මෝඩයාගේ දිනයේ සිදු වූ අකරතැබ්බ

‘මෝඩයාගේ දිනය’ හෝ ‘බොරු කියන දිනය’ වශයෙන් ලෝකයේ ප්‍රකටව පවතින අප්‍රේල් මාසයේ පළමු දිනයට ඇත්තේ දීර්ඝ මෙන්ම ඉතා අපූර්ව ඉතිහාසයකි. එහි ආරම්භය පිළිබඳ නිශ්චිත අදහසක් නැතත් දින දර්ශනය වෙනස් කිරීමකට ලක් වූ 16 වැනි සියවසේ ප්‍රංශයෙන් මේ පිළිබඳ යම් අදහස් සොයා ගත හැකිය. අලුත් අවුරුදු උදාව අප්‍රේල් 1 වැනිදා සිට ජනවාරි 1 වැනිදා දක්වා වෙනසකට බඳුන් වූයේ මේ කාලයේදීය. අලුත් අවුරුදු උදාව අප්‍රේල් 1 වැනිදා යැයි සලකමින් සුපුරුදු පරිදි එය සැමරීම සිදුකරගෙන ගිය අයවලුන් ‘අප්‍රේල් මෝඩයන්’ සේ සළකා විහිළුවට ලක් කිරීම එහිදී සිදු විය. සියවස් ගණනාවක් තිස්සේ සාමාන්‍ය, සුප්‍රකට සහ ලෝක නායකයින් ඇතුළුව කිසිවකු හෝ වෙනසකට බඳුන් නොකරමින් අප්‍රේල් 1 වැනිදා යනු බොරු කියා මිනිසුන් රවටන දිනයක් බවට කෙමෙන් පරිවර්තනය විය. මේ නිසාම මේ සම්බන්ධයෙන් රසවත් කතා බොහොමයක් සොයා ගත හැකිය.

බිග් බෙන් ඔරලෝසුවට ඩිජිටල් මුහුණත් සවි කළ හොත් පෙනෙන ආකාරය

1957 අප්‍රේල් 1 වැනිදා බීබීසී සේවය ‘පැනොරාමා’ නම් වූ සිය කාලීන වැඩසටහන තුළින් අපූරු සිදුවීමක් ඉදිරිපත් කළේය. එහි වූයේ ස්විස් ජාතික ගොවීන් ගස්වලින් ස්පැගටි (spaghetti) නම් ආහාර වර්ගය කඩා ගන්නා අන්දමය. ස්පැගටි යන් පිටිවලින් සාදනු ලබන ආහාරයකි. එම වාර්තාව නම් කොට තිබුණේ ‘සරුසාරවත් ස්පැගටි බෝග’ නමිනි. මද සිසිර දේශගුණය සහ වගා හානි කෘමීන් මර්දනය කර තිබීම මෙවැනි සාරවත් අස්වැන්නකට හේතු වූ බව ඒ වාර්තාවෙන් කියැවිණි. මෙය සැබවින්ම බොරුවක් වූ අතර ජනමාධ්‍ය කෙතරම් බලවත් ද යන්න පෙන්වන එතෙක් මෙතෙක් වූ හොඳම බොරු අතර එකක් බවට මෙය පත් විය.

1992 අප්‍රේල් 1 වැනි ඇමරිකා එක්සත් ජනපදයේ ‘ජාතික මහජන ගුවන් විදුලිය’ (National Public Radio – NPR) මගින් විකාශනය කළේ අපකීර්තිමත් ලෙස ජනපති ධූරයෙන් ඉල්ලා අස් වූ ජනාධිපති රිචඩ් නික්සන් නැවත ජනපති තරගයට ඉදිරිපත් වන බවය. එහිදී රිචඩ් නික්සන්ගේ හඬ පටයක් ද විකාශනය කරන ලද අතර එයින් කියැවුණේ, “මම කිසිදු වරදක් කරලා නැහැ. මම නැවත එය කරන්නෙත් නැහැ’ යන්නය. කෙසේ නමුත් ඒ හඬ ප්‍රහසන ශිල්පියකු වූ රිච් ලිට්ල්ගේ හඬ බව හඳුනා නොගත් ශ්‍රාවකයෝ මෙයින් මහත් කලබලයට පත් වූහ. මහජනතාවගේ හැඟීම් කෙතරම් පහසුවෙන් මෙහෙයවිය හැකිද යන්න මේ බොරුව තුළින් අවබෝධ කර ගත හැකි විය.

වමත්කරුවන් වෙනුවෙන් සෑදු වොපර් එක

1998 අප්‍රේල් 1 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ‘බර්ගර් කිං’ (Burger King) ආයතනය පුවත්පතක සම්පූර්ණ පිටුවක් පුරා වෙළෙඳ දැන්වීමක් පල කරමින් සඳහන් කළේ තමා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මිලියන 32 ක් වූ වමත් කරුවන් වෙනුවෙන් ‘වොපර්’ (හැම්බර්ගර් වර්ගයක්) එකක් හඳුන්වා දෙන බවය. මේවා මිලදී ගැනීම සඳහා දහස් ගණනක් පොර කෑ අතර අනෙක් අය සාමාන්‍ය හෙවත් දක්ෂිණාවර්ත ඒවා ඇණවුම් කළහ. සැබවින්ම එහි වමත් කරුවන් වෙනුවෙන් විශේෂයක් සිදු කර නොතිබුණු අතර කර තිබූ එකම දෙය වූයේ එයට දැමූ අමුද්‍රව්‍ය අංශක 180ක් වමට කරකවා තිබීම පමණි.

ඇමරිකානු ජනපතිවරයකු වූ රිචඩ් නික්සන්

1978 අප්‍රේල් 1 වැනිදා ඕස්ට්‍රේලියානු ව්‍යවසායකයකු වූ ඩික් ස්මිත් යෝධ අයිස් කන්දක් සිඩ්නි වරායට නැවක ආධාරයෙන් ඇදගෙන ආවේය. ඔහු පැවසුවේ ඇන්ටාර්ක්ටිකාවේ සිට රැගෙන ආ මේ අයිස් කන්දෙන් සුපිරිසුදු අයිස් කැට සාදා අළෙවි කරන බවය. මෙය දැක ගැනීමට පැමිණි මිනිසුන් මහත් විස්මයකට පත්ව සිටි අතර හදිසියේ පතිත වූ වර්ෂාවක් නිසා සියල්ල කණපිට පෙරළිණි. සැබවින්ම එහි තිබුණේ යෝධ අයිස් කන්දක් නොව ප්ලාස්ටික් සහ ගිනි නිවීමේ දී යොදා ගන්නා පෙනවලින් ආවරණය කරන ලද විශාල යාත්‍රාවකි. වර්ෂාව නිසා ඒවා දියවී ගියේය. මෙය විහිළුව ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ එක් අමරණීය සිදුවීමක් ලෙස සටහන් වී තිබේ.

එඩ්ගේකුම්බේ ගිනි කන්ද මුදුනින් දුමක් නිකුත් වීම

1974 අප්‍රේල් 1 වැනිදා ඇලස්කාවේ සිට්කා නගරවැසියන් අවදි වූයේ ඉමහත් භීතියකිනි. එහි එඩ්ගේකුම්බේ ගිනි කන්ද මුදුනින් දැඩි දුමක් නගිනු දිස් විය. එය බොහෝ කලක් අක්‍රියව පැවති ගිනි කන්දක් වූ අතර එය නැවත සක්‍රිය වී ඇතැයි බොහෝ දෙනෙකු සංත්‍රාසයට පත් වූහ. කෙසේ නමුත් පසුව දැනගන්නට ලැබුණේ මිනිසුන්ට අමුතු ආකාරයේ විහිළු කරන්නට ප්‍රසිද්ධ නගරවැසියකු වූ පෝර්කි බිකාර් නමැත්තා මේ ගිනි කන්දේ ආවාටය තුළ පරණ ටයර් පුළුස්සා දුමක් ඇති කර තිබූ බවය. මේ විහිළුව කෙතරම් දුරදිග ගියේ ද කිවහොත් වෙරළාරක්ෂක භටයින් පවා මෙයින් කලබලයට පත්ව තිබිණි.

ගස්වලින් ස්පැගටි කඩා ගන්නා ආකාරය පෙන්වා තිබූ අන්දම

1980 අප්‍රේල් 1 වැනිදා බීබීසි සේවය නිවේදනය කළේ ලන්ඩන් නගරයේ ඇති සුප්‍රකට සහ ඓතිහාසික බිග් බෙන් ඔරලෝසුවේ පැරණි මුහුණු ඉවත් කර ඒ වෙනුවට ඩිජිටල් ආකාරයෙන් අංක මගින් වේලාව දක්වන නවීන උපකරණ සවි කරන්නට රජය තීරණය කර ඇති බවය. ගුවන් විදුලි ශ්‍රාවකයන් සහ සාම්ප්‍රදායික දේ වෙනස් කිරීමට එරෙහි සංවිධාන මෙහිදී ඉමහත් කෝපයට පත් වී එයට එරෙහිව සිය විරෝධය පළ කරන්නට පටන් ගත්හ. කෙසේ නමුත් බීබීසී සේවය පසුව නිවේදනය කළේ එය හුදෙක්ම අප්‍රේල් 1 වැනිදා විහිළුවක් පමණක් බවය. මෙය බ්‍රිතාන්‍ය ජනතාව ජාතික සංකේත කෙරෙහි කෙතරම් ඇලි ගැලී ඇතිද යන්න පෙන්වීම සඳහා කදිම නිදසුනක් විය.

සිඩ්නි වරායට රැගෙන ආ බොරු අයිස් කන්ද

මේ ආකාරයට අප්‍රේල් 1 වැනිදා වසර ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයන්, ස්ථාන සහ සිදුවීම් සම්බන්ධයෙන් අපූරු ආකාරයේ විහිළු සහ රවටනසුළු සිදුවීම් සිදුව තිබෙන බව පෙනෙන්නට තිබේ. මේ හේතුව නිසා විශේෂයෙන් අප්‍රේල් 1 වැනිදා අප අසන දකින දේවල්වල සත්‍යාසත්‍ය බව පිළිබඳ නැවත අපට මතක් කර දෙයි. එබැවින් එදින අසන දකින දේවල් සම්බන්ධයෙන් සුළු හෝ සැකයක් ඇති කර ගැනීමෙන් රැවටීමට ලක් වීමේ අවදානමෙන් ගැලවී සිටිය හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර