රජය අපහසුවට පත් කරන්න ඇතැම් නිලධාරීන් ගොවි ජනතාවට හිමි සහන දෙන්නේ නෑ

රජය විසින් ගොවි ජනතාවට මේ වන විටත් සහන රැසක් ලබා දී ඇති නමුත් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් නිලධාරීන් ගොවි ජනතාවට හිමි සහන නොදෙන බවත් එවැනි අය හඳුනා ගනිමින් සිටින අතර හඳුනාගත් පිරිසට විනයානුකූල පියවර ගනිමින් හිඳින බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මේ අතර ලබන සතියේ සිට යූරියා සහ බන්ඩි පොහොර අඩු මිලට ලබා දීමට කටයුතු කරන බවත් ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 9000ට වඩා අඩු මුදලකටත් , බන්ඩි පොහොර මිටියක් දැනට පවතින මිලට වඩා රුපියල් 4500ක් අඩු කර, රුපියල් 15000ටත් ලබාදෙන බවත් ඇමති වරයා කීය. පොහොර මිල පාලනය කරමින් සාධාරණ මිලට ගොවි ජනතාවට ලබා දීම රජයේ අරමුණ බවත්, පෞද්ගලික අංශයට අනිසි ලාබ ලබා ගැනීමට ඉඩ නොදෙමින් එම පොහොර ජනතාවට ලබා දීම රජයේ අරමුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. තේ, පොල්, රබර්, එළවළු,අල, කෙසෙල් සහ කුරුඳු වගාවන් සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර පෙර පැවැති මිලට වඩා භාගයකටත් අඩු මුදලකට ලබාදෙන බවත් ඒ මහතා කීවේය.ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කාලීන පුවත්