රජයේ වියදම් සීමා කරන භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩිව පිළිපදින්න

රජයේ වියදම් සීමා කිරීම පිළිබඳ භාණ්ඩාගාර චක්‍රලේඛය දැඩි ලෙස පිළිපදින්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය අංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.ජනාධිපති වරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට, සංස්ථා ප්‍රධානීන්ට, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සහ රජය සතු ව්‍යාපාරවලට මෙම නියෝගය නිකුත් කර ඇත.රජයේ මූල්‍ය මෙහෙයුම්වල ඇති බරපතළ ගැටලු සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා මුදල් සැපයීමට සහ විදේශ ණය සේවා බැඳීම් සපුරාලීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැතිකම සැලකිල්ලට ගනිමින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.ඒ අනුව ඉන්ධන, විදුලිය, ජලය සහ සන්නිවේදන පහසුකම් ඇතුඑ උපයෝගීතා සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පනවා තිබේ.රාජ්‍යායතන පවත්වාගෙන යාම සඳහා නව ගොඩනැගිලි සඳහා නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙ. බඳවා ගැනීම් වහාම අත්හිටුවිය යුතු බවත්, ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය බඳවා ගැනීම් තිබේ නම් ඒ සඳහා රාජ්‍ය ව්‍යවසාය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය තිබිය යුතු බව චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත.සේවකයින්ට නව දීමනා නොගෙවිය යුතුබවට හා කඩදාසි භාවිතය හැකිතාක් අඩු කොට විද්‍යුත් සන්නිවේදන වේදිකා වෙත මාරු වන ලෙසත් සියලුම ආයතනවලට මෙම රජයේ වියදම් සීමා කිරීම පිළිබඳ භාණ්ඩාගාර චක්‍රලේඛය මගින් උපදෙස් දී තිබේ.

කාලීන පුවත්