යුක්රේන යුද්ධය අවසන් කිරීමට ට්‍රම්ප්ට හැකි වෙයි ද?

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ආරම්භ වූ යුක්රේන යුද්ධයට මේ වනවිට වසර දෙකකුත් මාස 9 ක කාලයක් ගත වී තිබේ. එය පටන් ගත්තේ 2022 පෙබරවාරි මාසයේ යි. මෙම යුද ගැටුම නිසා දෙපැත්තේ හමුදා සෙබළුන් ලක්‍ෂ ගණනක් මේ වනවිට මරණයට පත්ව ඇති බව සඳහන් වේ. එමෙන්ම සිවිල් වැසියන් ද විශාල සංඛ්‍යාවකට දිවි අහිමි වී ඇත. මෙම යුද්ධය නිසා පීඩාවට පත්ව දුක් වේදනා උරුම කරගෙන සිටින බොහෝ දෙනා මෙන්ම ලොව තවත් බෙහෝ පාර්ශ්ව ද යුක්රේන යුද්ධයේ අවසානයක් දැකීමට ඉතා නොඉවසිල්ලෙන් සිටින බව රහසක් නොවේ.

මේ අය තුළ යම් අස්වැසිල්ලක් ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් ඇමරිකාවේ මීළඟ ජනාධිපති වීමට නියමිතව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දිනවල කර තිබිණි. ඔහු සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ පැවසුවේ තමා බලයට පත් වූ විගස යුක්රේන යුද්ධය අවසන් කිරීමට පියවර ගන්නා බවයි. පැය 24 ක් තුළ එය අවසන් කිරීම සඳහා පියවර ගන්නා බවක් ද ඔහු සඳහන් කළේය. නමුත් එය කරන විදියක් ගැන නම් ඔහු විස්තර කළේ නැත.

කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් 5 වැනි දින පැවැති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමත් සමග යුද්ධයේ අවසානය පිලිබඳ බලාපොරොත්තු වඩාත් ඉහළ ගොස් ඇති ආකාරයක් දැකිය හැකි වේ. (ට්‍රම්ප් සිය ධුරයෙහි වැඩ භාර ගැනීමට නියමිතව තිබෙන්නේ ලබන ජනවාරි 20 වැනි දින ය.)

යුක්රේන යුද්ධය මේ වනවිට තිබෙන තත්වය අනුව එය අවසන් විය හැක්කේ රුසියාව සහ යුක්රේනය සටන් නතර කර සාම ගිවිසුමකට එළැඹීම තුළිනි. ඒ හැර කිසිදු පාර්ශ්වයකට යුද්ධයෙන් ජය ගැනීමට හැකි වනු ඇතැයි සිතීම අපහසු ය. ට්‍රම්ප්ට යුද්ධය අවසන් කිරීමට හැකි වනු ඇත්තේ සාම ගිවිසුමක් සඳහා දෙපාර්ශ්වය එකඟ කර ගැනීම තුළිනි.

නමුත් එවැනි කටයුත්තක් සඳහා බාධාවක් විය හැකි ප්‍රධාන කාරණයක් තිබේ. එය මේ වනවිට රුසියානු හමුදා යුක්රේනය තුළ අල්ලා ගෙන සිටින භූමි ප්‍රදේශ පිලිබඳ කාරණයකි. මෙම භූමි ප්‍රදේශ නැවත තමුන් වෙත ලබා ගැනීමකින් තොරව සාම ගිවිසුමකට එකඟ නොවන බව පසුගිය කාලයේ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි නිතර පවසමින් සිටි කතාවකි. නමුත් රුසියාව මෙම ප්‍රදේශ නැවත යුක්රේනයට බාර දෙනු ඇතැයි කිසිසේත් සිතිය හැකි නොවේ. රුසියානු හමුදා අල්ලාගෙන සිටින්නේ යුක්රේනයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි ප්‍රදේශ වන අතර මේවායේ වැඩි වශයෙන් ජීවත් වන්නේ රුසියානු බස කතා කරන ජනයා ය.

යුක්රේනය මේ වනවිට රුසියාව සමග සටන් කිරීමේ දී බොහෝ දුරට භාවිත කරන්නේ ඇමරිකානු යුද ආධාර යටතේ ලබා දුන් අවි ආයුධ යි. මේ වසර මුල ද ඇමරිකානු කොංග්‍රසය ඩොලර් බිලියන 61 ක යුද ආධාර යුක්රේනයට ලබා දීම සඳහා අනුමැතිය ලබා දුන්නේය. ඒ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ගේ පාලනය යටතේ ය. නමුත් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඔහු ගේ පාලනය මෙවැනි ආධාර ලබා දීමට අකමැති වුවහොත් යුක්රේනය විශාල අපහසුතාවකට පත් වනු ඇත.

මෙම තත්වය තුළ ක්‍ෂණික සාම ගිවිසුමක් ඇති වීමට නම් යුක්රේනය මෙම ප්‍රදේශ නැවත අල්ලා ගැනීම අමතක කර එවැනි ගිවිසුමක් සඳහා කැමැති විය යුතුය. යුක්රේනය මේ සඳහා එකඟ කර ගැනීමට ට්‍රම්ප්ට හැකි වේවි ද? දැන් කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ ඒ ගැන ය.

යුක්රේනය මේ වනවිට රුසියාව සමග සටන් කිරීමේ දී බොහෝ දුරට භාවිත කරන්නේ ඇමරිකානු යුද ආධාර යටතේ ලබා දුන් අවි ආයුධ යි. මේ වසර මුල ද ඇමරිකානු කොංග්‍රසය ඩොලර් බිලියන 61 ක යුද ආධාර යුක්රේනයට ලබා දීම සඳහා අනුමැතිය ලබා දුන්නේය. ඒ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ගේ පාලනය යටතේ ය. නමුත් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඔහු ගේ පාලනය මෙවැනි ආධාර ලබා දීමට අකමැති වුවහොත් යුක්රේනය විශාල අපහසුතාවකට පත් වනු ඇත. එවැනි තත්වයක් තුළ යුක්රේන ජනාධිපතිවරයාට සිදුවනු ඇත්තේ රුසියාව අල්ලා ගෙන සිටින ප්‍රදේශ නැවත දිනා ගැනීම අමතක කර සාමයක් සඳහා එකඟ වීමට ය. ට්‍රම්ප් සූදානම් වන්නේ මෙවැනි ක්‍රියා මාර්ගයකට බවට ද පසුගිය කාලයේ ආරංචි පළ වෙමින් තිබිණි.

වෙන රටවල යුද්ධ සඳහා වියදම් කරනවාට වඩා ට්‍රම්ප්ට අවශ්‍ය වන්නේ ඇමරිකාව තුළ ඇති ප්‍රශ්න විසඳීම සඳහා වියදම් කිරීමට ය. මේ වනවිට ඇමරිකානු ආර්ථිකයට අදාළ ප්‍රශ්න ද රැසක් පවතින බව රහසක් නොවේ. රට තුළ ජීවන වියදම ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය ජනතාව දැඩි අපහසුතාවකට පත් කර ඇත. පසුගිය දා පැවැති ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න්ගේ පක්‍ෂයේ අපේක්‍ෂිකාව වූ කමලා හැරිස් පරාජය වීමට බල පෑ ප්‍රධාන හේතුවක් වූයේ ද එය යි.

මෙවැනි ගැටලු රට තුළ තිබිය දී යුක්රේන යුද්ධය සඳහා ඩොලර් බිලියන ගණනින් වියදම් කරනවාට ඇමරිකානු ජනතාවගෙන් වැඩි දෙනෙකු කැමැත්තක් දක්වන්නේ නැත. ට්‍රම්ප් එම යුද්ධය අවසන් කිරීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

සාම ගිවිසුමක් ඇති වුවහොත් එය රුසියාවට වාසිදායක වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද යත් යුක්රේනයේ භූමි ප්‍රදේශ තමුන් වෙත තබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති බැවිනි. රුසියාවට වාසිදායක මෙවැනි ගිවිසුමක් ඇති වෙනවාට එරෙහිව මේ වනවිටත් ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වමින් සිටිනු දැකිය හැකි වේ.

කෙසේ නමුත් ඉහත කී ආකාරයේ සාම ගිවිසුමක් ඇති වුවහොත් එය රුසියාවට වාසිදායක වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද යත් යුක්රේනයේ භූමි ප්‍රදේශ තමුන් වෙත තබා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇති බැවිනි. රුසියාවට වාසිදායක මෙවැනි ගිවිසුමක් ඇති වෙනවාට එරෙහිව මේ වනවිටත් ඇතැම් පාර්ශ්ව විරෝධය දක්වමින් සිටිනු දැකිය හැකි වේ.

රුසියාව යුක්රේනයෙන් නතර නොවී ඉදිරියේ දී නැගෙනහිර යුරෝපයේ තවත් රටවල් ආක්‍රමණය කරනු ඇති බවට ද කාලයක සිටම අදහස් පළ වෙයි. ඉහත කී ආකාරයේ ගිවිසුමක් ඇති වුවහොත් එය රුසියාවේ මෙම සැලසුම්වලට උඩ ගෙඩි දීමක් වනු ඇති බව ඇතැම් රුසියානු විරෝධීන්ගේ අදහස යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර