පසුගිය කාලය තුළ යම් රෝගී බවක් පළ කරපු උඩ වලවේ ජලාශ කොමලිය දැන් ආයිත් තරමක නිරෝගී බවක් පළ කරනවා.හරියට රුධිර පාරවිලනයකින් තරමක සුවයක් ලබන රෝගීව සිටි සුරූපිනියක් වගේ.විශාල වශයෙන් නොවුණත් බෙලිහුල්ඔය ජලාශයේ ජල සම්පත උඩ වලවේ ජලාශයට මඳින් මඳ එක් වෙමින් පැවතීම මත ජලාශයේ පරිමාවේ පුංචි ප්‍රගතියක් බැලූ බැල්මට වුණත් දැන ගන්න පුළුවන්.හිටි හැටියේ උඩ වලවේ ජලාශ කොමලියගේ සුව දුක් දැන ගන්න ඒ ඉසව්වේ සංචාරයක යෙදෙන්න මට හිතුණේ මේ දවස් වල උඩ වලවේ ජලාශය ජාතික අවධානයට යොමු වෙලා තිබීම හින්දයි. උඩවලවේ ජලාශය වේගයෙන් සිඳී යමින් තිබෙන පුවත පසුගිය කාලයේ රූප රාමු වීඩියෝ දර්ශන සහිත ව මාධ්‍ය මඟින් ප්‍රචාරය වීම නිසා වලව කලාපයේ ගොවි ජනතාවගේ හදවත් වේදනාවෙන් කම්පිත කළ උඩ වලවේ ජලාශය පසුගිය දිනවල කෘෂිකර්මයට සම්බන්ධ නැති බාහිර පුද්ගලයන්ගේ විනෝද පාරාදීසයක්;ක්‍රිකට් පිටියක් වී තිබුණා.නමුත් ඔවුන් ගෙන් සමහරු ඒ විනෝදය උස්මුරුත්තාවටම භුක්ති විඳ තිබුණු අන්දම උඩවලවේ ජලාශ පරිශ්‍රයට පිවිසෙන ඕනෑම කෙනකුට එම ජලාශ පිටියට සිදු කොට ඇති පාරිසරික හානි වලින් මැන ගන්න පුළුවන්.
උඩ වලවේ ජලාශය සබරගමුවේ සහ දකුණු පලාතේ ගොඩ මඩ සරු කිරීමට වුවමනා දියවර ලබා දීමෙන් ඉටු කරන මෙහෙය වදනින් කියා නිම කරන්න බැහැ.නමුත් මට හිතෙන විදිහට මේ ජලාශය නිසා ඒ අවට පරිසරයට සතා සීපාවාට ලැබී ඇති සුව සෙතත් මෙතෙකැයි කියන්නට බැහැ.සාමාන්‍යයෙන් අපේ රටේ නිතර සිදු වන්නේ සොබා දහම සතුන්ට ඔවුන් ගේ නිජ බිම් හා වාසභූමි හැටියට වෙන් කර දුන් වන කලාපයන් මිනිසුන් ගේ පැහැර ගැනීම් වලට ලක් වීමයි.නමුත් මේ උඩ වලවේ ජලාශය ඉදි කිරීමේ දී ඒ අවට තිබුණු මානව ජනාවාස කිහිපයක් සීරු මාරුවට ඉවත් කොට වලවේ ගඟ හරස් කොට මේ සුවිසල් ජල රඳවනය තනා තිබෙනවා.ඉන් ප්‍රදේශයේ භූ ගත ජල මට්ටම ප්‍රශස්ත ලෙස ඉහළ යාමෙන් හාත්පස පරිසරයේ සදාහරිත බව ජෛව විවිධත්වය වේගයෙන් ඉහළ නැංවී තිබෙනවා.ඒ තත්වය මේ වන කලාපයේ ජීවත් වන වන සතුන්ට කෙතරම් හිතකර ලෙස බලපෑවා ද කිවහොත් ඒ ජලාශය අද්දර මහ වන රජ දහන මේ වන විට උඩ වලවේ ජාතික වනෝද්‍යානය නමින් නම් කොට තිබෙනවා.ඒ… වසරේ සිටයි. ජූලි,අගෝස්තු මාස වල පවතින නියඟය උඩ වලවේ ප්‍රදේශයට අමුතු දෙයක් නොවෙයි.නමුත් මේ වතාවේ කලින් අවුරුදු වලට වඩා පාරිසරික උෂ්ණත්වය ඉහළ නැංවුණු නිසා ජලාශ වල ජල මට්ටම වගේම කෙත් වතු වල තෙත් බව වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා.ඒක තමයි උඩ වලවේ ජල අර්බුදයට මුල් වුණේ.නමුත් උඩ වලවේ ජලාශයේ ජලය හිඟ පාඩුව විදුලි බල උත්පාදනයට ජලය ගබඩා කරගෙන හිඳින බෙලිහුල් ඔය සමනළ වැව ජලාශයෙන් ගැනීම හා නොගැනීම අතර දෙගිඩියාවට පසුව දේශපාලන මුහුණු වරක් ආරෝපණය වුණා.
ඒ අතරේ උඩ වලවේ ජලාශය බලන්නට ආ විපක්ෂයේ මුල් පෙළේ දේශපාලනඥයෙක් උඩ වලව ජලාශ පත්ලේ නිධානයක් තියන බවත් ජලාශය හින්දවීමෙන් ඒ නිධානය මතු කර ගැනීමේ උත්සාහයක් පවතින බවක් කියා සිටීම බොහෝ දෙනකුගේ විස්මයටත් කුහුහලයටත් හේතු වී තිබෙනවා.මේ ගැන අප කළ විමසුමක දී සබරගමුවේ පුරා විද්‍යා බලධාරියකු කියා සිටියේ ඒ කතාව අප රටේ දේශපාලඥයන් එදා මෙදා තුර පවසා ඇති ගල් පැලෙන බොරු සම්භාරයට තවත් බොරුවක් එක් කිරීමක් පමණක් බවයි.නමුත් ඒ කතාවෙන් මට නම් සිහි වන්නේ සඟවා ඇති වස්තුව පෙන්වන මෙන් සීගිරි කාශ්‍යප රජ තුමා කළ ඉල්ලීමට ධාතුසේන පිය රජ තුමා දැක් වූ ප්‍රතිචාරයයි. කාශ්‍යප කුමරු තමන් කරවූ කලාවැව වෙත රැගෙන ගිය ධාතුසේන රජ තුමා මෙන්න මා සතු වස්තුව කියා කලාවැවේ දිය දෝතක් ගෙන පෙන්වීමත් ඉන් කුපිත වූ කාශ්‍යප රජ තුමා තමන් ගේ පිය රජ තුමා කලාවැව බැම්මට තබා ඝාතනය කිරීමේ සිද්ධියත් තවමත් අප ගේ හදවත් කම්පා කරවන්නක්. මේ සියලු තත්වයන් යටතේ ඇඹිලිපිටිය කේන්ද්‍ර කර ගත් උඩ වලවේ ජල අර්බුදය සම්බන්ධ ගොවි විරෝධතා සේම ප්‍රදේශයේ ගොවි ජනතාව වැසි ඉල්ලා පවත්වන වැසි පිරිත් සජ්ජායනා දේව කන්නලව් යාදිනි ආදී මෙකී නොකී සියලු දේ මැද ඉතා නුදුරේ දීම උසවලවේ ජල පෝෂක ප්‍රදේශ වලට මහ වැසි ඇද හැලෙනු ඇති ඒ තාක් උඩ වලවේ ජලාශ පරිශ්‍රය ඇතුළට පිවිසෙන ඔබට විශේෂයෙන් කිව යුත්තක් තිබෙනවා.එනම් මේ වන විට උඩ වලවේ ජලාශ පරිශ්‍රය තුළ නිදැල්ලේ සැරිසරන වන අලි රාළහාමිලා ගෙන් ඔබට ඒ සඳහා අතිශය බරපතල දඬුවම් හිමි වීමේ පහසු හැකියාවක් ඇති බවයි.
සටහන සහ ඡායාරූප:නෙතුක හීන්දෙණිය