යුග දිවි සෞඛ්‍යය කියන දෙය අපේ බොහෝ දෙනෙකුට එතරම් හුරු වචනයක් නෙවෙයි.නමුත් පුරුෂ කායික බෙලහීනතාව කියන වචනය නම් අපි කොතෙකුත් කියවා හෝ අසා තිබෙනවා.ඒ බොහෝ විට ජාවාරම් කාරයන්ගේ ප්රචාරක මාධ්‍ය වලින්.නමුත් මේ බෙලහීනතාවය මුල් කරගෙන විවාහ ජීවිතයක පැවැත්මට බාධා පැමිණෙනවා නම් ඊට හේතු විද්‍යාත්මකව සොයා බැලිය යුතුයි.මානසික වගේම යම් යම් ශාරීරික රෝගාබාධ ද සාර්ථක ලිංගික ජීවිතයකට බාධා පමුණුවනවා. නොයෙකුත් අපහසුතා කියාගෙන විවිධ රෝගීන් වෛද්‍යවරුන් හමුවට පැමිණෙන අතර සමහරුන් පවසන්නේ තමාට ලිංගික අප්‍රාණිකත්වයක් ඇති බවයි . තවත් සමහරුන් තමන් තුළ තිබෙන ක්ෂණික මෝචනය නිසා ලිංගික ජීවිතය අසාර්ථක වී ඇති බව පවසනවා. තවත් රෝගීන් පැමිණෙන්නේ විවිධ වේදනා සමගයි.ඒ හින්දා අපි යුග දිවි සෞඛ්‍යයට අදාල මේ කරුණ ගැන ටිකක් කතා කරමු. සාර්ථක යුග දිවියකට අඹු සැමියන් අතරේ පවතින ලිංගික සබැඳියාව ඉවහල් වෙනවා.ඒ හින්දා තමයි ඒකට විද්‍යාත්මක ප්‍රවේශයක් අවශ්‍ය වෙන්නේ.
නොදන්නා කෙනෙකුගේ නොදන්නා මරණයක් මුල් කොට ඔබට කඳුළු කඩාගෙන වැටෙන්නේ නෑ නේද? කඳුළු පිට වන්නට නම් ඒ මරණය මුල් කොට හද පතුලෙන්ම දුකක් වේදනාවක් මතු විය යුතුයි. ලිංගික හැඟීම ද දුකක් වේදනාවක් වගේම තමන්ගේ සිත තුළ උපදින විශේෂිත හැඟීමක් .බොහෝ පිරිමින්ට ලිංගික අප්රාණිකභාවය ඇති වන්නට හේතුව නම් ලිංගික හැඟීමක් උපදින්නේ නැතිකමයි. නමුත් සමහර විට වෙනත් කාන්තාවක් ගැන සිතන විට කිසිම ගැටලුවක් නැතුව ලිංගික ප්‍රාණවත් බව ඇතිවිය හැකියි. ඒක ශාරීරික දුර්වලතාවක් නොවේ. උදා වී ඇති අවස්ථාවේ ගැටලුවක්. පිරිමියෙක්ගේ හැඟීම් උද්දීපනය වීම සඳහා කාන්තාවකගේ ඇඳුම , පෙනුම, සිරුරේ හැඩය, ශරීර අඟපසඟ, හැසිරීම යනාදිය ඍජුවම බලපානවා.ඒක එක් එක් පිරිමියාට බලපාන්නේ වෙනස් වෙනස් විදිහට උගත්කම, තරාතිරම, වත්පොහොසත්කම්, දායාද ,කන්‍යාභාවය ඇගේ පැත්තෙන් ඇගේ වටිනාකම පෙන්නුම් කරන මිනුම් දඬු විය හැකියි. නමුත් පිරිමියාගේ පැත්තෙන් කායික එක්වීම් නමැති කර්තව්‍යය සඳහා මේවා එකක්වත් අදාළ වන්නේ .විවාහ වී කාලයක් ගතවන විට තමන්ගේ සැමියාගේ ප්රියතාවයන් පිළිබඳව බිරිඳ අවධානය යොමු නො කළා විය හැකියි. කාන්තාවකගේ ලිංගික උත්තේජන තත්වය මීට වඩා හාත්පසින් වෙනස්. ඔවුන්ගේ ලිංගික උත්තේජනය මහමඟ පාරතොටේ දකින දකින පිරිමින් ඉදිරියේ සිදු වන දෙයක් නොවෙයි. ඒ සඳහා කාන්තාවකට කාරණා තුනක් නිවැරදිව පිළිවෙලින් ඉෂ්ට සිද්ධ විය යුතුයි. ලිංගිකත්වය නම් වූ දොර විවෘත වන්නේ ඉන් පසුවයි.අංක එක වන්නේ විශ්වාසයයි. සමහර කාන්තාවන්ට වරදින්නේ මෙතැනදීයි. මෙහිදී රැවටීමකට ලක් වුවහොත් ඇය පසුව සංකීර්ණ ගැටලු ගණනාවකට අවතීර්ණ වෙනවා.අංක දෙක වන්නේ හොඳින් තේරුම් ගැනීමයි. අංක තුන ආදරයයි.පළමු කාරණාව වන විශ්වාසය පළුදු වීම යනු ඔබ ඇය වෙනුවෙන් තනා දී ඇති මහා මන්දිරයේ අඩිතාලම ළඟින්ම පුපුරා යාමයි. එවිට මන්දිරය කඩාවැටෙන එක අහන්නත් දෙයක්ද?
ඉහත කරුණු තුන හරහා යන්නේ නැතිව සාම්ප්‍රදායික විදිහට ලිංගිකත්වය තුළට ඇතුළු වන පිරිමියා හෝ කාන්තාව සිදුකරන්නේ රැවටීමක්. මෙය අවසන් වන්නේ සාර්ථක විවාහ ජීවිතයකින් නොව අනියම් සම්බන්ධතා, සැක කිරීම්, දික්කසාද තුළින් ජීවිතය ගලා ගෙන යාමෙනුයි.මේවාට යෙදිය යුතු පිළියම් ගැන සමහරුන්ට හිතා ගන්නටත් බෑ. ලැජ්ජාව නිසා ඉදිරියට පැමිණෙන්නේ නැතිව මනසින් දුක් විඳිමින් ජීවත් වෙනවා. පළපුරුදු කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට දෙදෙනාම යාම ලජ්ජා විය යුතු කරුණක් නොවෙයි. විසඳුමක් නැති ගැටලු නෑ. ලිංගිකත්වය කියන්නෙ අපේ පෞද්ගලික අවශ්‍යතාවයක් නොවන බව මුලින්ම අවධාරණය කළ යුතුයි. එය අපගේ ශරීරය තුළ ක්‍රියාකරන හෝමෝනවල අවශ්‍යතාවයයි. සොබාදහමේ අවශ්‍යතාවයයි. ලිංගිකත්වයක් නොමැති නම් මේ ලොව ජන ශූන්‍ය වූ එකම කාන්තාරයක් වේවි. ඔබත් මමත් ඇතුළු සියලු සත්වයන් මේ ලොවට බිහි කළ ලිංගිකත්වය සමාජ ව්‍යසනයක් වන්නේ අවභාවිතය තුළින් පමණයි.
කුඩා දරුවෙක් වැඩිහිටියෙක් වන විට දැනුම, පළපුරුද්ද වර්ධනය වුවත් චරිත ලක්ෂණවල විශාල වෙනසක් පෙන්නුම් කරන්නේ නෑ. නමුත් හැසිරීමේ වෙනස්කම්, ලිංගික හැඟීම් අලුතෙන්ම ඇතිවන ඒවායි. අපි මෙහෙම සිතමු.ලිංගික හැසිරීමක අවසන් වූ වහාම පිරිමින්ගේ හැසිරීම එක්වරම වෙනස් වන හැටි රහසක් නොවෙයි. මේ සියල්ල පිටුපස සිටින්නේ පුද්ගලයෙක් නොව හෝමෝන බව දැන් ඔබට තේරෙනවාද? කුඩා කල විරුද්ධ ලිංගිකයන් සොයා නොගිය ඔබමද අද වැඩිහිටියෙක් බවට පත්වී සිටින්නේ ? නැහැ නේද ? හෝමෝන විසින් ඔබව සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති ආකාරය පුදුමයි නේද? ඒ සියල්ල සොබාදහම සිදුකළේ මිනිස් වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් තවත් පරම්පරාවක් මේ ලොවට බිහි කළ යුතු නිසයි.
ලිංගිකත්වය නැමැති ශාරීරික අවශ්‍යතාවයට අපි කොයිතරම් ඉඩප්රස්ථාව සලසා දෙනවාද? යන දෙය මත සමාජය විසින් අපගේ චරිතය හඳුන්වා දෙනවා. සියල්ල සිදුවන්නේ තමන්ගේ බුද්ධි මට්ටම අනුවයි. පුද්ගලයෙකු මුලින්ම තමන්ට ගරු කළ යුතුයි. ඒ තමයි ආත්මගරුත්වය. තමන්ගේ පවුලේද අයට ගරු කළ යුතුයි. තමන්ගේ ශරීරය කියන දේ කරනවාද? කළ යුතු දේ කුමක්ද? මෙය ඔබගේ බුද්ධියට භාර දෙන්න. ඔබ හරි පාරේ යනවාද වැරදි පාරේ යනවාද යන කරුණ මත ප්‍රතිඵල තීරණය වේවි. හරි පාරේ ගියොත් සතුටුදායක පවුල් ජීවිතයක් හිමිවන අතර වැරදි පාරක් දිගේ යන අයකුට ඉදිරියේ හමුවන්නේ පවුල් ආරවුල්, දික්කසාදය, සමාජයේ තනිවීම , ලෙඩ රෝග හෝ සමහර විට මරණය විය හැකියි.
ලිංගිකත්වය විවිධ පුද්ගලයන් තුළ උපදින්නේ විවිධ ආකාරවලටයි. එක් කෙනෙක් තව කෙනෙකුට සර්ව සම වන්නේ නෑ. විවාහ වන දෙදෙනා ජීවිතේ මුල් අවදියේම මෙය තේරුම් නොගතහොත් එය අවසන් වන්නේ දික්කසාදයෙන් හෝ ප්‍රදර්ශනයට පමණක් සීමා වූ විවාහයක් ලෙසටයි.දෙදෙනා කොයිතරම් වෙනස් වුවත් යම්කිසි එකඟතාවයකට අනාගතය වෙනුවෙන් පැමිණිය යුතුයි. දූ දරුවන් සිටින දෙමාපියන්ට දියුණු රටකදී මෙන් දික්කසාද වීම මෙහිදී සාධාරණ වන්නේ නෑ. දෙමව්පියන් දික්කසාද වුවත් දියුණු රටවල්වල දරුවන් රැකබලා ගැනීමට යාන්ත්‍රණයක් සමාජයේ පවතිනවා .දරුවන් ගිලීහී ගිය දෙමව්පියන් වියපත් වූ දිනයේ ඔවුන් බලා ගැනීමටත් තවත් යාන්ත්‍රණයක් ක්‍රියාශීලීව සමාජය තුළ පවතිනවා .
අපේ රටේ නම් දරුවන් හැමදාම දෙමව්පියන් ළඟ සිටිය යුතුයි. නැත්නම් දරුවන් විනාශ වීම වළක්වා ගන්න අසීරු වෙනවා. අපගේ දෙමව්පියන් මේ අයුරින් දික්කසාද වූවානම් අපට අද කුමක් නම් වෙන්න තිබුණා ද? අකමැත්තෙන් වුවද එක වහලක් යට දරුවන් වෙනුවෙන් ජීවත් වෙමින් විවාහ ජීවිතය එකම දුකක් කර ගත් අය ද අප සමාජයේ දුර්ලභ නැති බව අමතක නොකළ යුතුයි. ඒවා දරුවන් දන්නේ නෑ. අසල්වැසියන් දන්නේත් නෑ. මේවා කියන්නට කෙනෙක් ඔවුන්ට ඇත්තේත් නෑ . විසඳුමකුත් නෑ .ඒකට ප්‍රධාන හේතුව මේ සඳහා විද්‍යාත්මකව බලන්නට බොහෝ දෙනෙකුට නොහැකි වීමයි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා සටහන:ඉන්දු පෙරේරා