රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ; මන්ත්‍රී ධුරයත් අහිමි යි

ඉන්දියානු දේශපාලනයේ ප්‍රධානම චරිතයක් වන රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීම සහ ඔහුගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කිරීම මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබෙන කාරණයකි. ඉන්දියාවේ ප්‍රධාන විරුද්ධ පක්‍ෂය වන ඉන්දියානු ජාතික කොංග්‍රසයේ ඉදිරි පෙළ නායකයකු වන රාහුල් ගාන්ධි එරට හිටපු අගමැති රජිව් ගාන්ධිගේ සහ සෝනියා ගාන්ධිගේ වැඩිමල් පුත්‍රයා යි. මේ වනවිට 52 වැනි වියේ පසුවන ඔහු නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා වූ ජවහර්ලාල් නේරුගේ මී මුණුපුරෙකු මෙන්ම හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ මුණුපුරෙකු ද වේ. රජිව් ගාන්ධිට පැනවූ සිර දඬුවමට සහ ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට එරෙහිව මේ වනවිට ඔහුගේ ආධාරකරුවෝ විරෝධතා දක්වමින් සිටිති. රාහුල්ට සිර දඬුවම් නියම කෙරුණේ සාපරාධී අපහාසය පිලිබද චෝදනාවක් යටතේ යි.

ඔහුට මේ ආකාරයෙන් චෝදනා එල්ල වීමට පසුබිම් වූයේ අගමැති නරේන්‍ද්‍ර මෝදි සම්බන්ධයෙන් කළ විහිළුවකි. ‘මේ සේරම හොරුන්ට මෝදි කියන වාසගම ලැබී ඇත්තේ මන්ද? නිරාව් මෝදි, ලලිත් මෝදි, නරේන්‍ද්‍ර මෝදි?’ යයි ඔහු වරක් ප්‍රකාශ කර තිබිණි. (නිරාව් මෝදි මේ වනවිට නීතිය මගහරිමින් සිටින ව්‍යාපාරිකයකු වන අතර ලලිත් මෝදි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් තහනමකට ලක් කරනු ලැබ ඇති ක්‍රිකට් නිලධාරියෙකි.)

රාහුල් ගාන්ධි ඉහත ප්‍රකාශය කර තිබුණේ 2019 එරට මහා මැතිවරණය ආසන්නයේ කර්ණාටක ප්‍රාන්තයේ පැවැති දේශපාලන රැළියකදී යි. මෙම ප්‍රකාශයට එරෙහිව අගමැති මෝදිගේ පක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන පූර්නේශ් මෝදි පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ රාහුල්ගේ ප්‍රකාශයෙන් සමස්ත මෝදි ප්‍රජාවටම අපහාසයක් සිදුව ඇති බවයි. රාහුල්ට එරෙහිව සාපරාධි අපහාස නීතිය යටතේ නඩු පැවරුණේ මෙම පැමිණිල්ල පදනම් කර ගනිමිනි. මෙම නඩු විභාගයෙන් පසු ගුජරාත් ප්‍රාන්තයේ අධිකරණයක් රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කළේ පසුගිය 23 වැනි දින යි. ඉන්දියාවේ නීතියට අනුව අධිකරණයකින් වැරදිකරුවකු කරනු ලැබුවකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හැකියාවක් නැත. ඒ අනුව රාහුල්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද අහිමි විය. ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට ඔහුට තරග කිරීමට ලැබේවිද යන්න ද මේ වනවිට සැක සහිත වී ඇත.

ඉහත තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී රාහුල් ගාන්ධි ද අධිකරණය වෙත පැමිණ සිටියේය. කෙසේ නමුත් ඔහු ක්‍ෂණිකව සිර ගත කිරීමක් සිදු වන්නේ නැත. මන්ද යත් ඔහුට දින 30 ක කාලයකට ඇපයක් ලබා දී ඇති බැවිනි. එමෙන්ම මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ද ඔහුට තිබේ. ඔහු අයත් වන ඉන්දීය ජාතික කොංග්‍රසය පවසන්නේ ඉදිරියේ දී ඒ සඳහා පියවර ගනු ඇති බවයි.

එම පක්‍ෂයේ ප්‍රකාශකයන් පවසන්නේ රාහුල් ගාන්ධි දේශපාලන පලිගැනීමක ගොදුරක් බවට පත්ව ඇති බව ය. ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යමින් තිබීම ගැන භාරතීය ජනතා පක්‍ෂය බියට පත්ව ඇති බව ඔවුහු පවසති. ‘රාහුල් ගාන්ධිගේ ජනප්‍රියත්වය ඉහළ යමින් තිබීම ගැන භාරතීය ජනතා පක්‍ෂය බියට පත් ව සිටිනවා. ඔහු මෝදි පාලනයට සෘජු තර්ජනයක් එල්ල කරන නායකයෙක්’ රාහුල්ගේ පක්‍ෂයේ මන්ත්‍රීවරයකු වන ප්‍රදීප් භට්ටාචාර්ය පවසා තිබිණි. ලබන වසරේ ඉන්දියාවේ මහා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක් තුළ සිය දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කිරීමට භාරතීය ජනතා පක්‍ෂය කටයුතු කරමින් සිටින බවට දැන් කලෙක සිටම චෝදනා එල්ල වෙමින් තිබේ.

කෙසේ හෝ වේවා, රාහුල්ගේ පක්‍ෂයේ උදවිය පවසන්නේ මෙවැනි ක්‍රියා හරහා තම පක්‍ෂයේ නායකයන් නිහඬ කිරීමට කිසි විටෙකත් නොහැකි වනු ඇති බවයි. ‘එඩිතර, විවෘත අදහස් ප්‍රකාශණයට එරෙහිව නුඹලා ගන්නා ඔය උත්සාහයන්ට රාහුල් ගාන්ධිව හෝ කොංග්‍රස් පක්‍ෂය හෝ නතර කිරීමට හැකි වන එකක් නැහැ. ඒක හොඳින් මතක තියා ගන්න’ අභිෂේක් මනු නැමැති කොංග්‍රස් පක්‍ෂ ප්‍රකාශකයකු පවසා තිබිණි. මෙය දේශපාලන පලිගැනීමක්ය යන චෝදනා ප්‍රතික්‍ෂේප කරන භාරතීය ජනතා පක්‍ෂය පවසන්නේ මෙහි දී නිසි අධිකරණ ක්‍රියාවලියක් අනුගමනය කර ඇති බවයි.

රජීව් ගාන්ධි- සෝනියා ගාන්ධි යුවළගේ දරු දෙදෙනාගෙන් වැඩිමලා වන රාහුල් මුලින්ම දේශපාලනයට පිවිසියේ 2004 වසරේ යි. එම වසරේ මැයි මාසයේ පැවැති මහා මැතිවරණයට ඔහු ඉදිරිපත් වූයේ ඔහුගේ පියා නියෝජනය කළ අමෙති නැමැති අසුනෙනි. ඔහුගේ මෙම ඉදිරිපත් වීම එකල යම් විවාදයකට ද තුඩු දුන්නේය. ඇතැම් දේශපාලන නිරීක්‍ෂකයන්ගේ අදහස වූයේ එම ආසනය සදහා තරග කිරීමට රාහුල්ට වඩා ඔහුගේ බාල සහෝදරිය වූ ප්‍රියංකා ගාන්ධි සුදුසු බවය. ඇය වඩාත් ආකර්ශණීය චරිතයක් ලෙස සැලකුණු බැවිනි. කෙසේ හෝ වේවා, මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගැනීමට රාහුල්ට හැකි විය. 2007 සිට 2013 දක්වා ඔහු ඉන්දීය ජාතික කොංග්‍රසයේ මහලේකම් ධුරය දැරූ අතර 2017 සිට 2019 දක්වා එම පක්‍ෂයේ සභාපති ලෙස කටයුතු කළේය. මේ වනවිට එම ධුරය දරන්නේ ඔහුගේ මව වන සෝනියා ගාන්ධි ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර