‘හරියට නුවරඑළිය වගේ’
අපේ රටේ සෞම්‍ය සුවදායක කඳුකර ප්‍රදේශ හඳුන්වන්න සමහරු එහෙම කියනවා; ඔබත් අහලා ඇති. නමුත් ඒ කතා බොරුවක් අතිශයෝක්තියක් නෙවෙයි කියලා යමෙකුට හිතෙන සුන්දර පරිසර කලාපයන් අපේ රටේ කොතෙකුත් තියනවා.
රක්වාන, කලවාන ප්‍රධාන මාර්ගයේ හතරවෙනි කිලෝ මීටර් කනුව පහුවෙන කොට හාත්පස පරිසරයේ වෙනසක්, ටිකක් සීතල ගතියක් ඒ පාරේ වායුසමනය නොකළ වාහනයකින් යන කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒ වගේම තවත් කිලෝ මීටරයක් විතර ඒ පාර දිගේ ඉහළට යනකොට එක පාරටම අපිට ඒ පරිසරයේ දේශගුණයේ පැහැදිලි වෙනසක් පේන්න පටන් ගන්නවා. ඉර මුදුන් වෙලාවක හැරුණාම ඒ ප්‍රදේශය හුඟක් දුරට මීදුමින් වැහිලා. ඒ වගේම වටේටම තේ වතු. අන්න ඒ ඉසව්ව ගැන තමයි අද අපි හරිත දනව්වෙන් ඔබට කියන්න යන්නෙ.
මේ හරියට කියන්නේ බෝටියතැන්න කියලා. ඊට පොඩ්ඩක් එහායින් මානික්කවත්ත. කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට සහ දොලේකන්ද ග්‍රාම නිලධාරී වසමට අයත් මේ බෝටියතැන්න මුළුමනින්ම පාහේ තේ වගා රජ දහනක්. නමුත් ඒක ගමක් හැටියටත් හඳුන්වන්නත් පුළුවන්. එහෙම බැලුවොත් ඒ ගමේ පදිංචි වෙලා ඉන්නේ එකම ගැමියයි.
ඒ තමයි බී. ඒ. ධර්මදාස මහත්තයා. දැනට හැටපස් වියේ පසුවෙන ධර්මදාස මහත්තයත් තේ වගා කරුවෙක්. පහුගිය කාලේ ඒ බෝටියතැන්න ගමට තවත් පවුලක් පදිංචියට ආපු කතාවකුත් ධර්මදාස මහත්තයා අපිත් එක්ක කිව්වා. ඊට අවුරුදු දහයකට විතර කලින් සිදුවුණු බිරිඳ ගේ වියෝවත් දරු දෙදෙනාගෙන් නිදහස් වීමත් මුල් කරගෙන හුදකලා ජීවිතයක් ගත කරන ධර්මදාස මහත්තයගේ තනි නොතනියට මේ දවස් වල මුණුපුරෙක් ඇවිත් ඉන්නවා.
පහුගිය කාලේ එක රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනකට එක් වුණු රක්වාන කජු ගස්වත්තේ භාග්‍යා අබේරත්න යුවතිය සිංහරාජ වනය අවට සිද්ද වෙන වන විනාශය ගැන කරපු සංවේදී ප්‍රකාශය හින්දා රටේ විශාල ආන්දෝලනයක් ඇති වුණු බව අපිට තාම මතකයි. භාග්‍යා ගේ කතාවෙන් කියැවුණේ සිංහරාජ වනය හා සම්බන්ධ පරිවාර වනපෙතක මහා විනාශයක් වෙන බවයි. ඒ කිව්වෙත් අද අපි මේ කතා කරන බෝටියතැන්න හා මානික්කවත්ත ගැනයි.
සිංහරාජ වන පෙතේ ඉන්න වන අලින් දෙන්නා නිතර සැරිසරන අලි මංපෙතක් වුණු බෝටියතැන්නට පාරිසරික හානියක් සිද්ද කරන එක නම් බරපතල අපරාධයක්. ධර්මදාස මහත්තයා කියන විදිහට සිංහරාජයේ ඉන්න අලි දෙන්නව එයාලා සෑහෙන කාලෙක ඉඳලා හොඳට දන්නවා. ඒ අලි දෙන්නා ගමන් කරන මංපෙත් වල තණ කොළ පවා පොඩි වෙලා තිබුණත් ළඟක දී ඉඳලා ඉන් එක අලියෙක් පේන්න නැහැ කියලා තමයි ධර්මදාස මහත්තයා කියන්නේ.
“මේ රක්වාන, කලවාන පාරේ වාහන වලින් ගමන් බිමන් යන අප හුඟ දෙනෙක් මේ හරියෙ දී වාහනේ නතර කරලා අවට පරිසරය ගැන විමසිලිමත් වෙනවා. මොකද රක්වානෙන් පිටත් වෙලා මෙච්චර කෙටි දුරක දී මෙච්චර පැහැදිලිව පේන පාරිසරික වෙනසක් සිද්ද වුණේ කොහොමද? කියලා හිතා ගන්න බැරුව.
ඒ වගේම සමහරු පාරෙන් එහා පැත්තේ තියන දොළ පාරට බැහැලා නාගෙන යනවත් අපි දැකලා තියනවා. ඒ සමහරු කියන විදිහට මේ වගේ පරිසරයක දොළ පාරකින් නාන්න පූරුවේ පිනක් වාසනාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔය මානික්කවත්තෙත් හරිම අපූරු දොළ පාරක් තියනවා.
ඉර මුදුන් වෙලාවට තරමක උණුහුමක් තිබුණට මොකද උදේට, හවසට, රෑට එහෙම මෙහේ තියෙන්නේ සැලකිය යුතු සීතල ගතියක්. ඒ මේ කොටස කඳු බෑවුම් වලට මුවා නොවී තියන හින්දා වෙන්නත් පුළුවන්. ඒ වගේම වටපිටාවෙ තියන සොබා සෞන්දර්යත් ඕනෙම කෙනෙකුගේ හිත් ගන්න හින්දා තමයි මේ ඉසව්ව පහු කරන හුඟ දෙනෙක් මේ පළාත ගැන නතර වෙලා අහන්නේ. ඒ අතරේ හුඟ දෙනෙක් මෙහේ ඉඩම් මිලත් අහනවා.”
ධර්මදාස මහත්තයා එහෙම කියන්නේ තමන් ජීවත් වෙන සදාහරිත, නිහඬ නිසංසල පරිසරය ගැන සැබෑ තෘප්තිමත් හැඟීමකින්. “නමුත් දැන් අවුරුදු කීපෙක ඉඳලා සති අන්ත දවස්වලට අශීලාචාර විදිහට විනෝදමත් වෙන කට්ටියකුත් මේ පැත්තට එනවා. හඳපාන්ඇල්ල දිය ඇල්ලට යන්න තියෙන්නෙත් මේ බෝටියතැන්නෙන් හැරිලා තමයි. නමුත් පරිසරය, සොබාදහම ගැන හැඟීමක් දැනීමක් නැති මිනිස්සු කොයි මොහොතේ මේ සොබාදහමේ දායාදය අපිට අහිමි කරයි ද කියන සැකය අපි තුළත් තියනවා.
අර භාග්‍යා අබේරත්න කියන ළමයා අර රූපවාහිනී වැඩසටහනින් ඒ ගැන රතු එළියක් දැල්වූවා විතරයි” ධර්මදාස මහත්තයා එහෙම කියද්දී අපිට හිතුණේ රක්වාන, කලවාන පාරේ හතර, පහ, හය කියන කිලෝමීටර් කණු අතර ප්‍රදේශයේ දී විතරක් දැන ගන්න පුළුවන් මේ සොඳුරු පාරාදීසය සොබා දම් මවගේ තවත් සොඳුරුම දායාදයක් කියලයි.
රේණුකා ගමගේ
ඡායාරූප : ධනුක නදීෂාන්