රත්‍රන් කන්ද අසබඩ මනස්කාන්ත තාපසාරාමය

අයර්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අකුරටම අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ කන්ද උඩරට පිහිටි අගනා මන්දිරයක් තිබේ.වැලිමඩ සිට හපුතලේ මාර්ගයේ කිලෝ මීටර් දෙකක් ක් පමණ ගොස් ග්ලැනර් වතුයාය දිගේ තවත් කිලෝ මීටරයක්  පමණ ගමන් කිරීමෙන් පසු හමුවන මෙය හැඳින්වෙනුයේ ඇඩිසන් බංගලාව  යනුවෙනි.

1929 වසරේ සිට ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති පදවිය හෙබ වූ බ්‍රිතාන්‍ය  ජාතික සර් තෝමස් විලියර්ස් විසින් රමණීය කඳු මුදුනක 1931 වර්ෂයේදී පමණ මෙම බංගලාව ඉදි කර තිබේ.

ඇඩිසම් යන නම ලැබී ඇත්තේ ඔහු එංගලන්තයේ උපන් ග්‍රාමයේ නම එය නිසා බව කියනු ලැබේ. මෙහි මුල් හිමි කරු සර් තෝමස් විලියර්ස් සාහිත්‍ය කලාව පරිසරය ආදී විෂයන් සම්බන්ධ මනා පරිචයක් තිබූ විද්වතෙකු බව ද පැවසෙයි.

 

ඔහු තම බංගලාව ආශ්‍රිතව ඇති අක්කර 15ක පමණ වපසරියක් තුළ  ගොවි පලක් ද පවත්වා ගෙන ගොස් ඇත්තේ අයර්ලන්ත වංශවතුන් ගේ සම්ප්‍රදායන් අනුව ය. එහි ඇපල් ,ස්ටෝබෙරි,පෙයාර්ස් ,පීච් වැනි පළතුරු බහුලව වගා කර ඇත.ඇඩිසම් බංගලාව සම්පූර්ණයෙන්ම කළු ගල් වලින් නිමවා තිබේ.මෙම මැදුර මහල් දෙකකින් යුක්ත වන අතර කාමර ගණන විසි පහකි.

සෑම කාමරයක් ම උනුසුම් කිරීමට ගිනි උදුන් සමන්විත වීම විශේෂත්වයකි .

1948 වර්ෂයේදී තෝමස් විලියස් විසින් එවක දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් වුණු විමලා විජේවර්ධන මහත්මියට විකුණන ලැබූ අතර ඇය 1949 දී ක්‍රිස්තියානි ආගමික සංවිධානයකට විකුණා දැම්මාය තෝමස් විලියර්ස් පරම්පරාවට අයත් ඉපැරැණි ගෘහ භාණ්ඩ රැසක් ඇඩිසම් බංගලාව තුළ අදටත් දක්නට ලැබේ.

එමෙන්ම විවිධ සිතුවම් ද මෙහිදී දැකගත හැකි ය .සර් තෝමස් විලියර්ස් මහතා භාවිත කළ පොත් පත් ඇතුලත් රාක්ක කිහිපයකින් ද බංගලාව සමන්විතය.

බංගලාවේ වහල සම්පූර්ණයෙන්ම නිමවා ඇත්තේ බුරුම රටින් ගෙනා තේක්ක ලීයෙන් වීම ද ඇඩිසම් බංගලාවේ විශේෂත්වයකි.

වර්තමානයේ මෙය ශාන්ත බෙනඩික්ට් තාපසාරාමය නමින් හඳුන්වන අතර කතෝලික පූජක මඩුල්ලක් විසින් මෙය මනාව පාලනය කරනු ලැබේ. එමෙන්ම මෙම මැදුර ආශ්‍රිත  පළතුරු භාවිතයෙන් නැවුම් ජෑම්,කෝඩියල් වැනි නිෂ්පාදන ප්‍රදේශවාසීන් ගේ දායකත්වය ඇතිව නිපදවීම ද විශේෂත්වයකි.

එහි දේවස්ථානයේ ශාන්ත සිල්වෙස්ටර් මුණි තුමන්ගේ අස්ථි  ධාතුවක් තැන් පත් කොට ඇතැයි කියනු ලැබේ. අතීතයේ රත්‍රන් නිධියක් තිබූ බවට ජන කතා පැවති රන් කන්ද යන අරුත දෙන තංගමලේ කඳු වැටිය හා රක්ෂිතය ආසන්නයේ පිහිටි මෙම අපූරු මැදුරේ දවසක් දෙකක් නවාතැන් ගැනීමේ සීමිත අවස්ථාවක් ඔබ ද උදා කර ගත හැකිය.

නමුත් ඒ සඳහා ඔබ පදිංචි  ප්‍රදේශයේ මීසම් පාලක පියතුමාගේ නිර්දේශයක් එම මැදුරේ පාලනාධිකාරිය වෙත යොමු කළ යුතු ව තිබේ.

ඒ අද වන විට තාපසාරාමයක් වන එහි ගෞරවය රැකීම කෙරෙහි එහි පාලනාධිකාරිය දැඩිව සැළකිලිමත් වන බැවිනි.

සටහන සහ ඡායාරූප : සහන් සංකල්ප සිල්වා

හරිත දනව්ව