මොනවාද ?මේ හැමතැනම පැතිරෙන වයිරස් උණ – ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂඥ වෛද්‍ය දිලිනි නක්කාවිට 

වේගයෙන් පැතිර යන උණ ⁣රෝගයක් පිළිබඳව මේ දිනවල අසන්නට ලැබේ. සාමාන්‍යයෙන් සුවිශේෂ නමක් ලැබී නැති උණ රෝග පොදුවේ අප කවුරුත් හඳුන්වන්නේ වෛරස් උණ ලෙසිනි. මෙම රෝගය හඳුන්වන්නේ ද එලෙසින් ම ය.

වෛරස් උණ යනු කුමක්ද ?
අපි මුලින්ම ඒ ගැන සොයා බලමු.

වෛරස් උණක් යනු වෛරසයක් ආසාදනය වීම නිසා හට ගන්නා උණ රෝගයකි. කෝවිඩ් 19, ඩෙංගු යන මේවාද වෛරස් රෝගයන් ය.
වෛරස විවිධාකාර ය. නිදසුනක් ලෙස ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදන ඇති කරන වෛරස් බොහොමයකි. කෝවිඩ් 19, ඉන්ෆ්ලුවන්සා (මෙහි ප්‍රභේද රැසක් ති⁣බේ.) පැරාඉන්ෆ්ලුවන්සා ( මෙහිද විවිධ ප්‍රභේද ඇත.) ඇඩිනෝ වෛරසය, ආර්. එස්. වී. වෛරසය, රයිනෝ වෛරසය ආදිය මීට උදාහරණ වේ. මෙලෙස ශරීරයේ ඕනෑම අවයවයකට බලපෑම් ඇති කළ හැකි වෛරස් වර්ග රාශියක් ඇත.

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හැදෙන වෛරස් ආසාදන හඳුන්වන්නේ viral flu ලෙසිනි. විශේෂ නමක් නොමැති උණ රෝග පොදුවේ අප වෛරස් උණ ලෙසින් හැඳින්වුවද සෑම viral flu එකකදීම උණ ගැනීම අනිවාර්ය ලක්ෂණයක් නොවේ. සමහර viral flu රෝගවල දී උණ ගැනීම එහි ලක්ෂණයකි. නමුත් සමහර රෝගවලදී උණ නැතිව වෙනත් රෝග ලක්ෂණ පහළ වීමට පුළුවන. මෙසේ රෝග ලක්ෂණ අඩු වැඩි වශයෙන් එක් එක් පුද්ගලයන් තුළ ඇති වන්නේ ඒ ඒ අයගේ සිරුරට ඇතුළු වන වෛරස්වල ප්‍රමාණය අනුව සහ ඔවුන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය අනුව ය. සාමාන්‍යයෙන් ඇති වන රෝග ලක්ෂණ වනුයේ උණ සමග ශරීරය සීතල වීම, උගුරේ ආසාදන, වියළි කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, නාසය අවහිරවීම, ශරීරයේ මස්පිඬු වේදනාව සහ ඇඟපත වේදනාව, හිසරදය, මහන්සි ගතිය, වමනය, බඩ බුරුල් වී යාම ආදියයි. වෛරසයේ ස්වභාවය, ඇතුළුවන වයිරස් ප්‍රමාණය, රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිය යන මේ කරුණු අනුව රෝග ලක්ෂණ අඩු වැඩි විය හැකිය.

කෙසේ වුවද වෛරස් උණ වැළඳීමෙන් වැළකී සිටිය යුතු අය සහ වෛරස් උණක් වැළඳුනහොත් අනිවාර්යයෙන් ප්‍රතිකාර ගත යුතු අවදානම් කාණ්ඩ ද වේ.
එනම් අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්, අවුරුදු 2 ට අඩු කුඩා දරුවන්, ගැබිණි මව්වරුන්, දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන්, හදවත සම්බන්ධ රෝග ඇති අය, ඇදුම රෝගීන්, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා ඇති අය, අවයව බද්ධ කළ අය මෙම අවදානම් කාණ්ඩ ලෙස සැලකෙන අතර එවැනි කෙනෙකුට වෛරස් උණ රෝගයක් වැළඳුණහොත් ඉක්මනින් ප්‍රතිකාර ගත යුතුය.

වෛරස් වර්ග අපට ආසාදනය වන ක්‍රම ද විවිධ ය. විශේෂයෙන් ශ්වසන පද්ධතියට බලපාන viral flu හටගැනීමට හේතු වන්නේ බොහෝ විට එම වෛරස වාතය මගින් අපට ආඝ්‍රාණය වීම ය. රෝගියාගේ වෛරස සහිත කෙළ බිඳිති නාසය මගින් ආශ්වාසය තුළින් සිරුර තුළට ඇතුළු වීම, අපේ අත්වල තැවරී එම අත්වලින් අපගේ නාසය මුඛය වැනි ඉන්ද්‍රියයන් ස්පර්ශ කිරීම හරහා ශරීරගත වීම වැනි ක්‍රමවලින් එම වෛරසය අපගේ ශ්වසන පද්ධතියට ඇතුළු වී අප රෝගී කරවනු ඇත. ඩෙංගු රෝගය හටගන්නේ ඩෙංගු මදුරුවා විසින් කරනු ලබන දෂ්ඨ කිරීම තුළිනි. මෙලෙස විවිධ ක්‍රම ඔස්සේ වෛරසවලට අපේ ශරීරයට ඇතුළුවීමේ හැකියාව පවතී.

අපට වැළඳෙන උණ රෝග අතරින් වෛරස් උණ වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් තිබේද ? දැන් අපි ඒ ගැන සොයා බලමු.
උණ, රෝගයක් නොව රෝගයක ලක්ෂණයකි. කිසියම් හෝ ආසාදනයක ප්‍රතිඵලයක් ලෙස උණ හට ගනී. මෙම ආසාදනය වෛරස මෙන්ම දිලීර, බැක්ටීරියා පරපෝෂිත යන මේ ඕනෑම එකක් නිසා සිදු විය හැකිය. මේ සෑම එකකදීම උණ එහි ලක්ෂණයක් ලෙස හට ගන්නට පුළුවන.

නමුත් මේවායෙහි යම් යම් වෙනස්කම් පවතී. වෛරසයක් නිසා හට ගන්නා උණකදී එය තද උණක් ලෙසින් මෙන්ම ලා උණක් ලෙසින් වුව ද හට ගන්නට පුළුවන. Viral flu එකකදී ලා උණක් හටගෙන එය දවසින් දෙකෙන් බැස යනු ඇත. වෛරසයක් අපේ ශරීරයට ඇතුළු වූ විට බාහිරින් විෂබීජයක් පැමිණි බව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් හඳුනාගනී. ඉන්පසු ප්‍රතිශක්තිකරණ පද්ධතිය එහි සෛලවලින් විවිධ රසායනිකයන් නිකුත් කොට ශරීරයේ උෂ්ණත්වය වැඩි කරයි. එලෙසින් කරන්නේ විෂබීජය විනාශ කිරීමේ උපක්‍රමයක් ලෙසිනි. අපට උණ වැළඳීම යනු එයයි. බොහෝ වෛරසවලට නිශ්චිත ප්‍රතිකාර නැති නිසා වෛරසය දුරු කිරීම ශරීරය විසින්ම කළ යුතු වේ. එනිසා අප කළ යුතුව ඇත්තේ එයට ඉඩදී හැකිතාක් විවේකීව සිටීම ය. ඒ මිස වෛරස ආසාදනවලට ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) ලබා දීම පලක් නොවේ. සමහර වෛරස සඳහා ප්‍රති වෛරස ඖෂධ ( Anti viral drugs) සීමිත ප්‍රමාණයක් ඇති අතර එම ඖෂධ ලබාදිය යුත්තේ ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් විසින් රෝගියා පරීක්ෂා කර නිර්දේශ කිරීම තුළින් පමණි. නමුත් මෙම ඖෂධ සෑම වෛරස් එකකටම අදාළ වන්නේත් නැත. එනිසා ෆාමසියට ගොස් අපේ හිතුමතයට අනුව ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම කෙසේවත් හිතකර වන්නේ නොවේ.

බැක්ටීරියාවක් නිසා හට ගන්නා ආසාදනයක දී පමණක් ප්‍රතිජීවක ඖෂධ මගින් සුවය ලබා ගත හැකිය. උණක් වැළඳුණු විට එය බැක්ටීරියාවක් නිසා හට ගන්නා ලද්දක් ද නැතහොත් වෛරස් උණක් ද යන්න රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයාට යම් මට්ටමකට තීරණය කිරීමේ හැකියාව ඇත. ඒ පිළිබඳ සැක සිතෙන අවස්ථාවකදී FBC වැනි රුධිර පරීක්ෂණයක් මගින් වෛද්‍යවරයාට තම අනුමානය තහවුරු කර ගැනීමට පුළුවන.
බැක්ටීරියා ආසාදනයක විශේෂත්වය වන්නේ උණ සමග එම බැක්ටීරියාව විසින් ආසාදනය කරන ලද ශරීරයේ අදාළ කොටසෙහි යම් යම් රෝග ලක්ෂණ ඇති වීම ය. නිදසුනක් ලෙස ආසාදනය ඇති වූයේ මුත්‍රාශයේ නම් මුත්‍රා පිටකරන විට දැවිල්ල, වේදනාව ආදී ලක්ෂණ හට ගනී. සමෙහි බැක්ටීරියා ආසාදනය ඇති වූයේ නම් සම කැසීම, රතුවීම වැනි ලක්ෂණ හට ගනී.

සාමාන්‍යයෙන් වෛරස් උණක් හට ගත් කල දිගින් දිගටම පැතිරෙන්නේ එය ඉක්මනින් බෝවීමේ හැකියාව තිබෙන නිසා ය. ඕනෑම වෛරස් උණක් බෝවනු ඇත. නමුත් සමහර වෛරස් උණ පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝවන්නේ නැත. නිදසුනක් ලෙස රට පුරාම ඩෙංගු උණ පැතිරී තිබෙන වකවානුවක වුවත් ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවන අතර ඩෙංගු මදුරුවා විසින් දෂ්ට කිරීම තුළින් බෝ වෙයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිත වෛරස් රෝග ඉහත කී පරිදි කෙළ බිඳිති ආදිය මගින් පැතිරෙනු ඇත. මෙලෙස විවිධ ආකාරවලට වෛරස් රෝග පැතිරෙන අතර ඕනෑම නිරෝගී කෙනෙකුට වෛරස් රෝග හට ගැනීමේ හැකියාව තිබෙන බව සැලකිය යුතුය.

වෛරසයක් විසින් තමන්ගේ ස්වභාවය නිතර නිතර වෙනස් කරගෙන අලුත් ප්‍රභේද ලෙස පැමිණේ. නිදසුනක් ලෙස කෝවිඩ් 19 වෛරසය විවිධ ආකාරවලින් අලුත් වෙමින් පැමිණි බව ඔබට මතක ඇතැයි සිතමු. මේ කාලය වන විටත් එහි නව ප්‍රභේදයක් ඉස්මතු වී තිබේ. සාමාන්‍යයෙන් සෘතු භේද තිබෙන රටවල ශීත කාලයට පෙර viral flu රෝග හට ගැනීම වැළැක්වීම සඳහා එම රටවල වැසියන්ට එන්නතක් ලබාදීම සිදුවේ. නමුත් අපේ රටේ එවැනි සෘතු භේද නොමැති නිසා විවිධ කාලවල නොයෙකුත් ආකාරවලින් වෛරස් රෝග පැමිණිය හැකි අතර එම කාල වකවානු පිළිබඳ කලින් හඳුනාගැනීමට තිබෙන අවස්ථා අඩු ය. අපේ රටේ ද මෙම එන්නත තිබෙන අතර ඉහත සඳහන් කළ අවදානම් කාණ්ඩයේ අවුරුදු දෙකට අඩු දරුවන්ට හැර අනෙක් අයට එම එන්නත ලබාගත හැකිය.

මේ දිනවල පවතින උණ රෝගයට අදාළ වෛරසය ද පරීක්ෂණයකට භාජනය කළොත් හඳුනා ගැනීමට හැකියාව තිබේ. ඒ අනුව රෝගියෙකුගේ නාසයෙන් ලබාගත් ශ්වසන තරල PCR පරීක්ෂණයකට භාජනය කිරීමට පුළුවන. නමුත් විශේෂ අවස්ථාවකදී හැර එවැනි පරීක්ෂණ සිදු කරන්නේ නැත. බරපතළ රෝගියෙකුගේ එවැනි පරීක්ෂණයක් අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු යැයි වෛද්‍යවරුන්ට හැඟුනහොත් ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත එම පරීක්ෂණය සිදු කළ හැකිය. ඒ හැරුණු විට දිගින් දිගට පැතිර යන වසංගත රෝග තත්ත්වයකදී රෝග විනිශ්චය කරගැනීම සඳහා එම වෛරසය හඳුනා ගැනීම පිණිස පර්යේෂණ මට්ටමින් එය සිදුකරන අවස්ථා තිබේ. නමුත් එලෙස හඳුනා ගත්තත් ඉහත ද කී පරිදි බොහෝ වෛරස් රෝගවලට ඖෂධ නොමැත. හොඳම උදාහරණ වන්නේ කෝවිඩ් සහ ඩෙංගු රෝගයයි. මෙබඳු තවත් බොහෝ රෝග තිබේ.

වෛරස් රෝග නිසා පශ්චාත් අතුරු ආබාධ හටගන්නේද යන්න තවත් බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවකි. සාමාන්‍යයෙන් වැඩි ප්‍රතිශතයකට රෝග ලක්ෂණ පහව ගිය පසු සාමාන්‍ය තත්ත්වයට පැමිණීමේ හැකියාව ඇත. සුළු ප්‍රමාණයකට පමණක් සංකූලතා හට ගැනීමේ තත්ත්වයක් නැතුවා නොවේ. නිදසුනක් ලෙස කෝවිඩ් රෝගීන් දැඩි සත්කාර ඒකකවලට යොමු කරන ලද්දේ වෛරසය නිසා පසුව ඔවුන්ට ඇති වූ නිව්මෝනියා තත්ත්වය හේතුවෙනි. තවත් සමහරුන්ට viral flu හට ගත් පසු එම වෛරස නිසා මැද කනේ ආසාදන, කෝඨර ප්‍රදාහය නමින් හඳුන්වන sinusitis, ඇදුම රෝගය තිබෙන රෝගීන්ට ඇදුම උත්සන්න වීම ආදිය සිදු විය හැකිය. වෛරස් ආසාදන නිසා ඇතිවන බරපතළ සංකූලතාවලදී මොළයට බලපෑම් ඇතිවීම නිසා එන්කෙපලයිටිස් රෝගය, හෘදයට බලපෑම් ඇති වීමෙන් හෘද රෝග ආදී වශයෙන් ශරීරයේ ඕනෑම අවයවයකට වෛරසයේ බලපෑම ඇති වීමට හැකියාව තිබෙන බව කිව යුතුය. නමුත් මෙම බරපතළ සංකූලතා සුලබ ඒවා නොවේ.

මේ දිනවල පැතිර තිබෙන වෛරසය කුමක්ද ?

මේ දිනවල ඉන්ෆ්ලුවන්සා වෛරසයෙහි ප්‍රභේද කිහිපයක්, ඇඩිනෝ වෛරසය, කෝවිඩ් 19 ආදී වෛරස කිහිපයක්ම පැතිර පවතී. එසේම ඩෙංගු රෝගය ද මේ දිනවල දක්නට පුළුවන. එනිසා මෙකල පවතින උණට මෙම වෛරස කිහිපයම හේතුවන බව පැහැදිලි ය.
තවත් සුළුතරයක් අතර පැතිර පවතින මතයක් වන්නේ මේ දිනවල පැතිර පවතින වෛරස් උණ නිසා වඳ භාවය ඇතිවන බව ය. නමුත් වෛරස් නිසා වඳ භාවය ඇති වන බවට 100 % ක්ම තහවුරු වී නොමැත. නිදසුනක් ලෙස කම්මුල්ගාය රෝගය ඇති කරන mumps වෛරසය නිසා කුඩා කාලයේ පිරිමි දරුවන්ට කම්මුල්ගාය රෝගය වැළඳුනහොත් ඔවුන් අනාගතයේදී මඳසරු භාවයට පත්වන බවට පිළිගැනීමක් ඇත. එම වෛරසය බලපාන්නේ අපගේ ඛේට ග්‍රන්ථිවලට ය. නමුත් එම වෛරසය මගින් පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂවලට බලපෑමක් ඇති වුවහොත් මඳසරුභාවය ඇති වීමේ සම්භාවිතාවක් තිබේ.

එසේ වුවද මෙය තාවකාලිකව පැවතිය හැකි දෙයක් විය හැකි අතර සමහරුන්ට පමණක් දිගටම පැවැතීමට ඉඩ කඩක් පවතියි. අනිකුත් සමහර වෛරසවලින්ද වෘෂණකෝෂවලට බලපෑමක් ඇති වුවහොත් එමඟින් පිරිමින්ගේ මඳසරුභාවය හටගැනීමට ඉඩකඩක් පවතින බව සමහර පර්යේෂණ වාර්තාවලින් පැහැදිලි කර දී තිබුණත්, තවම ඒ කිසිවක් තහවුරු කර නැත.
කෙසේ වුවත් වෛරස් උණ රෝගවලින් හැකි තාක් ප්‍රවේශම් වීම කාටත් හොඳ ය. විශේෂයෙන් අවදානම් සහිත කාණ්ඩවලට අයත් වූවන් සෙනඟ ගැවසෙන ස්ථානවලට නොයා හිඳීම, මාස්ක් පැළඳීම, අත් සේදීම ආදී වශයෙන් පෙර කෝවිඩ් වසංගතය පැතිර තිබූ සමයේ ගන්නා ලද ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ඉතා යහපත් වේ.
ඇඟපත රිදීම, සොටු දියර ගලා ඒම සමග උණ වැනි ලක්ෂණ තිබේ නම් එය වෛරස් උණකි.

උණට අමතරව මුත්‍රා දැවිල්ල, යටි බඩේ කැක්කුම වැනි රෝග ලක්ෂණ තිබේ නම් එය බැක්ටීරියා ආසාදනයකි. කකුලේ හෝ ශරීරයේ කිසියම් තැනක තුවාලයක් නිසා තදබල වේදනාව සමග උණ හට ගත්තේ නම් එයද බැක්ටීරියා ආසාදනයකි. මෙලෙස ඉහත ද විස්තර කළ පරිදි උණට අමතරව ශරීරයේ යම් තැනක හට ගන්නා වේදනාවක් කැක්කුමක් වැනි ලක්ෂණ ඇතිවීම බැක්ටීරියා ආසාදනයක ප්‍රතිඵලයකි. බැක්ටීරියා නිසා ද නියුමෝනියා තත්වයන් ඇති වේ. ඇතැම් අවස්ථාවල වෛරස් උණ ටික කලක් පැවතී බැක්ටීරියාවක් එම ස්ථානයේ තැන්පත් වුවහොත් ඊළඟට එතැන බැක්ටීරියා ආසාදනයක් ද හට ගනු ඇත. නිදසුනක් ලෙස අපට නිතරම වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව පිළිබඳව සැලකුවහොත් සෙම්ප්‍රතිශ්‍යාව හටගන්නේ වෛරසයකිනි. නමුත් ටික කලක් යනවිට ශ්වසන මාර්ගයේ නාසය, උගුර වැනි ස්ථානයක බැක්ටීරියා ආසාදනයක් ඇතිවීම නිසා උගුරේ වේදනාව වැනි ලක්ෂණ හට ගන්නට පුළුවන.

මෙවැනි අවස්ථාවලදී කොත්තමල්ලි වැනි දේවල් තම්බා බීම, උණුසුම් පාන ගැනීම ආදිය මගින් මෙම තත්වයන් පාලනය කරන්නට පුළුවන. නමුත් වැඩි වන බවක් දැනෙන්නේ නම්, උණ අඩු වෙන්නේ නැතිවම දිගින් දිගටම පවතින්නේ නම් වෛද්‍යවරයකු හමුවිය යුතුය. වෛරස් රෝගයකදී පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම හැර වෛද්‍ය නිර්දේශයකින් තොරව කිසිදු ඖෂධයක් නොගත යුතුය. ඉතාමත් වැදගත් දෙය නම් රෝගියා ඇඳ විවේකය ගැනීම ය .

ක්ෂුද්‍ර ජීව විශේෂඥ වෛද්‍ය දිලිනි නක්කාවිට

ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර