තමන් හමුවේ එළැඹෙන කවර හෝ අවිනිශ්චිතතාවන් සම්බන්ධයෙන් යථාර්ථවාදී පුරෝකථන අනාවැකි මගින් අවිනිශ්චිතතාවන් දුරු කර ගැනීම ප්‍රමාණවත් නොවන බව හැඟී ගිය හොත් ගුප්තවාදී විසඳුම් සෙවීම පොදු මානවීය ලක්ෂණයකි. සෑම මානව සමාජයකම අනේක විධ ගුප්ත ශාස්ත්‍රයන් නොනැසී පවතිනුයේ ඒ මානවීය අවශ්‍යතා සංතෘප්ත කිරීම වෙනුවෙනි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය ජන සමාජය වැඩිපුරම යොමු වන ගුප්ත ශාස්ත්‍රය වනුයේ ජ්යොතිර්වේදයයි.
නමුදු ඉහත සඳහන් නියාමය අනුව වර්තමානයේ එළැඹී ඇති අනාගත සමාජ,ආර්ථික,දේශපාලනික අවිනිශ්චිතතාව ඔස්සේ වුව අප ජන සමාජය ජ්‍යොතිර්වේදය සම්බන්ධයෙන් පළ කරන උනන්දුවේ පැහැදිලි පසුබෑමක් පෙන්නුම් කෙරෙයි. අප ඒ නිගමනයට පිවිසෙනුයේ වර්තමාන ජනමාධ්‍ය මගින් ඉදිරි මාස කිහිපය තුළ අප රටට බලපාන ග්‍රහ චාරයන් ඔස්සේ පැවසෙන ජ්‍යොතිෂ අනාවැකි පසුගිය කාලයට සාපේක්ෂව බෙහෙවින් අව ප්‍රමාණ වීම මුල් කර ගනිමිනි. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් ගත වූ දශක කිහිපය තුළ වේගවත් ප්‍රවර්ධනයකට ලක් වූ ජ්‍යොතිර්වේදී අනාවැකි සම්බන්ධ රූපවාහිනී වැඩසටහන් සහ පුවත්පත් ලිපි අද වන විට ශීඝ්‍ර පසුබෑමකට ලක්ව තිබේ. ඉන් පැහැදිලි වනුයේ එවන් වැඩසටහන් කෙරෙහි පවතින ජනතා ඉල්ලුම අවප්‍රමාණ වීම මුල් කොට එම වැඩසටහන් සහ පුවත්පත් ලිපි සීමා කිරීමට එම රූපවාහිනී සහ පුවත්පත් ආයතන කටයුතු කොට ඇති බව ය.
ගත වූ දශක කිහිපය තුළ ජනමාධ්‍ය තුළින් දක්නට ලැබුණු මෙම ජ්‍යොතිර්වේදී උන්නතිය මුල් කොට සමාජය හමුවේ විශේෂයෙන් කැපී පෙනුණු ජ්‍යොතිර්වේදී පැළැන්තියක් ද බිහි විය. ජනමාධ්‍ය මගින් අත්පත් කර ගත් ජනප්‍රියතාව සහ කීර්තිය කොතෙක් ද යත් ඔවුන් ‘තාරුකා’ ගණයට වැටෙන මට්ටම තෙක් ඔවුන්ගේ ජනප්‍රියතාව ඉහළ නැංවිණි. මෙම තාරුකා ගණයේ ජ්‍යොතිර්වේදීන් එම මට්ටමට පැමිණෙන ලද්දේ රියැලිටි රූපවාහිනී වැඩසටහන්වල දී මෙන් තවත් තරගකරුවන් සිය ගණනක් අබිබවමිනි. ඒ සඳහා ඔවුන්ගේ චතුර කතා විලාසය, අභිනය හෙවත් අංග චලනය සේම කරුණු ඉදිරිපත් කිරීමේ සුවිශේෂි විලාශයන් ද ඉවහල් වූ බව පෙනෙයි. නොඑසේ නම් ඔවුන්ගේ එම ඉදිරිපත් කිරීම ප්‍රාසාංගික වූ නිසා ය. වඩාත් පැහැදිලි ලෙස කිවහොත් ඉහත සඳහන් හැකියාවන් උපයෝගි කර ගත් ඔව්හු තමන් පවසන කරුණු කුමක් වුව අසන්නන්ගේ, නරඹන්නන්ගේ හෝ කියවන්නන්ගේ හදවත් පත්ලටම කාවැද්දීමට ඔව්හු සමත් වූහ. මෙය ප්‍රාසාංගික කලාව සම්බන්ධ වැදගත් අංගයකි.එමෙන්ම සිද්ධාන්තමය ජ්‍යොතිර්වේදයේ හතර මායිමේ වත් නොමැති අයුරින් අති සියුම් අනාගත සංසිද්ධීන් ජ්‍යොතිර්වේදය මඟින් අකුරටම කිව හැකිය යන අශාස්ත්‍රීය මතය මොව්හු තරඟකාරී මට්ටමින් සමාජ පුරා වපුරවන්නට වූහ.
ස්වභාවයෙන්ම මොණරා සුන්දර පක්ෂියෙකි. ඌ පිල් විදහා රඟන විට එය බලා සිටීමට ඕනෑම අයකු තුළ රුචියක් පුබුදුවයි. එම රැඟුමෙහි සුන්දරත්වයක් සේම යම් අභිමානවත් බවක් ද ගැබ්ව තිබේ. නමුදු ඒ මොණර රැඟුම ඉදිරිපස සිට බලන්නකු හට පමණි. යම් හෙයකින් යමකුට ඒ මොනර රැඟුම මොණරාගේ පිටුපස සිට දර්ශනය වුවහොත් එහි කිසිදු අලංකාරයක් දැකිය නොහැක. එමෙන්ම මොණරා පිල් විදහා ගැනීමට දරන උත්සාහයේ දී උගේ අධෝමුඛය නිරාවරණය වීම මත එහි යම් පිළිකුල් සහගත බවක් ද තිබෙනු දක්නට පුළුවන. මා පසුගිය කාලයේ ජනමාධ්‍යවලින් සමාජ කරළියට පැමිණි ප්‍රාසාංගික ජ්‍යොතිර්වේදී තාරුකාවන් සමාජ ගත කළ ප්‍රකාශයන් එම මොණර නැටුමකට උපමා කරනුයේ ඒ සම්බන්ධ හේතු කාරණා කිහිපයක් පදනම් කර ගනිමිනි.
ජ්‍යොතිෂය යනු නව ග්‍රහයන්ගේ ක්‍රියාකාරිත්වය මත පදනම් වන ශාස්ත්‍රයක් බව අපි සැවොම දනිමු. වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත භාරතීය සහ බටහිර ආසියානු සිද්ධාන්ත රැසක් මත පදනම් වී මේ වන විට අප හමුවට පැමිණ ඇති පෙරදිග හෙවත් නිරයන ජ්‍යොතිර්වේදය සම්බන්ධ ඉතා ප්‍රබල වැදගත් ආචාර ධර්මීය පසුබිමක් ද තිබේ. වරහාමිහිර, පරාශර, බෘහස්පති ආදී පැරණි ජ්‍යොතිර්වේදී සිද්ධාන්තකරුවන් පොදුවේ පෙන්වා දී ඇති අන්දමට ජ්‍යොතිර්වේදය හුදු නියතයක් වශයෙන් ප්‍රකාශ කිරීම ආචාර විරෝධී කටයුත්තකි.
නිදසුනක් ලෙස වයස අවුරුදු පනහේ දී මා මිය යන බවක් පෙන්නුම් කරන මූලික ග්‍රහ පිහිටීම් මගේ ජන්ම පත්‍රයෙන් පෙන්නුම් කෙරෙන විටෙක යම් ජ්‍යොතිර්වේදියකුට එය පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වුව ද එය හෙළි නොකිරීමේ ආචාර ධර්මීය වගකීමක් ඒ ජ්‍යොතිර්වේදියා වෙත ඒකාන්ත වශයෙන්ම පැවරෙයි. ඒ එසේ පෙන්නුම් කෙරෙන ග්‍රහචාරයන් යළි යළිත් පරීක්ෂාවට ලක් කිරීමේ දී එම පලාපලය කෙමෙන් විචල්‍ය වීම සහ අවසානයේ ශුන්‍ය වීමේ පවා අවකාශයක් ජ්‍යොතිර්වේදය තුළින්ම පෙන්නුම් කෙරෙන බැවිනි. ඕනෑම යහපතක් තුළින් අයහපතකුත්, ඕනෑම අයහපතක් තුළින් යහපතකුත් ඉස්මතු කර ගැනීමේ හැකියාව ජ්‍යොතිෂය තුළ පවතින බව පැරණි ජ්‍යොතිර්වේදී පඬුවන් අතර පැවැති පොදු එකඟතාවකි.
මෙම තත්ත්වය ශාස්ත්‍රීය වශයෙන් ඉතා ගැඹුරින් හදාරා ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය දර්ශන අංශයේ මහාචාර්ය දිවංගත ගුණපාල ධර්මසිරි සූරීන් ජ්‍යොතිර්වේදයේ දාර්ශනික පදනම ඉතා මැනවින් විග්රහ කළ පඬි රුවනකි. අප ජීවත් වන සමස්ත ලෝක ධාතුව තුළ පවත්නා ක්ෂණ භංගුරතාව සහ ශුන්‍යත්වය මෙම ජ්‍යොතිර්වේදය තුළින් කදිමට ප්‍රකට වන බව එතුමන් ශාස්ත්‍රීය වශයෙන් සනාථ කොට තිබේ. එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටිනුයේ ජ්‍යොතිර්වේදය තුළින් ප්‍රකාශ වන කවර හෝ කරුණක් සම්බන්ධයෙන් ගැඹුරින් ගැඹුරට විමසා බැලෙන විට එහි ප්‍රතිඵලය විෂම හෝ ශුන්‍ය වීම මත එය ලෝක ස්වභාවය කදිමට හුවා දැක්වෙන දාර්ශනික පදනමකින් යුතු ශාස්ත්‍රයක් ලෙස සැලකිය හැකි බව ය.
නමුදු පසුගිය කාලය තුළ ප්‍රාසාංගික ජ්‍යොතිර්වේදී තාරුකා වශයෙන් සමාජය හමුවට ඉදිරිපත් වූවන් මාධ්‍ය මගින් ඉදිරිපත් කළ ජ්‍යොතිෂමය කරුණු සහ ඒවායේ සෛද්ධාන්තික අගය ශුන්‍ය මට්ටමක පැවැතීම මත පසුගිය කාලය තුළ ඔවුන් පැවසූ අනාවැකි බොහොමයක් නිසරු ප්‍රලාප මට්ටමින් ඉහලට නොයන බව ජනතාවට ඒත්තු ගොස් තිබේ. තමන් විසින් පවසන කරුණු කෙසේවත් නොවරදින බවට වහසි බස් දොඩන නරුම ජ්‍යොතිෂ ජනප්‍රිය සංස්කෘතියක් බිහි වූ අතර මුලින් ඒ කෙරෙහි යොමුව සිටි ජනතාව පසුව ඒ ව්‍යාජ ආටෝපකාරී ජ්‍යොතිෂය සංස්කෘතික උපහාසයෙන් හා පිළිකුලෙන් බැහැර කිරීමට මේ වන විට පෙළඹී තිබේ.
එමෙන්ම එම නරුම ජ්‍යොතිර්වේදී රැල්ල මුල් කොට අප රටේ සාම්ප්‍රදායිකව පැවැති සම්භාව්‍ය ජ්‍යොතිර්වේදී සම්ප්‍රදායත් යම් පසුබෑමකට ලක්ව තිබූ බව ද නොරහසකි. නමුදු පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් ඉස්මතු වූ ඒ ප්‍රාසාංගික ජ්‍යොතිර්වේදී තාරුකා මේ වන විට අඳුරේ ගිලී යාම මුල්කොට මානව අවශ්‍යතා වෙනුවෙන් කැප වූ සෛද්ධාන්තික පදනමකින් යුතු සැබෑ ජ්‍යොතිෂ සම්ප්රදාය යළි ස්ථාපිත කරවීම ඒ හා සම්බන්ධ ප්රවීණතමයන්ගේ වගකීමක්ව තිබේ.මක් නිසා ද යත් අපගේ සමාජ, සංස්කෘතික සන්දර්භය තුළ ගුප්ත විශ්වාස වලින් තොර සමාජයීය පැවැත්මක් කෙසේ වත් අපේක්ෂා කළ නොහැකි බැවිනි.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර