යල කන්නයේ වී සඳහා යූරියා සියල්ල ඉන්දියාවෙන්

යල කන්නයේ වගා කටයුතු සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඊයේ (12) ඉන්දියාවේ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් ‍රාජේෂ් කුමාර් චතුර්වේදි මහතා හමුවිය.යල වගා කන්නයේ වී සඳහා සම්පූර්ණ අවශ්‍යතාවය වන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් දැනට පවතින ඇ.ඩො. බිලියනයක ණය යටතේ වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය තීරණය කිරීමත් සමඟ මෙම හමුව සිදුවිය.ඉන්දියාවෙන් යූරියා අපනයනය තහනම් කර තිබියදී ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම යූරියා ප්‍රමාණය ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇත. කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා සමඟසාකච්ඡා කර යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ශ්‍රී ලංකාවට සැපයීමට අවශ්‍ය අනුමැතිය සහ ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් චතුර්වේදි මහතාට ස්තුතිය පුද කළේය.ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී චතුර්වේදි පැවසුවේ, ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තම දෙපාර්තමේන්තුව සැමවිටම සූදානම් බවත්, අවශ්‍ය යූරියා ප්‍රමාණය ළඟම ඇති වරායේ සිට ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත්ය.දැනට පවතින ණය මාර්ගය යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ ක්‍රම සහ විධික්‍රම ද මහ කොමසාරිස්වරයා සහ ලේකම්වරයා සාකච්ඡා කළහ.නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා ද මෙම රැස්වීමට එක් විය.

කාලීන පුවත්