යුක්‍රේන මහා විදේශ හමුදාවට බැඳී යුද වදින ශ්‍රී ලාංකිකයන් අපට රණ විරුවන් සේ නොහැඟේ ද?

vinivida

රුසියානු – යුක්‍රේන යුද්ධය සඳහා පෞද්ගලිකව දායකත්වය සැපයූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු රුසියානු ප්‍රහාර හමුවේ මරණයට පත් වූ පුවත බොහෝ දෙනෙක් දැන සිටිනවාට සැකයක් නැත. මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල ද බොහෝ සෙයින් සංසරණය වූ පුවතක් වුව ද බහුතරයක් ඒ සම්බන්ධව සැලකිය යුතු ප්‍රතිචාරයක් දක්වා නැති බව පෙනෙන්නට තිබේ. එයට හේතුව වන්නට ඇත්තේ මොවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යුක්‍රේනයට සහාය දෙන්නට ඉදිරිපත්වූවන් නොව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවන් නිසා විය හැකිය. අනෙක ශ්‍රී ලංකා රජය ද රුසියානු-යුක්‍රේන යුද්ධය පිළිබඳ නිල ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නැත. එයට හේතුව වන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන රුසියාවට එරෙහිව යුක්‍රේනයට පක්ෂපාතී ස්ථාවරයක් දරන්නට ඇති නොහැකියාව සහ යුක්‍රේනයට එරෙහි රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරයක් දරා ලෝකයේ සෙසු රටවල් අතර ප්‍රතික්ෂේප වන්නට ඇති නො කැමැත්ත නිසා වන්නට ද පුළුවන. මෙසේ මරණයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පා බල හමුදාවේ සිට නිල වශයෙන් යුද සේවය හැර ගිය දන්ත වෛද්‍ය වෘත්තිකයකු සේම ලුතිනන්වරයකු ද වූ ඇන්ඩෲ රනිස් හේවගේ ය. ඔහු සමග තවත් සෙබළුන් දෙදෙනෙකු ද මෙහි දී මරණයට පත්ව ඇති අතර නිල වශයෙන් ඔවුන් දෙදෙනොගේ නම් තවමත් හෙළි වී නැත. ඔවුන් මරණයට සහ තුවල ලබා සිටි යුක්‍රේන භටයන් පිරිසක් ගලවා ගන්නට යාමේ දී මේ මරණයට මුහුණ දී ඇති බව දැනගන්නට ලැබී තිබේ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කොට දින දෙකකට පසුව ජනපති වොලිදිමීර් සෙලෙන්ස්කි ලෝකයෙන් ඉල්ලා සිටියේ මේ සටනට මුහුණ දීම සඳහා ලොව වටා වූ මිතුරන්ගේ සහාය අවශ්‍ය බවය. ඒ සඳහා යුක්‍රේන රජය විශේෂ වෙබ් අඩවියක් ද (https://ildu.com.ua/ – THE INTERNATIONAL LEGION CONSISTS OF INFANTRY & SPECIAL TASK BATTALIONS) දියත් කළ අතර එහි වූ ආකෘති පත්‍රය පුරවා යුක්‍රේන හමුදාව සමග එක්වන්නට හැකියාව ලැබිණි. මෙසේ ඉදිරිපත් වන්නන්ට වීසා අවශ්‍ය නැති බවට යුක්‍රේන ජනපතිවරයාගේ අත්සනින් නිවේදනයක් ද නිකුත් කෙරිණි. මෙහිදී ලොව පුරා සිටි හමුදා සේවයෙන් විශ්‍රාම ගත් සහ හමුදා සේවයක නොසිටි නමුත් රුසියානු ආක්‍රමණය නිසා රටක් අසරණ වූ ආකාරය දැක කම්පනයට පත් සාමාන්‍ය පුද්ගලයන් ද මෙයට ඉල්ලුම් කළහ. අප රටේ මෙන්ම බොහෝ මාධ්‍යවල මොවුන්ව කුලී හේවායන් ලෙස හඳුන්වා දෙනු ලැබූ අතර එහි යම් සත්‍යතාවක් පැවතිය ද මේ බහුතරයකගේ අරමුණ වී තිබුණේ අවංකවම යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය වළක්වා ගැනීම සඳහා සහාය වීමය. විශේෂයෙන් ඇන්ඩෲ රනිස් හේවගේ කොටි සංවිධානයට එරෙහිව පැවති යුද්ධයෙන් පසුව 2012 දී නිල වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ඉවත්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවකට සම්බන්ධ වී තිබේ. රුසියානු – යුක්‍රේන යුද්ධය ඇරඹීමත් සමග 2022 වසරේ දී යුක්‍රේන හමුදාවට සම්බන්ධ වූ ඔහු එක් සේනාංකයක එහි අණදෙන නිලධාරි තත්ත්වයට පත්ව තිබේ. යුද බිමේ දී දැක්වූ නිර්භීතභාවය නිසාම යුක්‍රේන ජනපතිවරයා අතින් උසස් වීමක් පවා හිමිකරගෙන සිටි බව දැනගන්නට ලැබී තිබේ.

රුසියානු-යුක්‍රේන යුද්ධය බහුතර ශ්‍රී ලාංකිකයන් කම්පනයට පත් කළ සිදුවීමක් නොවූව ද ලෝකයේ බොහෝ රටවල වැසියන් මෙයින් මෙයින් මහත් කම්පනයකට ලක් වූ බව පෙනෙන්නට තිබේ. ශ්‍රී ලාංකිකයන් අතර එවැනි කම්පනයක් ඇති නොවන්නට ප්‍රධානතම හේතුව වන්නට ඇත්තේ කලින් සඳහන් කළා සේ යුක්‍රේනයට වඩා බොහෝ පැතිවලින් රුසියාව ශ්‍රී ලංකාවේ මිතුරකු වශයෙන් කාලයක් තිස්සේ පැවතීම වන්නට පුළුවන. එවැනි වටපිටාවක් නොමැති ලෝකයේ බොහෝ රටවල පුද්ගලයන් තුළ ඇති වී තිබුණු හැඟීමක් වූයේ යුක්‍රේනයට සහාය වන්නේ කෙසේද යන්න පමණක් බව ජාත්‍යන්තර තොරතුරු විමසා බැලීමෙන් පැහැදිලි වේ. ඇතැමුන් සඳහන් කොට තිබුණේ මේ ආක්‍රමණය සිදු වූ දිනයේ පටන් තමාට නින්දක් පවා නොලැබුණු බවය. මෙයට කුමනාකාර සහයක් පළකරන්නේදැයි සිතමින් නො නිදා කල්පනා කරමින් සිටි බව ඇතැමුන් ප්‍රකාශ කොට තිබේ. බොහෝ රටවල්වලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රුසියාවට එරෙහිව සිය හමුදා යුක්‍රේනය වෙනුවෙන් ලබාදෙන්නට හැකියාවක් නොමැති වුව ද පෞද්ගලික මට්ටමින් එවැනි සහායක් දක්වන්නට උනන්දු කර තිබෙන බව ද පෙනෙන්නට තිබේ. නිල වශයෙන් මෙවැනි සහයෝගයක් දක්වා තිබුණේ රටවල් කිහිපයක් පමණි. යුක්‍රේනය සමග සම්බන්ධ වූවන්ට ඉහළ වැටුපක් හිමි වූ නිසා මොවුන් කුලී හේවායන් ලෙස නම් කරනු ලැබුව ද, මෙසේ ඉදිරිපත් වූ බහුතරයක ගේ අරමුණ වී තිබුණේ හුදෙක් රුසියාවට එරෙහි සිය වීරත්වය, නිර්භීතභාවයට විදහා දක්වමින් යුක්‍රේනයට සහාය වීම පමණි.

ලෝකයේ බොහෝ රටවල් රාජ්‍ය මේ යුද්ධයේ දී රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් රුසියාවට එරෙහි ස්ථාවරයක පැවතිය ද බහුතරයකට නීත්‍යනුකූල වශයෙන් සිය වැසියන්ට මේ යුද්ධය සඳහා සහාය දෙන්නැයි ඉල්ලා සිටීමේ ගැටලුවක් තිබේ. විශේෂයෙන් එක්සත් රාජධානිය සහ කැනඩාව තමා පෞද්ගලිකව යුදමය තත්ත්වයකට සම්බන්ධ වී නොමැති රටකට එරෙහිව යුදමය වශයෙන් සහාය පළ කිරීම නිතීවිරෝධී දෙයක් ලෙස ප්‍රකාශ කොට තිබේ. එසේ හෙයින් එවැනි රටවල් නිල නොවන ආකාරයෙන් මේ කටයුත්ත සඳහා සිය වැසියන් දිරි ගන්වා තිබේ. මේ නිසාම චෙක් ජනරජය නව පනතක් සම්මත කරමින් මේ සඳහා නීත්‍යනුකූල බව ඇති කරන ලද බව වාර්තා වී තිබේ.

යුක්‍රේන රජය නිවේදනය කරන පරිදි මේ වන විට රටවල් 52 කින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස 20,000 ක් පමණ වේ. මෙය ‘මහා විදේශ හමුදාව’ වශයෙන් නම් කොට තිබේ. ඇතැම් රටවලින් කෙතරම් විශාල වශයෙන් මේ සඳහා ඉදිරිපත් වී තිබේදැයි පැවසුවහොත්, එකී රටෙහි සෙබළුන් වෙනුවෙන් වෙනම සේනාංක ද ඇති කොට තිබේ.

දැනට වාර්තා වී ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයෙන් 31% ක් ද, එක්සත් රාජධානියෙන් 18% ක් ද, ප්‍රංශයෙන් 6.8% ක් ද, කැනඩාවෙන් 4.7% ක් ද, ඉන්දියාවෙන් 2.8% ක් ද වශයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තිබේ. මීට අමතරව ක්‍රොඒෂියාව, ඊශ්‍රායලය, ලැට්වියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ පෝලන්තය ද සැලකිය යුතු මට්ටමින් ස්වේච්ඡා පුද්ගලයන්ගෙන් මේ යුද්ධයට සහාය පළකොට තිබේ. මේ ලැයිස්තුව තුළ ශ්‍රී ලංකාව නොමැති අතර ඒ අප රටින් සැලකිය යුතු තරම් ප්‍රමාණයක් මෙයට සම්බන්ධ වී නොමැති නිසා වන්නට පුළුවන. කෙසේ නමුත් දැනගන්නට ලැබී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 70 ක් පමණ මේ සඳහා අයැදුම් කොට ඇති බවය.

හෘද සාක්ෂියට අනුව තමා කරන්නේ නිවැරදි දෙයකැයි සිතන අයකුට, ජන සංහාරයකට අවංකවම එරෙහිවන ඕනෑම අයකුට මෙවැනි කටයුත්තකට දායක විය හැකිය. එය බහුතරයකගේ මතය නොවිය හැකිය. රජයයක් ලෙස යුක්‍රේනය විසින් මොවුන්ට ගෞරව සම්මාන පුද කරනු ඇත. මෙහිදී පෙන්වන නිර්භීතභාවයන් හුදෙක් ඔවුන්ට පෞද්ගලිකව ලැබෙන ඒවා මිස නිල වශයෙන් රටකට ලැබෙන ඒවා නොවේ. ඔවුන්ගේ අහිමී වීමේ වේදනාව ඇත්තේ ඔවුන්ගේ පවුල්වලටය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර