රජය පොදු ස්ථානවල මුහුණු ආවරණ එපායැයි ජනතාවට කීම සැක සහිතයි

මහජනතාව එක්‍ රැස් වන පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බවට රජය විසින් මහ ජනතාව වෙත කළ නිවේදනය සම්පූර්ණ සෞඛ්‍යාරක්ෂිත නොවන්නක් බව පෙන්වා දෙන විවිධ පාර්ශව එය ඉදිරියේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණ වලට එක් වන්නවුන් පහසුවෙන් හඳුනා ගැනීම පිණිස රජය දරන ප්‍රයෝගකාරී උත්සාහයක් බවට ද සැක පළ කරයි.

ඉදිරියේ පැවැත්වීමට සැළසුම් කොට ඇති රාජ්‍ය සේවක විරෝධතා සඳහා මුහුණු ආවරණ පැළඳීමෙන් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වීම මීට හේතුව ලෙස ද එම පාර්ශව පෙන්වා දෙයි.මේ අතර සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා අනාවරණය කළ මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ සීමා ලිහිල් කිරීමේ රජයේ තීරණය ඉවත් කරන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය(Association of Medical Specialists ) ද රජයෙන් ඉල්ලීමක් කරයි.

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව අඩුවී ඇතත්, ලොව සෙසු රටවලින් තවමත් කොරෝනා නව ප්‍රභේද වාර්තා වන නිසා එම රෝගයෙන් ආරක්ෂාවීමට මහජනතාවට තවදුරටත් උපදෙස් දිය යුතු බව එම සංගමය පවසයි. ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ සහ ලේකම් විශේෂඥ වෛද්‍ය කේ.ඥාණසේකරම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක් මඟිනි.

කාලීන පුවත්