල රටෙන් මංකොල්ල කෑ ධනය නැවත ජනතාවට බෙදා දිය යුතු බවකි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 43 සේනාංකය විසින් සංවිධානය කළ අද(03) පැවති මාධ්‍ය හමුවක දීය.එහි දී අදහස් දැක්වූ රණවක මහතා මෙසේ ද කීය. “බොහොම කරුණාවෙන් සහ මේ රටේ ජනතාවගේ පැත්තෙන් කිව්වොත්, ඉතාම ආවේගයෙන් ප්‍රකාශ කරන්න තියෙන්නේ ඔය නාමල් රාජපක්ෂ මහත්තයලට කරුණාකරලා ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙන්න. කරුණාකරලා ඔබලා විසින් මේ රටෙන් මංකොල්ල කන ලද ධනය, මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔබලා සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තුල තියෙන්නේ අතිශය පිළිකුල් සහගත තත්වයක්. ඊළඟ මැතිවරණයෙන් ඔය පොහොට්ටුවේ කයි කාරයින්ට තේරෙයි මොකක්ද තත්වේ කියලා. මතක තියාගන්න මැයි 9 වෙනිදා මේ රටේ ජනතාව පාඩමක් ඉගැන්නුවා බේරේ වැව වටේදි. ඒ පාඩමවත් සිහියේ තබාගෙන දේශපාලනයෙන් කරුණාකරලා මේවට මැදිහත් නොවී ඉවත් වෙලා ඉන්න. ඔබලා මේවට ඇඟිලි ගහන වාරයක් පාසා වෙන්නේ මොකක්ද? රටේ ජනතාවගේ ප්‍රකෝපය තව ඉහළ නංවන එක විතරයි” එහි දී අදහස් දැක්වූ මන්ත්‍රී වරයා මෙසේ ද කීය. “විශේෂයෙන්ම මේ රට කරන ගෑස් ගණුදෙනු, තෙල් ගණුදෙනු, ගල් අඟුරුවලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි. ඒ ඩීල් වලින් ඔවුන් ඉවත් විය යුතුයි. ඔවුන් තමයි මේ අවුල කරන්නේ. මැද්දට පැනලා. ඒ නිසා ඒ ඒ සම්බන්ධයෙන් අපි බොහොම පැහැදිලිව කියනවා වහාම දේශපාලනයෙන් ඉවත් වෙලා පැත්තකට වෙලා ඉන්න. මම දන්නේ නැහැ වාසුදේව නානායක්කාර මහත්තයාට මොනවා කියලා තියෙනවද කියලා. වහාම පැත්තකට වෙලා ඉන්න. ඒක තමයි මේ මොහොතේ ඔබේ පවුලටත්, මේ රටටත් කරන්න පුළුවන් ලොකුම උපකාරය”

කාලීන පුවත්