යළිත් පණ ලබා ඇති මොකක් ද මේ රජයේ සේවා ඩිජිටල් කිරීමේ කතාව?

රජයේ සියලු සේවාවන් ඩිජිටල්කරණය කළ යුතු බවට නැවතත් කතාබහක් ඇති වී තිබේ. අප රටේ ඩිජිටල්කරණය පිළිබඳ කතා බහ ඇති වූ පළමු වතාව මෙය නොවේ. මෙයට පෙර අවස්ථා කීපයකදීම මේ පිළිබඳ සංවාද සිදුව තිබේ. මේ සඳහා මූලික පියවරයන් ද ගෙන ඇති නමුත්, ඒවා සියල්ල හුදෙකලා තත්ත්වයන්ගෙන් පවතින බැවින් එහි සාර්ථකත්වයක් අත්දකින්නට හැකියාව ලැබී නැත. මේ වන විට අපට ඕනෑම තැනක සිට උප්පැන්න සහතිකය ලබා ගැනීමට, ඕනෑම තැනක සිට බැංකු කටයුතු කර ගැනීමට වැනි පහසුකම් ලැබී තිබෙන්නේ යම්කිසි මට්ටමකින් ඩිජිටල්කරණයක් සිදුව ඇති නිසා නමුත් එසේ ඩිජිටල්කරණයට ලක් වූ ආයතන අතර තවමත් නිවැරදි අන්තර් සබඳතා සිදු නොවන බව පෙනෙන්නට තිබේ. එවැනි කාර්යක්ෂම අන්තර් සබඳතාවක් පැවතියේ නම්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අනතුරට පත් වූ බස් රථය පැදවූ රියදුරාගේ බලපත්‍රය අධිකරණය මගින් තහනම් කරනු ලැබ තිබිය දී, නැවතත් මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව මගින් අලුත් බලපත්‍රයක් ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මන්ද එසේ රියදුරු බලපත්‍ර පිළිබඳ අධිකරණය විසින් ගනු ලබන තීරණවලට වහා මෝටර් රථ දෙපාර්තමේන්තුවට ප්‍රවේශ විය හැකි බැවිනි. නැවතත් අප මේ පිළිබඳ කතා කරන්නට පටන් ගෙන තිබෙන්නේ එවැනි වටපිටාවක් තුළය.

විසි එක් වැනි සියවසෙහි ලොවට හඳුන්වා දුන් ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආර්ථික සහ සමාජ සංවර්ධනයෙහි ලා තීරණාත්මක බලවේගයක් බවට මේ වන විට පත්ව තිබේ. රාජ්‍ය පාලනයේ සිට සෞඛ්‍ය සේවා දක්වා ද, අධ්‍යාපනය සහ වාණිජ කටයුතු දක්වා ද මිනිසුන් සිතන පතන ආකාරය, සමාජය සමග ගැටෙන ආකාරය සහ ජීවත් වන ආකාරය ආදී සියලු දේ ඩිජිටල්කරණයත් සමග දැවැන්ත වෙනසකට බඳුන් ව තිබේ. ඩිජිටල්කරණය යනු භෞතික වශයෙන් ඇති දත්ත වාර්තා, සේවාවන් සහ මෙහෙයුම්, ඩිජිටල් ආකෘතියකට පරිවර්තනය කිරීමය. එය තුළින් මාර්ග ගත සහ තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන විසඳුම් කරා මහජනතාවට ප්‍රවේශ වීමේ හැකියාව හිමි වේ. ලොව වටා බොහෝ රටවල් ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීමේ ගමනක නිරතව සිටින අතර විවිධ මට්ටමේ සාර්ථකත්වයන් යථාර්තයක් බවට පත් කර ගෙන ද තිබේ.

අප කලින් සඳහන් කළා සේ ඩිජිටල්කරණය ආරම්භ වන්නේ පහසුවෙන් ප්‍රවේශ වීමට සහ සැකසුම් කිරීමට හැකි වන පරිදි භෞතිකව පවතින තොරතුරු ඩිජිටල් ආකෘතිවලට පරිවර්තනය කිරීම තුළිනි. ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම තුළින් විවිධ සංවිධාන සහ රජයයන් ස්වයංක්‍රීය ක්‍රියාවලියක් සඳහා පිවිසෙන අතර, එමගින් වැඩකටයුතු ඉතා ක්‍රමවත් හා සුමට තත්ත්වයකට පත්වෙයි. එමෙන්ම මිනිස් ශ්‍රමයෙන් කළ යුතු වැඩකටයුතු බොහොමයක් අවම තත්ත්වයකට පත් වේ. අන්තර්ජාලය ඔස්සේ පරිගණක කටයුතු සිදු කිරීම (Cloud computing), කෘත්‍රිම බුද්ධිය (artificial intelligence – AI), දෛනික ව භාවිත කරන උපාංග සහ උපකරණ අන්තර්ජාලය හා සම්බන්ධ කිරීම (Internet of Things – IoT) සහ බ්ලොක්චේන් තාක්ෂණයන් (blockchain technologies – තොරතුරු ආරක්ෂා කිරීම සහ බෙදාහදාගැනීම සඳහා සකස්කර ගත් ආරක්ෂක ක්‍රමවේදයක්) යන අංගයන් ඩිජිටල් පරිවර්තනය උදෙසා මහඟු දායකත්වයක් සපයන තාක්ෂණික උපක්‍රම වේ. පුළුල් ව පැතිරුණු අන්තර්ජාල ප්‍රවේශය සහ පහසු මිල ගණන් යටතේ දත්ත සේවා සැපයීම සාර්ථක ඩිජිටල්කරණ චාරිකාවක් සඳහා අත්‍යවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් වේ.

අධිවේගී අන්තර්ජාල සේවාවන් ඇති කිරීම, දත්ත මධ්‍යස්ථාන ඇති කිරීම සහ විදුලි සංදේශ ජාල පද්ධති ව්‍යාප්ත කිරීම තුළින් ඇති කෙරෙන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, පුරවැසියන්ට මූලික පරිගණක සාක්ෂරතාව, සයිබර් ආරක්ෂණය පිළිබඳ දැනුවත්ව සිටීම සහ උසස් තාක්ෂණය පරිහරණය කිරීම වැනි ඩිජිටල් හැකියාවන් තුළින් පුරවැසියන්ගේ මූලික පරිගණක තාක්ෂණයෙන් බල ගැන්වීම සිදු කිරීම, රජයේ සේවාවන් ඩිජිටල්කරණයට (E-Government Services) ලක් කොට බදු කටයුතු, බිල් පත් ගෙවීම් ආදිය මාර්ග ගත ක්‍රමයට ගෙවීමේ හැකියාවන් ඇති කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වී නවෝත්පාදනයන් ඇති කොට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ඩිජිටල් ක්‍රියාකාරකම් සුරක්ෂිත කිරීම සඳහා දත්ත රහස්‍යභාවය සහ සයිබර් ආරක්ෂාව ඇති කරන නීති පද්ධති ඇති කිරීම ආදිය ඩිජිටල්කරණය කිරීමේ දී සැලකිය යුතු කරුණු අතර සුවිශේෂය.

ලෝකයේ සංවර්ධිත රටවල් සේම අප කිසිසේත් නොසිතන රටවල් පවා ඩිජිටල්කරණයේ දියුණුව අත්පත් කරගෙන සිටියි. නිදසුනක් ලෙස අපට එස්තෝනියාව ගත හැකිය. එස්තෝනියාව හඳුන්වනු ලබන්නේ ‘ඩිජිටල් සමාජයක්’ වශයෙනි. එහි ඩිජිටල් හැඳුනුම්පත් සහ මාර්ගගත ක්‍රමයට ඡන්දය විමසීම ආදිය ක්‍රියාත්මක වෙයි. රජයේ සියලු සේවාවන් ඩිජිටල්කරණයට පත් කොට තිබේ. ඩිජිටල්කරණයේ උපරිම ඵල නෙලා ගන්නා තවත් රටක් වන්නේ සිංගප්පූරුවය. එරට ප්‍රවාහනය, සෞඛ්‍ය සේවය සහ නාගරික සැලසුම් සියල්ල ඩිජිටල්කරණයට පත් කොට තිබේ. ඩිජිටල් හැඳුනුම්පත්, කාඩ්පත් නොමැතිව ගෙවීම් සිදු කරන ක්‍රමවේදයන්, දුරස්ථ වෛද්‍ය සේවාවන් ආදිය ක්‍රියාත්මක වේ. අග්නිදිග ආසියාවේ ඇති ඩිජිටල්කරණයේ උසස්තම තත්ත්වයක පවත්වාගෙන යන එකම රට සිංගප්පූරුව වේ. ලොව වේගවත්ම අන්තර්ජාල සේවය ක්‍රියාත්මක වන දකුණු කොරියාව ද ඩිජිටල්කරණයේ හිනි පෙත්තේම වැජඹෙන රටකි.

ඩිජිටල්කරණයට ලක් කිරීම නිසා මෙහෙයුම් වඩාත් පහසුදායක වන අතර, විවිධ ආකෘති පත්‍ර පිරවීම්, ලියකියවිලි වැඩකටයුතු ඉතා අවම තත්ත්වයකට පත් කොට අපතේ යාම් අඩු කර ගත හැකිය. සෑම අංශයකම විනිවිදභාවය මැනවින් දැකිය හැකි බැවින් දූෂණ, අක්‍රමිකතා සහ වංචා ආදිය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගත හැකි වේ.

යම්කිසි රටක් ඩිජිටල්කරණයට ලක් වීම තුළින් හිමි කර ගත හැකි වාසි සහගත තත්ත්වන් බොහොමයකි. ඉන් එකක් වන්නේ ආර්ථික වර්ධනය යි. ව්‍යාපාරවලට සිය ව්‍යාප්තිය වර්ධනය කර ගත හැකි  අතර මෙහෙයුම් පිරිවැය ඉතා අවම කර ගත හැකිය. ඊ-කොමර්ස් (E-commerce), fintech නමින් හඳුන්වනු ලබන මූල්‍ය තාක්ෂණ ක්‍රමවේද වැනි ප්‍රතිලාභ ඩිජිටල්කරණය නිසා ලැබෙන්නකි. කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ද ඩිජිටල්කරණයට පත් කරන ලද සමාජ ක්‍රමයක් තුළින් ලැබෙන තවත් වාසියක් වේ. ඩිජිටල්කරණයට ලක් කිරීම නිසා මෙහෙයුම් වඩාත් පහසුදායක වන අතර, විවිධ ආකෘති පත්‍ර පිරවීම්, ලියකියවිලි වැඩකටයුතු ඉතා අවම තත්ත්වයකට පත් කොට අපතේ යාම් අඩු කර ගත හැකිය. සෑම අංශයකම විනිවිදභාවය මැනවින් දැකිය හැකි බැවින් දූෂණ, අක්‍රමිකතා සහ වංචා ආදිය සැලකිය යුතු මට්ටමකින් අවම කර ගත හැකි වේ. රජයේ සේවාවන්ට, සෞඛ්‍ය සේවාවන්ට සහ අධ්‍යාපනික මූලාශ්‍රවලට ඕනෑම ස්ථානයක සිට පහසුවෙන් ප්‍රවේශ විය හැකි නිසා කලාපීය වශයෙන් ඇති විය හැකි වෙනස්කම් මග හැර උසස් ජීවන තත්ත්වයක් අත්පත් කර ගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම සමාජය තුළ නවෝත්පාදනය, තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ පර්යේෂණ ආදිය නිතර කතාබහට ලක්වන නිසා ඒ තුළින් තරගකාරීත්වය ඇති කොට ආර්ථිකය වඩාත් කාර්යක්ෂමතාවකට පත් කිරීමේ හැකියාව හිමි වේ. කඩදාසි භාවිතය අවම වීම සහ අනෙකුත් භෞතික මූලාශ්‍ර භාවිතය අවම වීම නිසා එමගින් පාරිසරික තිරසාරත්වය වර්ධනය කළ හැකි අතර රටක් වශයෙන් පාරිසරික ඉලක්කයන් සපුරා ගන්නට ද හැකියාව ලැබේ.

ඉහතින් සඳහන් කළ අන්දමේ වාසි සහගත තත්ත්වයන් සේම අවාසි සහගත තත්ත්වයන් ද ඩිජිටල්කරණය තුළ දකින්නට හැකිය. ඉන් එකක් වන්නේ රහස්‍යභාවය සහ ආරක්ෂක තත්ත්වය අවදානමට පත් වීමය. එනම්, ඩිජිටල් ක්‍රමවේදයන් කෙරෙහිම දැඩි විශ්වාසය තබාගෙන සිටීම නිසා දත්ත විනාශ වීම, සයිබර් ප්‍රහාර සහ රහස්‍යභාවය උල්ලංගනය වීම ආදිය නිතර සිදු විය හැකිය. එබැවින් ඉතා දැඩි මෙන්ම කාර්යක්ෂම සයිබර් ආරක්ෂණ ක්‍රමවේද රජයයන් සහ මේවාට සම්බන්ධ අනෙකුත් ආයතන විසින් පවත්වා ගෙන යා යුතු වේ. තවත් අවාසි සහගත තත්ත්වයක් වන්නේ ඩිජිටල් වශයෙන් බෙදීමක් ඇතිවීමය. ඩිජිටල් සේවාවන්ට ප්‍රවේශවීමේ දී බොහෝ විට සමාජ -ආර්ථික සාධක කාරණා නිසා ඒවා සීමා වීම දක්නට හැකිය. එහිදී ඩිජිටල් සේවාවන්ට ප්‍රවේශ විය හැකි හා නොහැකි වශයෙන් සමාජයේ බෙදීමක් ඇති වන්නට ඉඩ තිබේ. ඒවාට ප්‍රවේශ වන්නට නොහැකි ජනතාව සමාජය තුළ පැත්තකට තල්ලු වී වරප්‍රසාද අඩු වීමේ අවදානමක් තිබේ. තාක්ෂණය කෙරෙහි පමණක් විශ්වාසය තැබීම ද අවාසි සහගත තත්ත්වයකි. යම්කිසි තාක්ෂණික බිඳ වැටීමක්, සයිබර් ප්‍රහාරයක් හෝ ස්වාභාවික උවදුරක් නිසා අන්තර්ජාල සබඳතා බිඳ වැටී මෙම ඩිජිටල් සේවාවන් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව නොමැති වී ගිය හොත් සියලු කටයුතු අඩපණ වෙයි. ඩිජිටල්කරණය හේතුවෙන් ඇතැම් විට වැරදි තොරතුරු සමාජගත වන්නට ද ඉඩ තිබේ. ඩිජිටල් වේදිකා ඔස්සේ වැරදි තොරතුරු ඉතා වේගයෙන් සමාජ ගත වීම නිසා එය සමාජ සහජීවනයට බලපෑම් එල්ල කරන අතර දේශපාලන අස්ථාවරත්වයක් වුව ඇති විය හැකිය. එබැවින් ඩිජිටල් තොරතුරු හුවමාරුව නිරන්තර අධීක්ෂණයට ලක් කොට වැරදි තොරතුරු පැතිර යාම වැළැක්වීමට රජයයන් පියවර ගත යුතු වේ. සාම්ප්‍රදායික කර්මාන්ත කෙරෙහි යම් බලපෑමක් ද ඩිජිටල්කරණය නිසා ඇති විය හැකිය. ඇතැම් ඒවාට ඇති ඉල්ලුම අඩු වී යා හැකි අතර ඇතැම් සේවකයන් තුළ නව දක්ෂතා වර්ධනය කර නො ගැනීම තුළ රැකියා කෙරෙහි පවා බලපෑමක් එල්ල විය හැකිය.

ඩිජිටල්කරණය පිළිබඳ පවතින කතාබහ අතරේ නිතර ඇසෙන තවත් කාරණයක් වන්නේ මේ තුළින් යම්කිසි විරැකියා තත්ත්වයක් ඇති වේද යන්න ය. බොහෝ දේවල් ස්වයංක්‍රීය කිරීම, කෘත්‍රිම බුද්ධිය සහ බොහෝ කාර්යයන් රොබෝ තාක්ෂණය ඔස්සේ සිදුකර ගැනීමට යොමු නිසා විශේෂයෙන් මිනිස් ශ්‍රමයෙන් දායක වන සේවකයන්ගේ රැකියා කෙරෙහි යම් බලපෑමක් එල්ල වේද යන කාරණය නිතර බොහෝ දෙනෙක් කතා කරනු ඇසේ. උදාහරණයක් ලෙස ගතහොත් කර්මාන්ත ශාලාවක කලකට පෙර මිනිස් ශ්‍රමයෙන් සිදු කළ කාර්යයන් මේ වන එක්කෝ ස්වයංක්‍රීයකරණයට පත් කිරීම හෝ ඒ සඳහා රොබෝ තාක්ෂණය යොදා ගැනීම හෝ සිදු කොට තිබේ. එය එසේ වුවත් ඩිජිටල්කරණය නිසා නව රැකියා අවස්ථා උදා වී තිබෙන බව ද සඳහන් කළ යුතුය. රැකියා ආශ්‍රිත දත්ත විද්‍යාව, සයිබර් ආරක්ෂණය, ඩිජිටල් අලෙවිකරණය, කෘත්‍රිම බුද්ධි නිමැවුම් මේ අතරින් විශේෂයෙන් සඳහන් කළ හැකි වේ. මේවා නිසා නව රැකියා අවස්ථා උදා වේ. අධ්‍යාපනය සහ විවිධ පාඨමාලා, ඩිජිටල්කරණය වූ සමාජයක අවශ්‍යතාවන් වෙනුවෙන් නැවත සකස් කිරීම සහ මේ වෙනස්වන තත්ත්වයට මුහුණ දීම සඳහා සේවකයන් තුළ නව දක්ෂතා ඇති කිරීම ආදිය තුළින් මෙසේ ඇති වේ යැයි අනුමාන කෙරෙන රැකියා අවදානම අවම කර ගත හැකිය.

ඩිජිටල්කරණය නිසා රැකියා රටාවන්ගේ යම්කිසි වෙනස් වීමක් හෙවත් විතැන් වීමක් සිදුවිය හැකිය. යම්කිසි රටක්, සිය සේවකයන් තුළ නව දක්ෂතා ඇති කිරීමට සහ ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම තුළින් රැකියා අහිමි වීම් අවම කර ගත හැකි අතර ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් සිය ශ්‍රම බලකාය සූදානම් කරවන්නට ද පුළුවන.

අනෙක විරැකියා තත්ත්වයන් ඇති වනවාට වඩා ඩිජිටල්කරණය නිසා රැකියා රටාවන්ගේ යම්කිසි වෙනස් වීමක් හෙවත් විතැන් වීමක් සිදුවිය හැකිය. යම්කිසි රටක්, සිය සේවකයන් තුළ නව දක්ෂතා ඇති කිරීමට සහ ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම තුළින් රැකියා අහිමි වීම් අවම කර ගත හැකි අතර ඩිජිටල් ආර්ථිකයක් වෙනුවෙන් සිය ශ්‍රම බලකාය සූදානම් කරවන්නට ද පුළුවන. උදාහරණයක් ලෙස ගතහොත් සිංගප්පූරුව සිය සේවකයන් තුළ නව දක්ෂතා ඇති කිරීමේ වැඩසටහන් නිතර ක්‍රියාත්මක කොට ඔවුන් තුළ ඩිජිටල් කටයුතු කිරීමේ හැකියාව ඇති කරයි. මේ නිසා ඩිජිටල්කරණය නිසා ඇතිවිය හැකි රැකියා අවදානම් අවම වේ.

ඩිජිටල්කරණය නිසා ලෝකයේ රටවල ආර්ථික, සමාජීය හැඩතල වෙනස් වෙමින් පවතින අතර සිය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබා දීමට, ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ආදී හැකියාවන් ලැබී තිබේ. මේ වන විට ඩිජිටල්කරණයේ වාසි අත්පත් කර ගෙන ඇති රටවල් මේ තත්ත්වය මැනවින් විදහා පාමින් සිටිති. අනෙක සමස්ත ලෝකයම ඩිජිටල්කරණයට ප්‍රවේශ වෙමින් සිටිද්දී අපට ද රටක් වශයෙන් එය මග හැර සිටීමට හෝ විවිධ හේතු ඉදිරිපත් කරමින් එම වැඩ පිළිවෙළ අතපසු කිරීම හෝ කළ නොහැකිය. අනාගත ලෝකය සහමුලින්ම රඳා පවතිනු ඇත්තේ ඩිජිටල් තාක්ෂණය මතය. එය තුළ වඩාත් සාර්ථක ලෙස රැඳී සිටින්නට නම් අප නොපමාව ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතු වේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර