අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරන ලද තීන්දුවකට අනුව පැන වූ එකක් බැවින් ඔහුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් වූ විධිමත් කාර්ය පටිපාටියක් ඇති බවත් ඒ සඳහා වන නීතිපති උපදෙස් ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇතැයි අධිකරණ අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
රංජන් රාමනායකට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඒකඟත්වය පළ කොට ඇති අතර ඒ පිළිබඳව සලකා බලන ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට දන්වා තිබේ.ඒ අනුව ඒ අනුව අධිකරණ ඇමැතිවරයා රංජන් රාමනායකට සමාව දීම සලකා බැලීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට ලැබීමෙන් පසුව ඇමැතිවරයා විසින් ඊට අදාළව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේ.මෙහි දී ජනාධිපති වරයකුට වුව සිරකරුවකුට මෙලෙස සමාව ප්රදානය කළ හැක්කේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මඟින් සලසා ඇති ජනාධිපති වරයා ගේ මුක්තියට අනුව පමණක් බැවින් එහි නීතිමය පදනම තහවුරු කර ගැනීම සඳහා තව දින කිහිපයක් ගත විය හැකි වුවත් ඉදිරි දින කිහිපය තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට අනිවාර්යෙන්ම ජනාධිපති සමාව ලැබෙන බව තමන්ට විශ්වාස යැයි එම නිලධාරියා වැඩි දුරටත් කීය.