රට සංවර්ධනය සඳහා වන සතුන් වනසා දැමීමේ යෝජනා සමාජයට වස කැවීමක් – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එදා මෙදා තුර අප රටේ දේශපාලනඥයන් ජනතාව හමුවේ වැඩිපුරම පවසන වචනය සංවර්ධනය වුව ද වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ සංවර්ධනය යන සංකල්පය පවා බරපතල අවභාවිතාවක් බවට පත්ව ඇති බවත් රට සංවර්ධනය කිරීම සඳහා වන සතුන් වනසා දැමීම වැනි යෝජනා සමාජයට වස කැවීම් බඳු හානිකර හා අනතුරුදායක බවත් මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පැවසීය. ඔහු මෙලෙස සඳහන් කළේ අලි මිනිස් ගැටුමට මනුසත් දම් වලින් සපිරි විසඳුමක් යන තේමාවෙන් යුතුව ගල්ගමුව, සෙනරත්ගම,පුලංචිය වැව අද්දර ගිමන් හල පාරිසරික උද්‍යානයේ ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම අහිංසා ස්මාරකය හෙවත් “ඇත් පිළිරුව” අබියස ඊයේ (5) පැවැති උත්සවයක විශේෂ ආරාධිත දේශනයේ දීය. එම “ඇත් පිළිරුව” වෙනුවෙන් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ගීත රචනය කොට ලසන්ත අබේපාල සංගීතවත් කරන ලදුව එම අහිංසා ස්මාරකය ඉදි කළ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබ සාධක සංවිධානයේ ව්‍යාපෘති සහ මෙහෙයුම් අධ්‍යක්ෂ හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ ඇතුළු පිරිස ගයන ඇත් පිළි රූ ගීතය එළි දැක්වීම ද මෙහි දී සිදු විය.එහි දී එම උත්සව සභාව ඇමතූ හිටපු මහාචාර්ය වරයා මෙසේ ද කීය. “අද වෙන කොට අලි මිනිස් ගැටුම කියන කාරණය ගැටුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන මාධ්‍යයටත් හොඳ අලෙවි නිමිත්තක් වෙලා, නමුත් අපේ සාම්ප්‍රදායික ගැමි සමාජය හා වන සතුන් අතර සංහිදියාවක් සහ සහජීවනයක් මිසක් මේ වගේ ප්‍රබලව ඉස්මතු වෙලා පෙනෙන ගැටුමක් තිබුණේ නැහැ.

වන සතුන් කෙරෙහි පවා සහනශීලී ආකල්ප දැරූ ගැමියන් තම තමන් ගේ හේන් කුඹුරු කරගෙන ගම්මානවල ජීවත් වුණා. අලි ඇතුන් ඇතුළු වන සතුන් ඒ අවට වන පෙත් වල ජීවත් වුණා. ඒ වගේම අස්වනු කැපුවට පස්සේ පුරන් වුණු හේන් කුඹුරු වලට අලි ඇතුන් වන සතුන් ඇතුලු වුණා. පහුගිය කාලේ වන අලි ගහනය වැඩියි.මිනිස් ගහනය අඩුයි.නමුත් ඒ කාලේ ඔය කියන ගැටුම් නැහැ. නමුත් අද මිනිස් ගහනය වැඩියි වන අලි ගහනය අඩුයි. ඒත්, අලි මිනිස් ගැටුමක් නිර්මාණය වෙලා. දේශපාලනඥයන් පතුරුවලා තියන මතය අනුව අද මාධ්‍ය වලින් පවා කියන්නේ වන අලි ඇතුන් ඇතුළු වන ජීවීන් ගම් වැදිලා ගොවීන් ගේ වගා බිම් විනාශ කරනවා කියලා. ඒකෙ යම් ඇත්තක් තියනවා.වර්තමාන තත්වය හා සම්බන්ධ දෘශ්‍යමාන සහ ආසන්න හේතුව ඒක තමයි. නමුත් ඇත්තෙන්ම සිද්ද වුණේ පහුගිය දශක කිහිපය තුළ එතෙක් වන සතුන්ගේ නිජබිම වුණු වන පෙත් මිනිස් ජනාවාස බවට පත් වීමයි. ඒකෙන් වන සතුන් ඔවුන් ගේ නිජබිම තුළම අනාථයන් බවට පත් වුණා.මේ වන සතුන් ගම් වැදීම කියන්නේ ඒකට. මේකට විසඳුම අලි ඇතුන් රක්ෂිත වශයෙන් මිනිසුන් නම් කරපු වන ගහණයන්ට පලවා හැරීම නොවෙයි.

වන අලින් ඇතුළු වන ජීවීන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නැත්නම් අපි යම් යම් වන පෙත්වල රක්ෂිත කියලා බෝඩ් ගැහුවට වැඩක් නෑ. මොකද වන සතුන්ට සාක්ෂරතාව නැහැනේ.ඒ වගේම රිලවුන් වැනි සතුන් මරා දැමීමට ජතතාව පෙළඹවීම මිනිස් සිත් සතන් තුළ කුරිරු ප්‍රචණ්ඩත්වය රෝපණය කිරීමක්.විශේෂයෙන් ඒක ළමා මනැස් වලට විෂ කැවීමක්. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් ස්වභාවික යුක්ති ධර්මය මත පිහිටා කටයුතු කළ යුතුයි.එවිට සැබෑ ආක්‍රමනිකයන් වන සතු නොව මිනිස් අපිම බව කාටත් තෙරුම් යාවි.

වන අලින් ඇතුළු වන ජීවීන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නැත්නම් අපි යම් යම් වන පෙත්වල රක්ෂිත කියලා බෝඩ් ගැහුවට වැඩක් නෑ. මොකද වන සතුන්ට සාක්ෂරතාව නැහැනේ.ඒ වගේම රිලවුන් වැනි සතුන් මරා දැමීමට ජතතාව පෙළඹවීම මිනිස් සිත් සතන් තුළ කුරිරු ප්‍රචණ්ඩත්වය රෝපණය කිරීමක්.විශේෂයෙන් ඒක ළමා මනැස් වලට විෂ කැවීමක්. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් ස්වභාවික යුක්ති ධර්මය මත පිහිටා කටයුතු කළ යුතුයි.එවිට සැබෑ ආක්‍රමනිකයන් වන සතු නොව මිනිස් අපිම බව කාටත් තෙරුම් යාවි.ඒ අනුව සැම විටකම මිනිසුන්ගේ වගේම වන සතුන් ගේ පැත්තෙනුත් කරුණු විමසලා මේකට මනුසත් දම් පෙරදැරි කර ගත් තිරසාර විසඳුමක් සොයා ගත යුතුයි. අන්න ඒ වගේ මනුසත් දම් කියන අත්තිවාරම මත විතරයි තිරසාර මානව සංවර්ධනය කියන මැදුර තනන්න පුළුවන්. එහෙම නැතුව පිරිහුණු සදාචාරය කියන බොල් අත්තිවාරම මත මේ සංවර්ධන මැදුර ඉදි කළොත් වැඩිකල් නොගිහින් ඒක කඩා බිඳ වැටිලා කුඩු පට්ටම් වෙනවා.ඒක අතිශය අනතුරුදායකයි. ඒ අනුව ඒ මනුසත්දම් පිරුණු තිරසාර සංවර්ධන මාවත ඔස්සේ මෙවැනි මානුෂවාදී සංකල්ප මුල් කොට ගත් ක්‍රියා මාර්ගයක් ගැනීම ගැන මීට සම්බන්ධ සියලු දෙනාටම අප ස්තුති වන්ත විය යුතුයි..

එහිදී මෙම අවස්ථාවට එක් වූ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ. විමලරත්න මහතා මෙසේ කීය.

“මේ ගල්ගමුව අවට ඇත් කුල දෙකක් සැරිසරන බවට විශ්වාසයක් අපේ කලින් පරම්පරාව දක්වාම තිබුණා. එකක් කහල්ල පල්ලේකැලේ පැත්තෙන් එන වටකුරු අලි ඇතුන් කුලය. අනික තබ්බෝව පැත්තෙන් එන දඬු හැඩයක් තියන අලි ඇත් කුලය. මේ වටකුරු අලි ඇත් පරපුර දහනක බණ්ඩාර දෙවියන් ගේ කියලයි අපේ අතීත ගැමියෝ කිව්වේ. නමුත් මේ කාරණා විද්‍යාත්මකව තහවුරු කරන්න බැරි නිසා නූතන පරපුර මේවට උපහාසයෙන් හිනා වෙනවා .සමහරු මටත් හිනාවෙලා තියනවා. නමුත් පහුගිය කාලය තුළ මේ පැත්තේ වැඩිපුරම ප්‍රචණ්ඩත්වයට නතු වෙලා තියෙන්නේ මේ දහනක බණ්ඩාර දෙවියන්ගේ වටකුරු අලි ඇතුන් බව ඉතාම පැහැදිලිව පේනවා. ඒ අලි ඇතුන්ට ආදරය කරුණාව දක්වන ගැමියන්ට දහනක බණ්ඩාර දෙවියන් ගේ පිහිට ලැබෙනවා කියලා ලොකු විශ්වාසයක් ඉස්සර මේ සමාජයේ තිබුණා. නමුත් අද ඒ ඇදහීම සම්පූර්ණයෙන් ගිලිහිලා ගිහින්.අද වන අලින්ට සිදුවන විනාශයට ඒකත් හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අද මේ ස්ථානයේ දී පැරණි ඒ දහනක බණ්ඩාර දේව කන්නලව්ව නැවත සමාජ ගත කිරීමත් ඉතාම වැදගත්. විද්‍යාව කියන්නේ අපේ ජීවිත වලට නොමඳ පිටිවහලක් ලැබෙන දෙයක්. ඒත් මේ ලෝකේ කිසිම කෙනෙකුට විද්‍යාත්මක ජීවිත ගත කරන්න බැහැ.යන්ත්‍ර සූත්‍ර වලට විතරයි එහෙම පැවැත්මක් තියෙන්නේ. මිනිස් ජීවිත වලට දර්ශනය,සංස්කෘතිය, සදාචාරය වගේ තව බොහෝ දේවල් අවශ්‍යයි. ඒ නව ගමනට මුල පුරන මේ උත්සවය ගල්ගමු ජනතාව ගේ මනුසත් දම් ඉහළ නැංවීමේ වැදගත් මෙහෙවරක් බවයි මගේ වැටහීම.

අපේ රටේ සත්ව අහිංසාව පිළිබඳ පුරෝගාමී ප්‍රතිමූර්තිය ‘අයිකොන්’ එක විදිහටත් මේක එක හෙලාම හඳුන්වන්න පුළුවන්. ඒ ඔස්සේ මේ සතුන් දෙදෙනා මුල් කර ගත් මේ සත්ව අහිංසා ස්මාරකයට අනාගතයේ බිහි වන මනුසත් දම් සපිරි සමාජය මගින් අදට වඩා විශාල වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපට සිතෙනවා.

මෙහි දී අදහස් දැක්වූ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානයේ ව්‍යාපෘති මෙහෙයුම් අධ්‍යක්ෂ හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ මහතා මෙසේ කීය. “ගල්ගමුව හා අවට බරපතල විදිහට අලින් ගේ ජීවිත විනාශ වෙන පසුබිමක අපි ඔවුන් ගැන ගැන නොබලා කොන්ක්‍රිට් වලින් අලි ඇතුන්ගේ මූර්ති නිර්මානය කරනවා කියලා සමහරෙක් කියන්න පුළුවන්. නමුත් මේ නිර්මාණය වැලි, සිමෙන්ති, කළුගල් ගොඩක් විතරක් නෙවෙයි.මේක දිගු කාලයක් මේ අවට ජීවත් වෙලා නොමනා මිනිස් ක්‍රියාකාරකම් හින්දා ඛේදනීය අකල්මරණ වලට ලක්වුණු සියඹලංගමුවේ ඇතා දළපූට්ටුවා කියන සද්දන්තයන් දෙදෙනාගේ සජීවී ප්‍රමාණයේ මූර්ති සහිත ස්මාරකයක් මේ ස්මාරකය නිර්මාණය කළෙත් මේ ගල්ගමුවේ සියඹලංගමුව ගමේම ගොවි පවුලක දරුවෙක් වුණු ජේ.රත්නායක මහතා. ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ චිත්‍ර හා මූර්ති කලා පශ්චාත් උපාධිධාරියෙක්. මේ නිර්මාණයේ දී ඔහු මේ සතුන් දෙදෙනා ගේ සැබෑ හැඩතල විතරක් නෙවෙයි අකාරුණික මිනිසුන් ගේ වෙඩි පහරවලින් මේ සතුන් දෙදෙනා ගේ සිරුරුවල තිබුණු මූනිස්සම් ලකුණු සියල්ල පවා ඒ ආකාරයට ම නිර්මාණය කරලා තියෙනවා. ඒ හින්දා මේ වර්තමානයේ මේ සද්දන්තයන්ට මුහුණ පෑමට සිද්ද වුණු ඛේදවාචකය අනාගතය හමුවේ කියා පාන නිර්මාණයක්.ඒ වගේම අපේ රටේ සත්ව අහිංසාව පිළිබඳ පුරෝගාමී ප්‍රතිමූර්තිය ‘අයිකොන්’ එක විදිහටත් මේක එක හෙලාම හඳුන්වන්න පුළුවන්. ඒ ඔස්සේ මේ සතුන් දෙදෙනා මුල් කර ගත් මේ සත්ව අහිංසා ස්මාරකයට අනාගතයේ බිහි වන මනුසත් දම් සපිරි සමාජය මගින් අදට වඩා විශාල වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපට සිතෙනවා.නමුත් ඒ සමාජය බිහි වීම සඳහා මංපෙත සැකසීම අද කාලයේ ජීවත් වන අපේ පරම යුතුකමක් හා වගකීමක් “. වන අලි ඇතුන්ට කරුණාව දක්වන්නවුන් හට දහනක බණ්ඩාර දිවියන් ගේ පිහිටාධාර හිමි වන බවට පැවැති ජන විශ්වාසය මත පදනම් වූ පුරාණ දහනක බණ්ඩාර දේව කන්නලව්ව මෙහි දී ඉදිරිපත් කරන ලද්දේ ප්‍රවීණ ජ්‍යෙතීර්වේදී හේම ශ්‍රී අමරසිංහයන් විසිනි. ඊට අමතරව මෙම වැඩසටහනට ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන එකමුතුව හා සීමාසහිත දිරිය වනිතා සංවර්ධන සේවා සමූපකාර සංගමය ඉදිරිපත් කරන “ගල්ගමුවේ දිරිය කතුන්ට ධන වරම්” නම් ග්‍රාමීය නිෂ්පාදන සඳහා දේශීය සහ විදේශීය වෙළඳ පලක් ලබා දීමේ අංගයක් ද ඇතුලත් කොට තිබිණ.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර