තමන්ගේම ගෝත්‍රිකයන් මරාගෙන කන සමහර මනුෂ්‍ය ගෝත්‍ර ලොව සිටිනවා. තම වර්ගයාගේම මාංශ අනුභව කිරීම හඳුන්වන්නේ cannibalism ලෙසයි. මේ තත්ත්වය සමහර සතුන් අතරේද දැකිය හැකියි. ලිංගික එක්වීම්වලින් පසුව සමහර ගැහැනු සතුන් පිරිමි සතාව මරාගෙන කනවා. මෙය Sexual Cannibalism ලෙස හැඳින්වෙනවා.
ඔබ ඇතැම්විට අහලා ඇති වන්දා යන සතා පිළිබඳව. Praying Mantis නම් මෙම කෘමීන් විශේෂයෙහි ඉදි කකුල් දෙක නැවී ස්වභාවයෙන්ම සැකසී තිබෙන්නේ වැඳගෙන ඉන්න ආකාරයට. ඒ නිසා තමයි Praying Mantis ලෙසින් ඔවුන්ව හඳුන්වන්නේ. ඔබට වන්දාගේ ඡායාරූප බැලූවිට මෙය හොඳින්ම වැටහේවි.
කොළපාට, අළු පාට, පඬු පාට වශයෙන් වර්ණ කිහිපයකින් වන්දා දැකිය හැකියි. වන්දා ලිංගික එක්වීම්වලින් පසුව තම සහකරු මරාගෙන කන සතෙක්.
අපි වන්දාගේ එම හැසිරීම පිළිබඳව මඳක් විමසා බලමු.
වන්දා පිරිමි සතා, තම සිත් ගත් ගැහැනු සතා ඉදිරියට පැමිණ අපූරු ප්‍රේමාන්විත රංගනයක යෙදෙනවා. එවිට ගැහැනු සතාත් එලෙස රංගනයෙහි යෙදෙන්නට පටන් ගන්නවා. ඔවුන්ගේ ඉදිරි ගාත් දෙක සැකසී තිබෙන ස්වභාවය අනුව බැලූ බැල්මට එය දිස් වන්නේ දෙදෙනා දෙදෙනාට ආචාර කර ගනිමින් මනස්කාන්ත ප්‍රේමාලිංගනයක යෙදෙන ආකාරයකුයි.
මෙලෙස එකිනෙකාට ළංවෙමින් තෙරපෙමින් සෑහෙන වෙලාවක් රංගනයෙහි යෙදී, ඔවුනොවුන් කෙරෙහි ගොඩනගා ගන්නා විශ්වාසයක් තුළින් තමයි ඔවුන් කායික එක්වීමකට පෙළඹෙන්නේ.
නමුත් මේ විශ්වාසයේ ස්වභාවය ගැනත් නැවත නැවත සිතන්නට වෙනවා. පිරිමි සතා නම් මැය තමන්ට අපූරු සහකාරියක් වෙනු ඇතැයි සිතනවා වෙන්න පුළුවන්. නමුත් ඒ අසරණ පිරිමි සතා, මෙය තමාගේ පළමු ලිංගික එක්වීම වගේම අවසාන එක්වීම බවත් නොදැන සිටිනවා ඇති. බදා වැළඳගෙන සිදු කරනු ලබන ලිංගික කාර්යයෙහි අවසානය ඇගේ අතින් හිස ගැසුම් කෑමට සිදුවීම බව ඒ අසරණ පිරිමි සතා දන්නවා නම් ඔවුන් කිසි ලෙසකින්වත් ගැහැනු සතෙකුට ළං වෙන එකක් නෑ. කොටින්ම ආදරය කියන දේ ගැන සිතන්නටවත් බය වේවි. සොබාදහමේ නිමැවුම් හරි පුදුමාකාරයි. තමාට මෙතරම් ආදරයෙන් ළං වූ තම පෙම්වතිය ලිංගික එක්වීමෙන් පසු තමන්ගේ හිස සිඳ, හිස ඇතුළු තම ශරීරය අනුභව කරන බව ඒ සතා දන්නවා නම්, අර මුලින් කිව්වා වගේ ම ඔවුන් ගැහැනු සතුන්ව සේම ආදරය කියන දේ ද සහමුලින්ම ප්‍රතික්ෂේප කරාවි. නමුත් එහෙම වුණොත් වන්දා කියලා සත්වයෙක් ඒ ලෝකයට ඉතිරි වන්නේ නෑ. පිරිමි සතකු නැතිව ගැහැනු සතුන්ට දරුවන් තනා තම පරම්පරාව ඉදිරියට ගෙන යාමේ හැකියාවක් නැති නිසා. ඒ නිසාම වන්දා ගැහැනු සතුන්ගේ ප්‍රමාණයට වඩා, පිරිමි සතුන්ගේ ප්‍රමාණය වැඩි බවයි මෙම සත්වයින් පිළිබඳව පර්යේෂණ කරන අය පවසන්නේ.
ඒ වගේම කළු වැන්දඹු මකුළුවා ( Black widow spider ) කියන්නේත් මෙලෙස ලිංගික එක්වීමෙන් පසු තම සහකරු මරා කන ගැහැනු සතෙක්. මේ හැරුණු විට තවත් මකුළු වර්ග කිහිපයක් සිටිනවා මෙවැනි හැසිරීම් විලාසයක් පළ කරන.
Orb-Weaving Spiders, Redback Spiders, Jumping spider මෙවැනි මකුළු විශේෂයනුයි. සමහර මකුළු වර්ගවල ගැහැනු මකුළුවන් පිරිමි සතාගේ කුස සිදුරු කර ආහාරයට ගන්නා බව පැවසෙනවා.
මේ හැරුණු විට Banana Slugs,Octopuses, Anacondas, Sagebrush Crickets,Jumping Spider,Horned Nudibranch vanisha සත්ත්ව විශේෂයන් ද මෙලෙස කායික එක්වීම්වලින් පසුව පිරිමි සතුන්ව මරා අනුභව කරන බව සඳහන්.
කෙසේ වුවත් octopus හෙවත් බූවල්ලා ගැන කතා කළොත් ඇතැම් තැන්වල සඳහන් වන්නේ බූවල්ලා ගැහැනු සතුන් කුසගින්නේ සිටින වෙලාවට පිරිමි සත්තු ලිංගිකව එකතු වෙන්න ආවොත් පිරිමි සතාට ළං වෙන්න ඉඩ දීලා පිරිමි සතාව මරාගෙන දවස් ගණනාවක් කන බවයි.
බූවල්ලා කියන්නේ ඉතා හොඳ බුද්ධියක් තිබෙන සතෙක්. පුහුණු කළ හැකි හොඳ මතකයක් ද බූවල්ලාට තිබෙනවා. ස්වභාවයෙන්ම බිහිරි සතකු වන බූවල්ලාගේ ඇස් තියුණු ඉන්ද්‍රියයක් ලෙස ක්‍රියා කරනවා.
බූවල්ලා පිරිමි සතාට මෙන්ම ගැහැනු සතාට ද ලිංගිකව එක්විය හැක්කේ සිය ජීවිතයේ දී එක් වරක් පමණයි. එයට හේතුව ලිංගික එක්වීම්වලින් පසු ඉතා කෙටි කලක් තුළ පිරිමින් බූවල්ලන් නම් මිය යාමයි. ඇතැම් විට ලිංගික එක්වීම වෙනුවට ගැහැනු බූවල්ලා, පිරිමි සතාගේ ගෙල සිරකර අනුභව කරන බවද පැවසෙනවා. මේ නිසා එක් වරක් ලිංගිකව එක් වීමෙන් පසු නැවත වරක් ලිංගික සම්බන්ධතා පවත්වන්නට පිරිමි බූවල්ලා හට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ගැහැනු සතා බිත්තර දැමූ පසු ඒවා වර්ධනය වන තුරුම ආරක්ෂා කිරීම පිණිස, කූඩුව තුළම ගත කිරීම නිසා කිසිදු ආහාරයක් නැතිව කුසගින්නේ ම මිය යනවා. මේ හේතු නිසා තමයි මෙම සතුන්ට ලිංගික එක්වීම ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන දෙයක් බවට පත්වී තිබෙන්නේ. එසේ වුවත් මේ සතුන් වඳ වී නොයන්නේ ගැහැනු සතෙකු වරකට බිත්තර අසූ දහසක් පමණ දමන නිසයි.
Sexual cannibalism හෙවත් ලිංගික එක්වීම්වලින් පසු තම සහකරු මරා අනුභව කිරීම සම්බන්ධයෙන් විද්‍යාඥයන්ගේ උපකල්පනය වන්නේ නව පරම්පරාවකට DNA සම්ප්‍රේෂණයෙන් පසු පිරිමි සතකු ගේ භෞතික ශරීරය වැදගත් නොවන නිසාත්, ලිංගික එක්වීම්වලින් පසු ගර්භණී වන ගැහැනු සතාගේ පෝෂණය සඳහා එම පිරිමි ශරීරය වැදගත් වන නිසාත් එසේ වන්නට ඇති බවයි. සොබාදහමේ නිමැවුම් විස්මිත නොවේද?
ඉන්දු පෙරේරා
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි