රට මෙච්චර වැටිලා නම් විනෝද ගමන් මෙතරම් බහුල ඇයි?

රට පුරා මේ වන විට දැඩි ආර්ථික අර්බුදයක් පවතින බවට කතා බහ පවතී. එහෙත්, එය සත්‍යයක් ද යන ගැටළුව මතු වන්නේ වර්ෂ අවසානයේ ජනතාවගේ හැසිරීම දෙස බැලූ විට ය. නාගරික හා අර්ධ නාගරික පිරිසෙන් සැළකිය යුතු පිරිසක් වසර අවසානය ගත කිරීම සඳහා කොළඹින් පිටත ප්‍රදේශවල “ට්‍රිප්” ගොසින් ය. එනම් සංචාරයේ ගොසිනි.

අනුරාධපුර, පොළොන්නරුව, කතරගම, නුවරඑළිය ආදී සංචාරක කලාපවල අති විශාල පිරිසක් සංචාරයේ නිරත වී සිටිති. එසේම රෙදිපිළි වෙළෙද සැල්වල මෙන්ම වෙළෙඳ සංකීර්ණවල ද ජනතාව නැතුව පිරී ඉතිරි ගොසිනි.

මුදල් නැතිනම් මෙතරම් සෙනඟක් විනෝද ගමන් යන්නේ කෙසේ ද? වෙළෙදසැල්වලට ගොස් බඩුමළු උස්සාගෙන එන්නේ කෙසේද? යන පැනය අප රටේ බහුතරය තුළ මතු වේ.ඉකුත් සතියේ වන්ගෝල්ෆේස් වෙළෙඳ සංකිර්ණය ද එය ලංකාවේ එකක් ද ?නැති නම් වෙන රටක එකක් ද? යන්න සැක සිතෙන තරමට ජනාකීර්ණ වී තිබුණි.

තත්වය මෙසේ තිබියදී රජය නිර්මාණය කළ පොහොර අර්බුදය නිසා වෙනදා පරිදි වගා කටයුතු කර ගත නොහැකි ගොවීන් බොහෝ දෙනෙකු තමන්ට ජීවත් වීමට මඟක් නැතැයි දෑත් ළයේ හොවා ගෙන විලාප නඟති.අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු වෙළඳ පලේ ඇති භාණ්ඩ දරා ගත නොහැකි ලෙස ඉහළ ගොසිනි.

නිවෙස් තුළට මාරයා පවා කැඳවන ගෑස් පිපිරීම් තවම නිමා වී නැත.රජයේ නියාමනයක් නොමැති කම නිසා ජාවාරම් කාරයන්ට,හොරුන්ට කල දුටු කළ වල ඉහ හැනීමේ මනා ඉඩ කඩක් හිමි වී ඇත.

රජයේ ඉහළ තනතුරු වලට පත් කොට ඇති මේජර් ජනරාල්ලා යුද්ධයට මිස තමන්ට වෙනත් කාරියන් නොහැකි බව මනාව ප්‍රදර්ශනය කරමින් හිඳිති.මේජර් ජනරාල් ධුරයකට වඩා කනිටු ධුරයක් වන ලුතිනන් කර්නල් ධුරයක් දරමින් සිට යුද්ධයේ බිහිසුණුම අවදියේ දී තම බිරිඳගේ ඉල්ලීමක් මත යුද හමුදාවෙන් ඉල්ලා අස් වී ඇමරිකාවේ පදිංචියට ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ තම එම නොහැකියාව අතිශය සාර්ථක ලෙස ප්‍රදර්ශනය කොට අවසන් ය.

ඒ අනුව යුද සෙනවියන්ට යුදමය කටයුතු වලට වඩා වෙතත් යමක් නොහැකි බවත් යුද සෙනෙවියා පෙර ගමන් ගන්නා රට අසාර්ථක බවත් හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක කී කතාව පිරිසිදු ඇත්තක් වී තිබේ. මේ අතර දකුණු ආසියාවේ අඩු බර දරුවන් සිටින රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියට එමින් සිටියි.

නමුදු මේ රටේ ජනතාවට “බඩ ගැන නොසිතා රට ගැන සිතන්න”යන ඔවදන තම හැඳිවත් තිබියදීම දෙමින් රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මහජන මුදල් සහා කන පිරිස් තාමත් යහතින් වැජඹෙති.

අප රටේ තවත් පිරිසක් ට්‍රිප් යන්නේ ජොලි කරන්නේ මෙවන් පසු බිමක් තුළ ය.මෙම කාරියට දායක වූ අයකු සමාජ මාධ්‍යයක පළ කර තිබුණේ වන්ගෝල්ෆේස් ගියාට එතන කෑම බීමවල මිල ගණන් ඉහළ නිසා ගාලු මුවදොර පිටියට ගොස් නානාගේ පෙට්ටි කඩෙන් රොටියක් කා ප්ලේන්ටියක් බිව් බව ය.

වර්තමාන සමාජ පුරුෂාර්ථ තුළ ආටෝපයට මුල් තැනක් හිමි ව තිබේ.තම ජීවිතාභ්‍යන්තරය මොන තරම් කටුක දුෂ්කට වුවත් තමන්”ෆුල් ෆුන් එකේ”ජීවත් වන බව කියා පෑමට සමහරෙක් වෙර දරති.බොහෝ දෙනෙකු දුර බැහැර ප්‍රදේශ වලට ගොස් සංචාරය කළ බවට පින්තුර පළ කරන්නේ ද ඒ් වෙනුවෙන් විය හැකි ය.

තවත් පිරිසක් තමන් සමාජයේ ප්‍රභූන් යැයි පෙන්වා දීමට රන් ආභරණ උගස් තබා මුදල් ගෙන සංචාරය කරන අවස්ථා ද නැතුවාම නොවේ. කන්න නැතත් තමන් සුපිරි දිවි පෙවෙතක් ගත කරන බව පෙන්වන්නට ඔවුන් කැමති ය.

එදා තමන්ගේ ඒ නිසරු, ආටෝපකාරී කටයුතු අසල් වැසියන් පමණක් දැන ගත්ත ද අද වන විට ෆෙස්බුක් වැනි සමාජ මාධ්‍ය හේතුවෙන් තමන් දන්නා කියන යහළු මිත්‍රාදීන් සැමට දැන්විය හැකි ය. කෙසේ නමුත් මෙය කාලයක් තිස්සේ පුරුද්දක් ලෙස කරන පිරිසක් ද සිටිති.

ඔවුන් තමන්ගේ අමතර ධනය සංචාරයන් සදහා වෙන් කරති. ඒ්වා බොහෝ විට නීත්‍යානුකූලව උපයා ගත් ධනය ද නොවන බව පැහැදිලි ය.

ඒ මාදිලියේ බොහෝ දෙනෙක් නීති හා සදාචාර විරෝධී ක්‍රියාවන්ට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූවෝ වෙති. අද වන විට රට තුළ මේ වන විට පවතින්නේ දැඩි පීඩාකාරී වතාවරණයක් වුවද එය එසේ නොවේ යැයි සිතා කටයුතු කරන අය ද නැතුවාම නොවේ.

එම පිරිසට දැනෙන්නේ තව සුළු කාලයකින් රට නිවැරදි මාවතට ගමන් කරනු ඇතැයි කියා ය.

එසේ සිතමින් කන්න නැතත් බොන්න නැතත් ජොලියේ සිටිමු යැයි කියා යථාර්ථයෙන් පිට පැන සැබෑ ප්‍රශ්න වසන් කොට ආටෝපකාරී අරුමෝසම් ජීවිතයක් භුක්ති විදීමට උත්සාහ කරන්නෝ වෙති.

වාමවාදී දේශපාලන දෘෂ්ඨියට අනුව ඔවුන්ට කියන්නේ “ලුම්පන් වරු” කියාය.මෙම ලුම්පන් යන වචනයට හරියටම හරියන සිංහල වචනය කුමක් දැයි මම මගේ උගත් මිතුරකු ගෙන් ඇසුවෙමි.

එවිට ඔහු ගත් කටටම කීවේ “ගොබ්බ” කියා ය. විනෝද ගමනක් මඟින් යමකුගේ “ගොබ්බ කම” මනින්නට නොපුළුවන.එහෙත් සෙසු කල්ක්‍රියා ද සමඟ සසඳන විට එලෙස වර්ගීකරණය කිරීමට බැරිකමක් ද නැත.

කෙසේ හෝ අද පවතින මෙම ජනතා මානසික පීඩනය ඉදිරියටත් පල් වගුරක් සේ එක තැන රැඳී නොපවතිනු ඇත.

එය මහා ජල ප්‍රවාහයක් සේ පවුරු පදනම් බිඳ ඉදිරියට ගලා එනු ඇත.එය දේශපාලන නියාමයක් සේම සොබා දහමේ ද නියාමයකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර