මේ වන විට දිනෙන් දින ඉහළ නැංවෙන ජීවන වියදම හමුවේ ජන ජීවිතය බරපතල ලෙස අස්ථාවර වෙමින් තිබේ.මෙවන් පසුබිමක් යටතේ රට තුළ යම් දේශපාලනමය අස්ථාවර බවක් ද හට ගෙන තිබේ.ඒ අතර ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයක් හා ජනාධිපතිවරණයක් හමුවේ රටේ පාලන බලය කවර දෙසකට යොමු වේද? යන අවිනිශ්චිතතාව ද ජන හදවත් තුළ මෝදු වෙමින් පවතී.මෙබඳු අවිනිශ්චිතතාවයන් හමුවේ ඉකුත් කාලයේ රටේ අනාගතය සම්බන්ධයෙන් ජනතාව ජ්‍යොතිර්වේදය කෙරෙහි බලාපොරොත්තු තැබූ බව ප්‍රසිද්ධ රහසකි.ඒ අනුව මාධ්‍ය විසින් ද එවැනි දේ සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පැවසිය හැකි බව පවසන ඊනියා ජ්‍යොතිර්වේදීන් පිරිසක් ජන කරලියට නංවන ලදී.එහි ප්‍රතිඵලය වූයේ මාධ්‍ය තුළ ජ්‍යොතිර්වේදය නම් ගැඹුරු විෂය පථය මුල් කොට සැමුවෙල්,ඇනස්ලි,බර්ටි රඟපාන”විනෝද සමය”ක් නිර්මාණය වීම ය.එමෙන්ම එම විනෝද සමය නිමාවේ ඊට එක් වූ ඊනියා ජ්‍යොතිර්වේදීන්ට ද යන එන මං පවා අහිමි වීම ය.
අප රටේ අනාගතය සම්බන්ධයෙන් ජ්‍යොතිර්වේදයට අනුව නිශ්චිත යමක් කිව නොහැකිද? යන පැනය අදටත් අප වෙත ද යොමු නොවන්නේ නොවේ.ඒ සම්බන්ධයෙන් මා සැමට දෙන එක්තරා පොදු පිළිතුරක් තිබේ. එනම් අනාගතයේ සිදුවන දෙයක් සම්බන්ධයෙන් සියයට සියයක්ම නිවැරදි අනාවැකි පැවසිය හැකි ශාස්ත්‍රයක් මේ ලෝකයේම නොමැති බවයි. අනාගතය සම්බන්ධ ඉඟි, හෝඩුවාවන්, අනාවැකි පැවසිය හැකි ඉපැරණි විද්‍යා ශාස්ත්‍ර ලොව බොහෝ පැවතිණ.නූතන විද්‍යා තාක්ෂණික විප්ලවයක් සමඟ මිනිසාගේ බුද්ධිය නව දිශාවකට,නව මානයකට නතු වීමෙන් අද වන විට ඒ පැරණි විද්‍යා ශාස්ත්‍ර බොහොමයක් අභාවයට ගොසිනි. උල්කාපාත දික්දාහාදිභූත විකෘතීත් පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා නම් උත්පාත ශාස්ත්‍රයක් පිළිබඳව ද මූසිකච්ඡින්න මීයන් කැපීම ආදියෙහි වැඩ අවැඩ දැනගන්නා නිමිති මූසිකච්ඡින්න නම් ශාස්ත්‍රයක් පිළිබඳව ද, ස්ත්‍රී පුරුෂයන්ගේ අඞ්ග ලක්ෂණ බලා ජීවිතය පිළිබඳ තොරතුරු පවසන ලක්ඛණ නම් ශාස්ත්‍රයක් පිළිබඳව ද බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙයි.පුද්ගලයාගේ පරම විමුක්තිය හෙවත් නිර්වාණයට ඉවහල් නොවන නිසා මේවා හැඳින්වෙනුයේ තිරස්චීන විද්‍යා ලෙසිනි.එහෙත් මෙම තිරස්චීන යන්නෙහි අදහස ආර්ය මාර්ගය දෙසට හෙවත් සිරස් අතට නොව තිරස් අතට විහිද ගන්නා විද්‍යා ශාස්ත්‍ර නිසා ය.එබැවින් මෙම තිරස්චීන යන්න “තිරිසන්” ලෙසින් සිංහලයට පරිවර්තනය කිරීම බරපතල වරදකි.එමෙන්ම අතීතයේ සිට පැවැත එන්නා වූ අනාවැකි කීමේ ශාස්ත්‍රයන් මඟින් මිනිසාට පරම විමුක්තිය සළසා ගත නොහැකි බව බුද්ධ දේශනාව ය.
ඊට හේතුව එසේ පැවසීම ලෝකයේ පවත්නා පොදු නියාම ධර්ම උල්ලංඝනය කරන්නක් බැවිනි. ඒ සම්බන්ධයෙන් බුදු දහමෙහි ‘ඉධ පච්චයතා’ හෙවත් “පවත්නා තත්වය අනුව” යනුවෙන් විස්තර කෙරෙන අතර ලොව සිදුවන සෑම දෙයක්ම ඉතා අනපේක්ෂිත ලෙස විවිධ විෂම විපර්යාසවලට ලක් විය හැක. ‘සිතූ දේ නොම වේ-නොසිතූ දේම වේ’ යනුවෙන් ප්‍රසිද්ධ කියමන ද ඒ අනුව භාවිතයට ගැනුණකි.පාසල් දරුවන් පවා දන්නා අන්දමට උතු,බීජ, කම්ම, ධම්ම, චිත්ත යන නියාමයන් මත ලෝකය පවතින බවට බුදු දහමේ එන පරම සත්‍යය අතික්‍රමණය කිරීමට ලොව කිසිදු ගුප්ත විද්‍යා ශාස්ත්රයකට නොහැකි බව ඒ අනුව ඒකාන්ත ලෙසම කිව හැක.එමෙන්ම අප එවැනි පිළිතුරක් දුන් සැණින් ජ්‍යොතිෂ කටයුතු සඳහා අප වෙත පැමිණෙන්නවුන් නගන ඊළඟ පැනය නම් එසේ නම් ජන මාධ්‍යවලින් අනාවැකි පළ කරන අසවල් අසවල් ජ්‍යොතිර්වේදියා ඒවා ඒකාන්තයෙන්ම සිදුවන බවත් කෙසවත් නොවරදින බවත් දිවුරා සපථ කරමින් අනාවැකි පළ කරන්නේ කෙසේද? යන්නය.
එහෙත්, එම ජ්‍යොතිර්වේදීන් කවර නම් ඉන්ද්‍රජාලික ක්‍රම පදනම් කර ගනිමින් එසේ පසන්නේ ද යන්න නොදන්නා බවක් පවසන මම අපේ රට අතිශය අර්බුදකාරී තත්වයකට පත්ව ඇති වර්තමානයේ අප රටේ අනාගතය සම්බන්ධයෙන් ජනමාධ්‍ය තුළින් තව දුරටත් එවැනි නියත ප්‍රකාශ නිකුත් වීම මත ඒ ජ්‍යොතිර්වේදීන්ගේ ප්‍රකාශවල ’ප්‍රමිතිය’වටහා ගන්නා ලෙස පමණක් ඔවුනට පවසා මම නිහඬ වෙමි.එමෙන්ම ඔවුන්ගේ එම අවිචාරවත් ක්‍රියාදාමයන් නිසා මෙරට ජ්‍යොතිර්වේදයට සිදු වූ හානිය ද සුළුපටු නොවේ. අප සමාජය තුළ ජ්‍යොතිර්වේදය මෙලෙස “වල් බිහිවීම”නිසා සමාජය ගැන කලකිරී ජ්‍යොතිර්වේදය සදහටම අත හැර දැමූ ජ්‍යොතිර්වේදීන් බොහොමයකි.මෙය මෑතක සිට බරපතල අයුරින් සිදුවන උගතුන් ගේ රට හැර යාමට සමාන සංසිද්ධියකි.
ජ්‍යොතිර්වේදය මගින් පැවසෙන අනාවැකි සියයට සියයක්ම සත්‍ය නොවන්නේ නම් ඒවා දැන ගැනීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් දැයි ඊළඟට අප වෙතින් විමසන්නෝ ද සිටිති.එහෙත් මේ සියයට සීයේ කතාව හුදෙක් පදනම් විරහිත තකර්යකි. අප කිසියම් අසනීපයකට ප්‍රතිකාර පිණිස කවර හෝ වෛද්‍යවරයකු වෙතට පිවිසෙනුයේ ඒ රෝගය සුව කර ගැනීමේ අරමුණින් මිස ඒ රෝගය සියයට සියයක්ම සුව වන බවට ඇති කරගත් පරම විශ්වාසයකින් නොවේ. යමකු එසේ පරම විශ්වාසයකින් යුතුව රෝහල් ගත වූව ද එය ඉටුකිරීමට වෛද්‍ය ශාස්ත්‍රයට නොහැකි වන අවස්ථා කොතෙකුත් තිබේ. අප රටේ සෑම රෝහලකම මෘත ශරීරාගාර තනා ඇත්තේ එබැවිනි.නමුත් රෝහල් වල මෘත ශරීරාගාර තනා තිබීම මත කිසිවකුත් රෝහල් ගත වීමෙන් වැලකී නොසිටිති.
අද අප රටේ සුලබව දක්නට ලැබෙන වාහනය යතුරු පැදියයි. අද යතුරු පැදියක් පදින සෑම කෙනෙකුම ආරක්ෂිත හිස් වැසුමක් හෙවත් හෙල්මට් එකක් පැළඳීමේ නීතියක් ද පනවා තිබේ. නමුදු අප විශ්වාස කරන අන්දමට අද අප රටේ බොහෝ දෙනකු යතුරු පැදිවල ගමන් කිරීමේදී හෙල්මට් භාවිත කරනුයේ හුදෙක් නීතිය ආරක්ෂා කිරීම පිණිසම නොවේ. එම යතුරුපැදියේ යන විට සිදුවන අනතුරු වලින් හිසට ඇතිවිය හැකි මාරාන්තික තුවාල වලින් හිස ආරක්ෂා කර ගැනීමට ය. එමෙන්ම මේ වන විට රට පුරා සිදුවන යතුරුපැදි අනතුරු වලින් සිදුවන මරණ සංඛ්‍යාව අදට වඩා කිහිප ගුණයකින් ඉහල නැංවෙනු ඇත.ඒ අනුව අපට කිව හැක්කේ ජ්‍යොතිර්වේදය යනු ඉර සඳ මෙන් නොවරදින අනාවැකි කිව හැකි ශාස්ත්‍රයක් බවට වරභාම්හිර, බෘහස්පති, පරාසර ඇතුළු කිසිදු සෘෂිවරයකුගේ සිද්ධාන්ත සංග්රහයක සඳහන් නොවන බවය. ඒ පිළිබඳ දෙවනුව සඳහන් කළ හැකි කරුණු නම් ජ්‍යොතිර්වේදය මගින් පැවසෙන අනාවැකි සියයට සියයක්ම සත්‍ය නොවුණ ද තම තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් ජ්‍යොතිර්වේදයේ පිහිට පැතීමෙන් යහපතක් මිස අයහපතක් සිදු නොවන බවය.එහෙත්, එය ද මධ්‍යස්ථ ස්ථාවරයක සිට කළ යුත්තකි.
හේම ශ්‍රී අමරසිංහ