මොරගහකන්ද දිළිඳු වී යටගියාව ඉස්මතු වෙයි

පවත්නා වියළි කාලගුණික තත්වය යටතේ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අව ප්‍රමාණ වීමත් සමඟ විදුලිය සැපයීම සඳහා අවශ්‍ය ජල ධාරිතාව අවම ජල මට්ටම 164 දක්වා පහත බැස ඇති නිසා ඉකුත් 19 දා සිට විදුලි උත්පාදනය සඳහා සපයන ජලධාරිතාව අත්හිටුවා ඇති බව මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශය කාර්ය භාර ඉංජිනේරු පී. එස්. බණ්ඩාර මහතා පවසයි.19 වැනිදා පෙරවරුව වනවිට මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 105283 ක් බවද වර්තමාන සක්‍රීය ජල ධාරිතාව අක්කර අඩි 62661 ක් බව ද මොරගහකන්ද කලාපයේ ජලාශ භාර ඉංජිනේරු බණ්ඩාර මහතා පෙන්වා දෙයි. වර්තමාන සක්‍රීය ජල ධාරිතා ප්‍රතිශතය 15.3% ක් බව ද වාර්තා විය.මෙම තත්ත්වය නිසා ඉදිරි කාලයේදී වර්ෂාව නොලැබුණහොත් වී වගාවට ජලය මුදාහැරීම ද ගැටලුවක් විය හැකි බව මහවැලි අධිකාරී ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල යාම හේතුවෙන් ජලාශය ඉදිකිරීම් සඳහා යට කිරීමට සිදු වූ ජනාවාස නැවත මතු වෙමින් පවතී.මොරගහකන්ද ජලාශය සඳහා ජලයෙන් යට වූ ගම්මාන සියල්ලම නැවත මතුවෙමින් පවතින අතර ඇලහැර හෙට්ටිපොළ පැරණි මාර්ගය පවා මේ වන විට නැවත දැකගැනීමට හැකිවී තිබේ.ජලයෙන් යටගිය කොන්ගහවෙල රෝහල, රාජ්‍ය ආයතන රැසක් මෙන්ම ප්‍රධාන මාර්ග බොහොමයක් නැවත දැක බලා ගැනීමට හැකි වීම මත තම අතීත මතකයන් අවදි කර ගැනීම පිණිස ඒ ගම්මාන වල ජීවත් වූවන් බොහෝ දෙනෙක් එහි පැමිණෙමින් සිටිති.මොරගහකන්ද ජලාශය ඉදි කිරීම පිණිස ජලයෙන් යට කළ අඹන් ගඟ පෙර පරිදිම මේ දිනවල දැක ගැනීමට හැකි වීම ද විශේෂත්වයකි.

කාලීන පුවත්