හදවත් සැත්කම් නියම වූ රෝගීන් නිසි වේලාවට ඒවාට බඳුන් නොකිරීම මත ඔවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් අකාලයේ මරු මුවට පත් වන බවට රාවයක් තිබේ.
එය අප රටේ ජනතාව වෙතින් සෞඛ්‍ය අංශ වෙත නිරතුරුවම එල්ල වන චෝදනාවක් ද වෙයි.හදවත් සැත්කම් නියම වූ රෝගීන් සඳහා රාජ්‍ය සෞඛ්‍ය අංශ මගින් ඒ සඳහා දින ලබා දෙන මුත් එම දින නිරන්තරව කල් දැමීම සුලබ ව සිදුවීම මත මෙම ජන මතය ගොඩ නැඟී තිබේ.
කවර හෝ සැත්කමකට ලක් කළ යුතු රෝගියකු නිසි කලට ඒ සඳහා යොමු නොකිරීමෙන් එම රෝග තත්වය උග්‍ර වීම, විවිධ සංකූලතා පැන නැඟීම ඉතා සාමාන්‍ය තත්වයකි. හදවත සහ මොළය ආදී ශරීරයේ අති සංවේදී ඉන්ද්‍රියන් සම්බන්ධයෙන් එම ප්‍රමාදය මරණීය ප්‍රතිඵල උදා කරවන්නක් බව ද මූලිකව පිළිගැනීමට අපට සිදුවෙයි.
රාජ්‍ය අංශය මගින් සිදු කෙරෙන මෙම හදවත් සැත්කම් ප්‍රමාදයට සැත්කම් සඳහා යොමු වන රෝගීන් ගේ ප්‍රමාණය වැඩිවීම, ඊට සාපේක්ෂව හෘද සහ උරස් කන්තුක ශල්‍ය වෛද්‍ය වරුන් ගේ හිඟය, ශල්‍යාගාර පහසුකම් සීමා සහිත වීම සහ ඇතැම් විට එම සැත්කම් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අවම වීම ආදිය හේතුවන බව සැබෑවකි.එහෙත්, මෙම කරුණ වැඩිදුර විමසා බැලීමේ දී ඊට විද්‍යාත්මක ප්‍රවේශයක් ද එක් කර ගත යුතු වෙයි. එසේ නොමැති නම් ඒ සම්බන්ධ සත්‍ය තත්වය, යථාර්ථය අප හමුවේ හෙළිදරව් නොවනු ඇත.
හදවත් සැත්කම් යන සාමාන්‍ය ව්‍යවහාරයේ එන වදන වෛද්‍ය විද්‍යාත්මකව පුළුල් ලෙස විග්රහ කෙරෙන්නකි. ‘බයි පාස් එකක්’ යන පොදු ජන වහරේ එන වදන හදවත් සැත්කම් ජාලයේ එක් සැත්කමක් සම්බන්ධ වදනකි.
නමුදු ඊට වඩා බැරෑරුම් හෘද සහ උරස් කන්තුක සැත්කම් රාශියක් තිබේ. ඒවා අතුරින් වැඩිපුර සිදු කෙරෙන සැත්කම් වනුයේ හදවත් කපාට බද්ධ කිරීම,හදවත් සිදුරු වසා දැමීම ආදියයි. හෘද කුහරය විවෘත කිරීමෙන් කෙරෙන මෙම සැත්කමකට දෙකකට වඩා එක් දිනක් තුළ කළ නොහැක.
එමෙන්ම එම සැත්කම් සඳහා එක් කර ගන්නා කාර්ය මණ්ඩලය ද ඒ සැත්කමේ ඇති බැරෑරුම් කම අනුව වෙනස් වන අවස්ථා තිබේ. ඇතැම් විට මෙම සැත්කම් සඳහා වෙනත් අංශවලට අයත් වෛද්‍ය වරුන් ගේ සහාය ද ලබා ගැනෙයි. ඊට අමතරව හෘද කුහරය විවෘත නොකොට හෘදය වස්තුවේ කිරීටක ධමනි අවහිරතා කෘත්‍රිම නාල බද්ධ කිරීමෙන් දුරු කෙරෙන අන්ජියෝ ප්ලාස්ටි නම් නවීන සැත්කම් විශේෂයක් තිබේ. ඉහත සඳහන් සැත්කම් වලට සාපේක්ෂව සරල බවක් ගන්නා මේවා අඩු කාලයක් තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්වන සැත්කම් විශේෂයකි.
හෘදවේදයට අනුව ප්‍රවේශගත හෘදවේදය( Interventional cardiology) යන විෂය පථයට අයත් ඇන්ජියෝප්ලාස්ටි නම් වන සැත්කම් සිදු කරනුයේ හෘද හා උරස් කන්තුක විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් නොවන එහෙත්, ඒ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබූ හෘද රෝග විශේෂඥ වෛද්‍ය වරුන් විසිනි.
ඉහත සඳහන් සියලු සැත්කම් අතර බැරෑරුම් සේම ඉක්මනින් සිදු කළ යුතු සැත්කම් ද තිබේ. ඊට හේතුව එලෙස ඉක්මනින් කළ යුතු ඇතැම් සැත්කමක් පමා වීමෙන් රෝගියා මරණයට පත් වීමේ පැහැදිලි අවදානමක් පැන නැඟීම ය. නිදසුනක් ලෙස හෘදය වස්තුවේකිරීටක ධමනියක රුධිර කැටියක් සිර වුවහොත් හැකිතාක් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළ යුතු වෙයි.
මීට අමතරව රෝගියා ඉතා ඉක්මනින් හෘද සැත්කමක් වෙත යොමු කළ යුතු තවත් රෝග තත්වයන් කිහිපයක් ද තිබේ. මෙවන් හදිසි තත්වයන් යටතේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මගින් එම රෝගියා හනික එම හෘද වෛද්‍ය පහසුකම් ඇති රෝහලක් වෙත යොමු කෙරෙන අතර එම සැත්කම් සඳහා හෘද හා උරස් කන්තුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය වරුන් ඇතුළු කාර්ය මණ්ඩල දවසේ පැය විසි හතර පුරාම සේවයේ කැපවී සිටිති.
මෙලෙස අවදානම් සහගත හෘද රෝගීන් සඳහා කඩිනම් ශල්‍ය කර්ම සිදුකිරීමට සිදුවීම නිසා ද සෙසු හෘද රෝගීන් ගේ හෘද සැත්කම් පමා වීමේ යම් ඉඩකඩක් පවතී. එය අදාල රෝහල, සම්පත් දායකත්වය ආදී කරුණු මත රඳා පවතින්නකි.
මා ඉහත සඳහන් කළ තත්වයන් යටතේ වුවද හෘද සැත්කමකට බඳුන් කළ යුතු රෝගියකු “ගෙදර යැවීම” සාධාරණීකරණය වන්නේ කෙසේදැයි දැන් ඔබට සිතෙනු ඇත. ඒසඳහා ද දිය හැකි පැහැදිලි පිළිතුරක් තිබේ. එනම් ඒ සැත්කම් පමාවේ අඩුපාඩුව නිතිපතා ඖෂධ භාවිතයෙන් හා නියම කරනු ලබන වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් බොහෝ දුරට මඟහරවා ගත හැකි වීම ය.
සාමාන්‍යයෙන් සැත්කම් සඳහා දින නියම කොට තිබියදීත් ඉහත සඳහන් තත්වයන් යටතේ ඒ සැත්කම් කල් දමනුයේ මෙම රෝගීන් ගේ බව ද කිව යුතු ය. එමෙන්ම තමන් තුළ පවතින සැබෑ රෝගී තත්වය රෝගියා නොදන්නා නමුදු ඔහුගේ හෝ ඇයගේ සායනික පත අනුව එම රෝග තත්වය පිළිබඳ මූලික වැටහීමක් ලබා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි ය.
මෙම සැත්කම් කල් දැමීමේදී එය ද අවධානයට බඳුන් කෙරෙයි. එහෙත්, ඒ අතරේ තමන් තුළ පවත්නා රෝග ලක්ෂණවල යම් තීව්රතාවයක් හෝ වෙනස්වීමක් තිබුණ හොත් නැවත සායන දිනයක් පැමිණෙන තුරු බලා නොසිට හැකි විගස තමන්ගේ සායනික පත් ද රැගෙන ගොස් ඒ බව වෛද්‍යවරුන් හට දන්වා සිටීම රෝගියා සතු යුතුමකි.
හෘද සැත්කම් පමා වීම මත සිදු වන මරණ අතුරින් යම් ප්‍රමාණයක් මෙම ගණයට අයත් වන අතර මියගියවුන් ගේ ඥාතීන් බොහෝ විට කියනුයේ රෝගියා තුළ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි ඇති විශ්වාසය මඳ වීම මත එම නව රෝග ලක්ෂණ වෛද්‍ය වරුන්ට හෙළිකිරීමෙන් වැලකී සිටි බව ය. එහෙත්, ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුත්තේ එලෙස හදිසි වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතු අවස්ථාවේ ඒ සඳහා යොමු වීමෙන් එම රෝගීන් ගේ ජීවිත බේරා ගත හැකිව තිබිය දී එම මරණ වල වගකීම රෝගියා ගේ ඥාතීන් සෞඛ්‍ය අංශ වෙත පවරන බවකි.
මෙලෙස සැත්කම් පමා වන අතරේ මිය යන තවත් රෝගීන් සැලකිය යුතු පිරිසක් ඒ වන විට විධිමත් ඖෂධ භාවිතයෙන් වැළකී විකල්ප ප්‍රතිකාර වෙත යොමු වී සිටින්නවුන් බව ද සනාථ වී තිබේ.
දේශීය, හෙළ ආදී නමින් හඳුන්වමින් ඇතැම් විට රාවණා ආදී ඉපැරණි නම් පවා අවභාවිතා කරමින් කිසිදු විද්‍යා ශාස්ත්‍ර පදනමකින් තොරව රෝගියා ගේ නාඬි ඇල්ලීමෙන් පවා හෘද රෝග පිළිබඳව දැන ගත හැකි බව පවසන ඊනියා “ගොඩ වෙද්දු” රෝගීන් ගේ ඉන ඉහ ගසා කනු පිණිස දැනට ගන්නා බටහිර ඖෂධ නතර කරන ලෙස අනියමින් සේම සෘජුව ද පවසති.
එම රෝගීන් එලෙස බටහිර ඖෂධ නතර කොට එම හොර වෙදුන් ගෙන් ප්‍රතිකාර ගනිමින් සිටින අතරේ මිය යන අවස්ථා ද අතිශය සුලබ ය. නමුදු එවන් අවස්ථා වල මිය ගිය රෝගියා ගේ ඥාතීහු සැත්කම් පමා වීම මත තම ඥාතියා අකාලයේ මියගිය බව මිස ඔහු කපටි කයිරාටිකයකුට රැවටී විධිමත් ඖෂධ ගැනීම නවතා දැමූ බව නොකියති.
අප මේ කරුණු ඉදිරිපත් කරනුයේ දැනට අප වෙත වාර්තා වී ඇති සහ වාර්තා වෙමින් පවතින තොරතුරු අනුව ය.මේ අතර මෙම සැත්කම් පමාව හේතුවෙන් තවත් පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවාවේ උපකාරයෙන් එම සැත්කම් කර ගැනීමට යොමු වෙති.
ඇතැමුන් ඒ සඳහා යන වියදම දැරීමට තම ගේ දොර ඉඩකඩම් පවා උගස් කරන විකුණන අවස්ථාවන් පිළිබඳව අප අසා තිබේ.
නමුදු එක් එක් තැනැත්තා ගේ අභිමතය අනුව සිදුවන එම කටයුතු සම්බන්ධ සෘජු බලපෑමක් කිරීමට අපට නොහැක්කේ එලෙස සැත්කම් පමා වීමේ කරුණ ඉතා අවම මට්ටමකින් හෝ රෝගියාට කිනම් හෝ බලපෑමක් ඇති විය හැකි බැවිනි.
එමෙන්ම රජයේ සෞඛ්‍ය අංශ වෙත යොමු වන රෝගීන් ගෙන් ආර්ථික හැකියාවක් සහිත රෝගීන් ගෙන් යම් කොටසක් හෝ පෞද්ගලික වෛද්‍ය අංශ වෙත එලෙස යොමු වීමේ යම් යහපතක් ද තිබේ.
එනම් රජයේ සෞඛ්‍ය අංශ වෙත එල්ල වන ජන පීඩනය ඉන් තරමක් දුරට හෝ අවම වී ඒ සඳහා යොමු වන රෝගීන් ගේ සැත්කම් සිදු කරගැනීමේ අවස්ථාව මඳකින් හෝ ඉක්මන් කර ගත හැකි වීම ය.
හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ