අප රටේ අනේක විධ සමිති, සමාගම් තිබේ. ඒ අතර අතීතයේ නොතිබූ සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික සමිති ද දැන් බිහි වී ඇත. මෙකී නොකී පැරණි සහ නව සමිති සමාගම් අතරේ ඇති මා උපන්තේකට අසා නැති ‘වඩේ සමිතියක්’ පිළිබඳව දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ‘වඩේ සමිතිය’ යන කෙටි නමින් හැඳින්වුව ද මෙය වඩේ අලෙවි කරන සංචාරක වෙළඳුන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් බව මට පසුව දැන ගත හැකි විය. එය පිහිටුවා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ගල්ගමුවේ ය.
ඒ අනුව වඩේ නම් ආහාරයේ ඇති රසවත් බව ඔස්සේ එම වඩේ සමිතිය මුල් කොට ද එවැනි රසවත් තොරතුරක් සම්පාදනය කරනු පිණිස ඒ පිළිබඳ වංහුං සෙවීම සඳහා මම පළමුව ගල්ගමුව ප්‍රාදේශීය සභාවට කතා කොට එම වඩේ සමිති සභාපතිවරයාගේ නම සහ දුරකථන අංකය ලබා ගතිමි.
ඉන් දැන ගත හැකි වූ අන්දමට ඔහු කේ. ඒ. ඒ. නන්දසේන නමැත්තෙකි. “අමුතුවෙන් ෆෝන් කරන්න දෙයක් නෑ. ඒ මනුස්සයා හැම තිස්සෙම බස් ස්ටෑන්ඩ් එකේ වඩේ විකුණනවා. ඕනෙම වෙලාවක හම්බු වෙන්න පුළුවන්” ඒ සමඟම මට ප්‍රාදේශීය සභාවෙන් දැන ගත හැකි විය. ඒ අනුව ඊට පසුදාම ගල්ගමු නගරයට ගිය මම එහි පාදෙණිය, අනුරාධපුර (ඇල්ල හරහා) ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි ගල්ගමුව නගරයේ පරණ බස් නැවතුම්පළට පිවිසියෙමි.
“මට ඒ කේ. ඒ. නන්දසේන මහත්තයව හම්බු වෙන්න ඕනේ” අනුරාධපුර දෙස කුරුණෑගල සහ කොළඹ දෙසට එක පිම්මේ යන සීමිත නැවතුම් බස් රථ ගල්ගමුවේ නතර කරන නිමේෂය තුළ කඩියකු මෙන් කඩිසර ලෙසින් ඒවාට නගිමින් බසිමින් වඩේ අලෙවි කරමින් සිටි සංචාරක වෙළෙඳ මහතකු මොහොතකට නතර කර ගත් මම කාරණය කීවෙමි.
“නන්දසේන කියලා කෙනෙක් අපි දන්නේ නෑනේ” ඔහු මඳ කල්පනාවකට වැටුණි. “අර මෙහේ වඩේ සමිතියේ…..” මම ඔහුට පිළිතුර තව ටිකක් පහසු කරත්ම ඔහු අද්දර සිටි තවත් අයෙක් හනික ඉදිරිපත් විය. “ඔය කියන්නේ අපේ නන්දේ නේ බං;” සංචාරක වඩේ වෙළෙඳ මහතාට කී හෙතෙම හනික මදෙසට හැරුණි. “නන්දේ බිස්නස් කරන්නේ අතන අලුත් බස් ස්ටෑන්ඩ් එකේ. යන්න ගිහින් කතා කරන්න. මං දැක්කා; මේ දැනුත් හිටියා.” ඔහු කීයේ මගේ සිතට තරමක සැනසුමක් හිමි කර දෙමිනි.
“අපේ සමිතියේ නම නම් ගල්ගමුව එකමුතු සංචාරක වෙළෙඳ සංගමය. නමුත් මේකේ ඉන්න සාමාජිකයන් විසි දෙන්නම කරන්නේ වඩේ බිස්නස් තමයි; ඒ හින්දා හැමෝම වගේ මේකට කියන්නේ වඩේ සමිතිය කියලා; හැබැයි ඉතින් පහුගිය කොරෝනා කාලෙන් පස්සේ නම් අපිට මේ සමිතිය ගොඩගන්න බැරි වුණා” වඩේ සමිතියේ ‘ගරු සභාපති’ ඒ. කේ. ඒ. නන්දසේන (නන්දේ) මහතා තම අතේ වූ වඩේ සහිත වීදුරු පෙට්ටිය ගල්ගමුව නව බස් නැවතුම් පළේ මගීන්ට වාඩිවීම සඳහා තනා ඇති ඇළුමිනියම් අසුනක තබමින් කීය. මා මෙහි දී ඔහු “ගරු සභාපති” යනුවෙන් හඳුන්වනුයේ සාමාජික ඡන්දයෙන් එම තනතුරට පත් ඔහු ස්වෙඡාවෙන්ම තනතුර හොබවා ඇති බැවිනි.
“මේ ගල්ගමුවේ වෙළෙඳ සමිති කීපයක්ම තියනවා. නමුත් වඩේ විකුණන අපිට ව්‍යාපාරිකයෝ හැටියට එච්චර පිළිගැනීමක් නැති හින්දා තමයි අපේ සුබ සාධක කටයුතුවලට මේ සමිතිය පිහිටුවා ගෙන තියෙන්නේ. පස්සේ ඒකෙන් යහපත් කටයුතු කිහිපයක්ම සිද්ද වෙලා තියෙනවා. අපි අන්තිමට අපේ සාමාජික පවුලක මරණෙකදී රුපියල් විසි පන්දාහක් ගෙව්වා” නන්දේ එසේ පවසත්ම ඔහුගේ වඩේ පෙට්ටිය වැනිම වීදුරු පෙට්ටියක් අතැති තවත් සංචාරක වඩේ වෙළෙඳ මහතෙකු අප කෙරෙහි විමසිලිමත් වනු පෙනිණ. “මේ තමයි අපේ සමිතියේ හිටපු සභාපතිතුමා; සහාබ්දීන් අයියා. මෙයා මට වඩා ඔය ගැන පරණ විස්තර දන්නවා”. ඔහුට ද තම වඩේ පෙට්ටිය එහි අළුමිනියම් පුටුවක් මත තබන ලෙස ඇසින් ඉඟි කළ නන්දේ කීය.
“මොකක්ද එතකොට මේ ගල්ගමු වඩේවල ඉතිහාස කතාව?” එසැණින් මම සහාබ්දීන් මහතා ගෙන් ඇසීමි.
“ඉස්සර මේ පැත්තේ හේන්වල කව්පි, තල, මුං, කුරහන් හරියට වැව්වා. වැඩිපුරම තිබුණේ කව්පි. ඒ හින්ද ඉස්සරම ගල්ගමුව ප්‍රසිද්ධ වුණේ කව්පි වඩේ වලට. ඒ කාලේ කව්පි වඩේ එකක් සත පහට තමයි විකුණලා තියෙන්නේ. මල්ලි අයියා, රාජු අය්යා එහෙම තමයි මෙහේ මුලින්ම වඩේ බිස්නස් කරලා තියෙන්නේ” සහාබ්දීන් කීය.
“මල්ලි අයියා කියන්නේ නෑකම් දෙකක් නේ; එතකොට එහෙම කියලා තියෙන්නේ එකම කෙනෙකුටද? මොකක් ද? එතකොට එයාගේ නියම නම” මම ඇසීමි.
“අපි එහෙම දන්නේ නෑ මල්ලි අයියා කිව්වම තමයි ටවුමම දන්නේ. දැන් මල්ලි අයියා මැරිලත් සෑහෙන කාලයක් වෙනවා” සහාබ්දීන් කීය.
නන්දේ සහ සහාබ්දීන් යන දෙදෙනා ද මෙම වෙළඳාම පටන් ගෙන ඇත්තේ කව්පි වඩේ වලිනි. එවක කව්පි වඩේ එකක් සත පනහකි. ඒවායේ ප්‍රමාණය අනුව දෙකක් හෝ තුනක් ආහාරයට ගැනීමෙන් ආහාර වේලක අවශ්‍යතාව පවා සපුරාගත හැක. උතුරු නැගෙනහිර සහ අගනුවර ආශ්‍රිත දෙමළ ජනතාවගේ වැදගත් ආහාරයක් වන වඩේ සිංහල ජනතාවට සුළු බඩගින්න සංසිඳුවා ගන්නා කට ගැස්මක් පමණි. නමුත් දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණි වඩේ අප සිතන තරම් සුළු පටු ආහාරයක් ද නොවේ. ඉන්දියානු සාම්ප්‍රදායික ආහාර පිළිබඳ ඉතිහාසඥ කේ. ටී. අචායා විසින් සම්පාදිත ඉන්දියානු ආහාර පිළිබඳ ඓතිහාසික ශබ්ද කෝෂයට අනුව වඩේ සඳහා ක්‍රි. පූ. තුන් වන සියවස තෙක් අතීතයට දිව යන ඉතිහාසයක් තිබේ. ඒ අනුව වඩේ අප අතරට පැමිණ ඇත්තේ කිතු උපතටත් පෙර ය. ඒ අනුව චෝල රාජ වංශයට අයත් එලාර රජු අනුරාධපුර රජ කම් කළ ක්‍රි.පූ. පළමු සියවසේ පවා මෙහි ද ඇතැම් විට වඩේ තිබෙන්නට ඇත.
“එක්දාස් නවසිය අසූ ගණන්වල මෙහේ වෙළෙන්දෝ ලංකාවේ එක එක පළාත්වලට කවුපි වඩේ ගෙනිච්චා. කටුනායක වෙළෙඳ කලාපෙට විතරක් දවසකට කිලෝ පනහක් විතර අරන් ගියා. ඒකේ වැඩ කරපු සමහර ළමයි සමහර විට උදේ විතරක් නෙවෙයි දවල් රෑ කෑම වේල පිරිමහ ගත්තෙත් ගල්ගමු වඩේ වලින්; ඇයි ඒ ගාණට කටුනායක පැත්තෙන් මුකුත් ගන්න බෑනේ. පස්සේ අලි, මොනරු වගේ සත්තු හින්ද මේ හේන් කව්පි වගාව හුඟක් ම අඩු වුණා. අද අපි රුපියල් සීයකට වටානා පරිප්පු වඩේ හතක් දෙනවා. ඒත් කව්පි වඩේ දෙන්න පුළුවන් පහක් විතරයි. මොකද ඉන්දියාවෙන් ගේන වටානාවලට වඩා මෙහේ වැවෙන කව්පි ගණන්” නන්දේ කීය.
“එතකොට මේ උළුදු වඩේ කීයද?” ඔවුන් ගේ වීදුරු පෙට්ටිවල ඇති මැද සිදුරක් සහිත අප උළුදු වඩේ යනුවෙන් හඳුන්වන කැවිලි විශේෂය පෙන්වමින් මම ඇසීමි.
“මේ එකක් රුපියල් විස්සයි; සීයට පහයි” නන්දේ කීය.
“මේවට ඇත්තටම උළුදු පිටි එහෙමත් යහමින් දානවා ඇතිනේ” මා එසේ විමසත්ම මගේ එම පැනය කාටත් වැටහෙන බසින් කිවහොත් “කුපාඩි කමට” ඇසූ එකක් බව වටහා ගත් නිසාදෝ ඔවුන් දෙදෙනාම එක වර බකස් ගා සිනාසුනහ. “උළුදු දාලා හදනවා නම් වඩේ එකක් තමයි රුපියල් සීයට දෙන්න වෙන්නේ. දැන් උළුදු පිටි කිලෝ එකක් රුපියල් දාස් ගාණක් නේ” නන්දේ කීය.
“හොඳයි, මහත්තය ටවුමේ හෝටලේකට ගිහින් මාළු පාන් එකක් අතට අරන් මේවාට දාලා තියන මාළු ජාතිය මොකක්ද කියලා අහනවද?; නෑනේ” මගේ පැනයට සහාබ්දීන් දුන් උපහාසාත්මක පිළිතුර මගේ විස්මයට හේතු විය.
ඒ කෙසේ හෝ ඔවුන් පවසන අන්දමට ගත වූ කොවිඩ් වසංගතයෙන් පසු ගල්ගමු වඩේ වෙළෙඳාම යථා තත්ත්වයට පත්ව නැත. එනිසාම ඔවුන් ගේ වඩේ සමිතිය යළි ස්ථාපිත කර ගත නොහැකි තත්ත්වයක පවතී. ඔවුන්ගේ සමිතියේ නිලතල දැරුවන් පවා පසුගිය කොවිඩ් සමයේ එම සමිතිය, ජීවිකාව සේම ගම ද අතහැර ගොසිනි.
“අපේ භාණ්ඩාගාරික හිටියේ උක්කුං; දැන් උක්කුං ගල්ගමුවේ නැහැ. ඔය කොළඹ පැත්තේ ත්‍රීවීලර් එකක් එලවනවා” නන්දේ කීය.
“මොකක්ද ඒ උක්කුං ගේ නියම නම” මම ඇසීමි.
“එහෙම ලොකු මතකයක් නෑ; අපි හැමෝම එයාට කියන්නේ උක්කුං කියලා” නන්දේ කීය.
ඉහත සඳහන් විස්තර අනුව මෙම සටහන උපහාසාත්මක ලේඛනයක් පැත්තට යොමු වීමට පෙර එය නැවත නිවැරදි මඟට යොමු කොට ගත යුතු වේ. ගල්ගමුව නගරය තුළ සංචාරක වඩේ වෙළෙඳ මහතුන් නිසි පරිදි ස්ථානගත කිරීම් සිදු කොට ඇත්තේ ද මෙම වඩේ සමිතිය මගිනි. ගල්ගමුව නගරය මධ්‍යයේ ප්‍රධාන පාරට අද්දර ඇති මහ පාර මතින් “ඉගිල්ලවන” සීමිත නැවතුම් බස් රථ නතර කරන ස්ථානයට දුව පැන ඇවිදිය හැකි තරුණ සාමාජිකයන් යෙදවීමත් අනුරාධපුර දෙසට යන බස් රථ වැඩිවේලාවක් නතර කොට තබන නව බස් නැවතුම් පළේ වඩේ අලෙවි කටයුතු සඳහා වියපත් තලතුනා සාමාජිකයන් යෙදවීමත් මෙම වඩේ සමිතියේ සභා සම්මතයෙන් සිදුවන්නකි. නමුත් ගල්ගමුවෙන් දුම්රියට නැඟ මහව සහ අනුරාධපුර තෙක් උතුරු දුම්රිය මාර්ගයේ වඩේ අලෙවි කරන සංචාරක වෙළෙඳ මහතුන් මෙහි සාමාජිකයන් නොවන බව මෙම සභාපතිවරු දෙපලම කියති.
එමෙන්ම ඔවුන් පවසන අන්දමට පසුගිය කාලය තුළ ගල්ගමුවේ වඩේ අලෙවිය සම්බන්ධයෙන් හටගත් දරුණු පසුබෑම තාමත් යථාවත් වී නැත. එනිසා වඩේ සමිතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වත් ගල්ගමුවේ සංචාරක වඩේ වෙළෙඳාම සඳහා අලුතින් පිරිස්වලට ඉඩ දිය නොහැකි බව ඔවුහු කියති. “කොටින්ම මට මගේ පුතාව වත් මේ බිස්නස් එකට දාන්න බෑ. එහෙම වුණොත් අපි ඔක්කොටම බොන්න වෙන්නේ හුලං තමයි” සහාබ්දීන් කීය. ඒ අනුව මෙරට ඇති අනේක විධ සමිති සමාගම් අතුරින් නවක සාමාජිකයන් බඳවා ගැනීමට පසුබාන සමිතියක් ලෙස ද මෙම ගල්ගමුවේ වඩේ සමිතිය හඳුන්වා දීමේ වරදක් නැතැයි මට සිතේ.
ගල්ගමුවේ සංචාරක වඩේ වෙළෙඳ මහතුන් පවසන අන්දමට අද වන විට එක් වෙළෙඳ මහතකුට එක් දිනකට වටානා පරිප්පු කිලෝ හතරක පහක ප්‍රමාණයට වඩා වඩේ අලෙවි කර ගත නොහැක. එමෙන්ම වටානා පරිප්පු වංගෙඩියක ද කෙටීම ද “පණ යන වැඩකි”. ඒ මෝල් පහරින් බෙරීමට ඒ මේ අතට පැනීමේ මනා “හැකියාවක්”රෑ වටානා පරිප්පුවලට ඇති බැවිනි. ඒ සඳහා ඇඹරුම් යන්ත්‍ර භාවිත කළ යුතු අතර මේ වන විට කිලෝග්‍රෑම් කිහිපයක ප්‍රමාණයක් එකවර කොටා ගත හැකි ඇඹරුම් යන්ත්‍රයක් රුපියල් ලක්ෂයකට ආසන්න ය. එබැවින් ගල්ගමුවේ සමහර සංචාරක වඩේ වෙළෙඳ මහත්වරු ප්‍රදේශයේ වඩේ නිෂ්පාදනය කරන නිවෙස්වලින් ඒවා මිලට ගෙන සොච්චම් ලාභයක් තබාගෙන ඒවා අලෙවි කරති. එම වඩේ නිෂ්පාදනය කරන්නවුන් ද ඒ ගෑස් භාවිත නොකර ඒ සඳහා දර පමණක් යොදනුයේ ගෑස් භාවිතයෙන් එහි ලාභය බින්දුවට ආසන්න අගයක් තෙක් පහත වැටෙන බැවිනි.
“ටවුන් එකේ වඩේ විකුණන මිනිස්සුන්ගෙන් වැඩි කොටස මම කාලෙක ඉඳන් පෞද්ගලිකවම දන්නවා. මොකද? මාත් පාරට බැස්සම එයාලගේ පාරිභෝගිකයෙක්. ඒ හැමෝම වගේ හරිම අහිංසක ගුණ යහපත් අවංක මිනිස්සු. හොර බොරු වංචා ඇත්තෙම නෑ; ඒක නම් මට සහතිකවම කියන්න පුළුවන්” මෙම වඩේ සමිතියේ සාමාජිකත්වය ගැන එම අපූර්ව පොදු චරිත සහතිකයක් දීමට ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්නයන් එසේ ඉදිරිපත් වීම ද මෙම සටහනට ගොනු කර ගත යුතු යැයි මට සිතේ. “ගල්ගමුව ටවුන් එකට පිටතින් එන මිනිස්සු එක එක ක්‍රමවලින් මිනිස්සු ගසා කනවා. සමහර බස්වලට නැඟලා එක එක කාඩ් වගේ දේවල් බෙදලා මිනිස්සුන්ගෙන් බලහත්කාරයෙන් සල්ලි ඉල්ලනවා. ඒත් ඔය වඩේ විකුණන මිනිස්සුන් ගෙන් ඒ කිසිම දේකට ඉඩක් නෑ. අනික ටවුමේ මොකක් හරි නීති විරෝධී වැඩක් අපරාධයක් වුණත් පුළුවන් තරම් ඉක්මනට පොලිසියට දන්වන්න ඔය මිනිස්සු පොඩ්ඩක් වත් පැකිලෙන්නේ නෑ. ඒ වගේම වඩේ දාලා දීපු කවරයක්, හිස් ප්ලාස්ටික් බෝතලයක් වගේ දෙයක් බිම වැටිලා තියනවා දැක්ක හැටිය ඔය මිනිස්සු අනිවාර්යෙන් ඒක ළඟම තියන කසළ රඳවනයට දානවාමයි” ඔහු කීය.
“හැබැයි මෙහෙම දෙයක් නම් තියනවා; ඔය වඩේ සමිතියේ නිලධාරීන් තමන්ගේ සමිතියේ අනික් නිලධාරීන් ගේ නම් නියම නම් වත් දන්නේ නෑනේ; ඒකත් මගේ හිතට තදින්ම වැදුණා” අවසානයේ මම සිනාසෙමින් කීවෙමි.
“නිලධාරීන්ගේ නියම නම් දැන ගෙන නිකම් ඉන්න සමිති සමාගම් කාරයන්ට වඩා නිලධාරීන් ගේ නියම නම් නොදැන ඔහොම හරි වැඩක් කරන ඔය වඩේ සමිති කාරයෝ හොඳ නැද්ද? කියන්නකෝ” හිටපු ගල්ගමු ප්‍රාදේශීය සභා සභාපතිවරයා එසේ පවසත්ම මම ලියමින් සිටි පෑන කොපුවහි ලා පෑන ද හනික කමිස සාක්කුවේ බහා ගතිමි.
තිලක් සේනාසිංහ
ඡායාරූප – චතුරංග නිම්සිරි හේරත්
( 2023 ජූනි 18 දිවයින ඉරිදා සංග්‍රහය)