මෝදි ගේ පක්‍ෂය මෙවර මැතිවරණයේ දී පසුබෑමකට ලක් වූයේ ඇයි?

නරේන්‍ද්‍ර මෝදි අඛණ්ඩව තුන්වැනි වරටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්වීම සඳහා  අවස්ථාව හිමි කරගත්තේය. ඒ පසුගිය දා අවසන් වූ මහා මැතිවරණයෙන් ඔහුගේ භාරතීය ජනතා පක්‍ෂය ජය ලැබීමත් සමග ය. අප්‍රේල් 19 වැනි දින ආරම්භ වී සති හයක් තිස්සේ අදියර 7 ක් යටතේ පැවැති මැතිවරණය ජුනි 01 වැනි දින අවසන් වූ අතර 4 වැනි දින රාත්‍රියේ නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් විය. ඒ අනුව වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබුණේ භාරතීය ජනතා පක්‍ෂය යි.

මෝදි ලබන සෙනසුරාදා (08) තුන්වැනි වතාවටත් අගමැති ධුරයේ දිව්රුම් දීමට නියමිත බව මාධ්‍ය සඳහන් කර තිබේ. ඉන්දියානු ඉතිහාසය තුළ මෙයට පෙර තුන් වතාවක් අගමැතිකමට පත්ව ඇත්තේ කොංග්‍රස් පක්‍ෂයේ ජවහර්ලාල් නේරු පමණි. ඒ, 1951, 1957 සහ 1962 යන වසරවල පැවැති මැතිවරණවලින් ඔහුගේ කොංග්‍රස් පක්‍ෂය ජය ගැනීමෙන් පසුව ය.

මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂය මෙවර ජයගත්තත් ඔවුන් යම් පසුබෑමකට ලක්ව ඇති ආකාරය දැකගත හැකි වේ. මැතිවරණයෙන් ඔවුන්ට ලැබුණු ආසන ගණන 240 කි. (ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ සමස්ත ආසන සංඛ්‍යාව 543 කි). 2019 වසරේ පැවැති මහා මැතිවරණයෙන් භාරතීය ජනතා පක්‍ෂය ආසන 303 ක් ලබාගෙන සිටියේය.

පක්‍ෂයක් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ ආසන 543 න් 272 කට වැඩි ගණනක් දිනාගත යුතු ය. නමුත් මෙවර මෙම බහුතර ආසන ගණන හිමි කරගන්නට භාරතීය ජනතා පක්‍ෂයට හැකි වී නැත. 2014 සහ 2019  මැතිවරණ දෙකේදීම මෝදි ගේ නායකත්වය යටතේ පක්‍ෂයට ඉහත කී බහුතරය දිනා ගන්නට හැකි විය.

කෙසේ නමුත් එම පක්‍ෂය අයත් වූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට මෙවර සමස්තයක් ලෙස ආසන 295 ක් දිනා ගන්නට හැකි වී තිබේ. මේ නිසා මෙම සන්ධානයේ පක්‍ෂවල සහය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමට භාරතීය ජනතා පක්‍ෂයට හැකි වේ. නමුත් එය සන්ධාන ආණ්ඩුවක් වනු ඇත. 2014 වසරේ මුල් වරට බලයට පැමිණීමෙන් පසු මෝදි සන්ධාන ආණ්ඩුවක අගමැති ධුරය දැරීමට යන්නේ පළමු වතාවට ය.

භාරතීය ජනතා පක්‍ෂය පසුබෑමකට ලක් වෙද්දී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූත්, ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වූත් ඉන්දීය ජාතික කොංග්‍රසය ඉදිරි පියවරක් තබා තිබේ. ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි, රජිව් ගාන්ධි වැනි දැවැන්තයන් නායකත්වය දැරූ මෙම පක්‍ෂය පසුගිය කාලයේ විශාල ඇද වැටීමකට ලක්ව සිටියේය. ඔවුන් අවසන් වරට බලයේ සිටියේ 2009 සිට 2014 දක්වා කාලයේ යි. 2009 වසරේ මැතිවරණයෙන් ඔවුන් බලයට ආවේ ආසන 206 ක් දිනාගනිමිනි. නමුත් ඊට පසු පැවැති 2014 මැතිවරණයේ දී ඔවුන්ට හිමි වූයේ ආසන 44 ක් පමණි. 2019  මැතිවරණයේ දී දිනාගත් ආසන ගණන 52 කි. අගමැති මෝදි ගේ ආකර්ශණීය නායකත්වයට අභියෝග කළ හැකි තත්ත්වයක් කොංග්‍රස් පක්‍ෂයට තිබුණේ නැත.

කෙසේ නමුත් මෙවර ඔවුන් ආසන 99 ක් දිනාගන්නට සමත්ව තිබේ. ඔවුන් වැටී සිටි තත්ත්වයට සාපේක්‍ෂව මෙය සැලකිය යුතු ජයග්‍රහණයකි. රහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි වැනි නායකයන් යටතේ පසුගිය කාලයේ පක්‍ෂය ගත් ක්‍රියාමාර්ග මෙම ජයග්‍රහණයට එක් හේතුවක් ලෙස සැලකිය හැකිය.

වඩාත් වැදගත් කාරණයක් වන්නේ මෙම පක්‍ෂය නායකත්වය දෙන INDIA (Indian National Developmental Inclusive Alliance)  නැමැති විරුද්ධ පක්‍ෂ සන්ධානය ආසන 234 ක් දිනා ගෙන තිබීම යි. මේ නිසා ඉදිරියේ දී මෝදිගේ ආණ්ඩුවට මෙම සන්ධානයෙන් විශාල අභියෝගයක් එල්ල වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකිය. 2014 වසරේ බලයට පැමිණීමෙන් පසු මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂය වඩාත්ම අස්ථාවර තත්ත්වයකට පත් වූ අවස්ථාව මෙය යි.

එම පක්‍ෂය මෙවර මේ ආකාරයෙන් පසුබෑමකට ලක් වීමට බල පෑ හේතු මොනවා ද? මෙවැනි පසුබෑමක් ඇති වී තිබෙන්නේ  මෝදි ගේ නායකත්වය යටතේ ඉන්දියානු ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයකට පත්ව ඇති පසුබිමක් තුළ වීම කුතුහලය දනවන කාරණයකි. තව නොබෝ කලකින් එම ආර්ථිකය ලෝකයේ සිව්වැනි විශාලම ආර්ථිකය වනු ඇති බවට ද අනාවැකි පළ වී තිබේ. නමුත් බොහෝ විශ්ලේෂකයන් පවසන්නේ ආර්ථිකය යහපත් තත්ත්වයක පැවතුණත් එහි ප්‍රතිලාභ අත්විඳින්නේ සීමිත පිරිසක් පමණක් බව යි. රටේ ආර්ථික විෂමතා වර්ධනය වෙමින් ඇති බවට  චෝදනා එල්ල වේ. ජීවන වියදම ඉහළ යාම, විරැකියාව ඉහළ මට්ටමක පැවතීම වැනි කාරණා ද ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බව සඳහන් වේ. විශේෂයෙන් එරට තරුණ පරපුර අතර විරැකියාව ඉහළ යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇත.

භාරතීය ජනතා පක්‍ෂ පාලනය තුළ රටේ සුළු ජාතිකයන්ට විඳින්නට සිදුව ඇති කෙණහිලිකම් මෑත කාලයේ වඩාත් ඉහළ ගොස් ඇති බවට ද චෝදනා නැගිණි. එමෙන්ම විරුද්ධ පක්‍ෂවලට සහ නායකයන්ට කරන හිරිහැර ද ඉහළ ගොස් ඇති බවක් පැවසිණි. විරුද්ධ පක්‍ෂවල නායකයන් කිහිප දෙනෙකුටම එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පැවරීම් ද සිදු විය. චෝදනා ලැබූ නායකයන් පවසන්නේ මේවා දේශපාලනික අරමුණු මත එල්ල කෙරුණු චෝදනා බව යි. මෝදි ගේ පක්‍ෂය මේ ආකාරයෙන් විරුද්ධ පක්‍ෂ මර්දනය කරමින් ඒකාධිපතිවාදයක් කරා ගමන් කරමින් සිටින බවට ද බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විය.

මෙවර මැතිවරණයේ දී  භාරතීය ජනතා පක්‍ෂය ලැබූ පසුබෑමට මෙවැනි කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇතැයි සිතිය හැකිය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර