රටට වසන් කළ යුග දනවි ගිවිසුම අපි අහලා වත් නැති විදිහේ අස්වාභාවික එකක්

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට අයත්, නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට අදාළව ඇති කරගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය හා මහජන විශ්වාසය රැකගැනීම සඳහා වහාම රටට හෙළිදරව් කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිවේදනයක් මඟින් කියා සිටියි එම සම්පූර්ණ නිවේදනය මෙලෙසිනි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට අයත්, නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට අදාළව ඇති කරගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය හා මහජන විශ්වාසය රැකගැනීම සඳහා වහාම රටට හෙළිදරව් කළ යුතුය.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, ආයතන ගණනාවක් ද ඇතුළු කෙලවරපිටිය බලාගාරය විදේශීය සමාගමකට අළෙවි කිරීමට අදාළ ව ඇති කරගෙන ඇතැයි කියන ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද හෙළිදරව්ව පිළිබඳව ජනතාව අතර විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක වරයා විසින් එම හෙළිදරව්ව සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ය. එබැවින්, ඒ ඉතා වගකීමකින් යුතුව සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි.

කැබිනට් පත්‍රිකාව මගින් ඇමරිකාවේ නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට පැවරීම සඳහා යෝජනා කළ ද වාර්තා වී ඇති පරිදි ගිවිසුම අත්සන් කර ඇත්තේ එන්.එෆ්.ඊ. ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් නමැති සමාගම මගිනි. මෙම සමාගම නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට සම්පූර්ණයෙන් අයිති සමාගමක්ද (Subsidiary)නැතහොත් හවුල් සමාගමක් ද (Joint venture) යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

ගිවිසුම 13 (1) වගන්තියේ සඳහන් කර ඇති පරිදි අවුරුදු දෙකක් යන තෙක් දෙපාර්ශවය අතර එකඟත්වයක් නොමැති ව රටට හෝ ජනතාවට ගිවිසුමේ සඳහන් විස්තර ප්‍රකාශයට පත් නොකිරීමට එකඟ වී තිබීම විශ්වාස කළ නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නිතරම හඬ නගන “සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය” ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් තුළ මෙවැනි අස්වාභාවික ගිවිසුම් ගැන අසා නැත.

ඒ අනුව ශ්‍රී ලංකා රජය සතු වටිනා හා වැදගත් දේපළ වෙනත් පාර්ශ්වයකට අළෙවි කිරීමට හෝ පැවරීමකට අත්සන් කරන ලද ගිවිසුමක අන්තර්ගතය පිළිබඳව සලකා බැලීමට නම් ප්‍රථමයෙන්ම එය පාර්ලිමේන්තුවට හා ජනතාවට හෙළිදරව් කළ යුතුව තිබේ.

එසේම කිරීමට රජය මේ දක්වාම අපොහොසත් වීම හෝ චේතනාන්විතව මඟ හැර සිටීම ජනතාව කෙරෙහි වගකීමක් ඇති කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් විසින් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි.

රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා ඉහළම ආයතනය ලෙස හා මුදල් පාලනය භාරව සිටින ආයතනය වන පාර්ලිමේන්තුවට පවා එවැනි ගිවිසුමක් හෙළිදරව් නොකිරීම මගින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය බලවත් ලෙස හෑල්ලුකර තිබේ.

ඒ අතිශයින්ම බරපතළ කරුණකි. පාර්ලිමේන්තුව බරපතළ ලෙස හෑල්ලුකිරීමකි. ජනතාවට අවමන් කරමින් සිදු කරන ලද පිටුපා යෑමකි.

පාර්ලිමේන්තුවේ සියලුම මහජන නියෝජිතයන් මෙන් ම රටේ සමස්ත ජනතාවද මේ පිළිබඳව ඉතාමත්ම බැරෑරුම් ලෙස සලකන බව වාර්තා වේ.

එබැවින්, රජය නොපමාවම මේ පිළිබඳව රටටත්, ජනතාවටත් නොවළහා කරුණු හෙළිදරව් කළ යුතුව ඇති බව අප සංවිධානය අවධාරණයෙන් යුතුව සඳහන් කරන්නෙමු.

දේශබන්ධු කරු ජයසූරිය, සභාපති, සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය

එතෙර - මෙතෙර