අගමැති රනිල් වික්‍රමසිංහ හා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර ජනප්‍රිය ව්‍යවහාරයට අනුව කිව හොත්”ගල උඩ සටනක්” හට ගෙන ඇති බව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි ලෙස හුවමාරු වන කට කතාවකි.
එවැනි කතාවක් පැතිර යාමට ඕනෑ තරම් හේතු සාධක තිබේ.ඒ මන්ද යත් ඉකුත් යහපාලන රජය සමයේ රනිල් වික්‍රමසිංහට එල්ල වූ බැංකු චෝදනාවට අදාළ මහ බැංකුව සතු සියළු තොරතුරු එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා මාධ්‍ය වෙත ලබා දුන්නේ මොහු බවට එවක කාටත් රහසක් නොවූ බැවිනි.. යහපාලන ආණ්ඩුව 2019 දී පරාජයට පත් වූ අතර ඉන් පසු පත්වූ රාජපක්ෂ ආණ්ඩුව යටතේ පවා ඔහුට මහබැංකු අධිපති ධූරය නොලැබීම මත නියෝජ්‍ය මහ බැංකු අධිපති ලෙස විශාම ගැනීමට ඔහුට සිදුවිය.
ඉන්පසු ආචාර්ය නන්දලාල් වීරසිංහ තම පවුලේ සාමාජිකයන් සමඟ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේ ය. මේ අතර ලංකාවේ ආර්ථිකය කඩා වැටී දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවෙමින් තිබියදී ඔහුට ලැබුණු ආරාධනාවක් මත නැවත මෙරටට පැමිණ මහ බැංකු අධිපති ධූරය බාර ගන්නේය. දකුණේ මාතර ප්‍රදේශයේ ගමක ඉපැදීම නිසා ඔහුගේ සිංහල දැනුම ද ඉතා ඉහළ ය. මීට පෙර සිටි බහුතරයක් මහ බැංකු අධිපතිවරුන්ට සිංහලෙන් විග්රහ කිරීම ගැටළු සහගත වූයේ ඔවුන්ගේ සිංහල වෙනුවට ඉංග්‍රිසි දැනුම ඉහළ බැවිනි.
රටට පැමිණි විගස මාධ්‍ය හමු කැඳවා ආචාර්ය නන්දලාල් වීරසිංහ පළ කළ අදහස් හේතුවෙන් රට තුළ ඔහු සම්බන්ධයෙන් යම් විශ්වාසයක් ගොඩ නැඟුණි. එහෙත්, පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ස්ථාවර රජයක් පිහිටුවා ගැනීම සම්බන්ධයෙන් හෙතෙම දැඩිව පෙනී සිටියේය. එහෙත්, අවසානයේ ඔහු අකමැති කෙනෙකුට අගමැතිධූරය හිමිවීම මත යළි අර්බුදයක් මතු විය.
රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලැබුණ ද ඔහුට මුදල් ඇමතිධූරය ලබාදීමට ප්‍රමාද වූයේ ද ආචාර්ය නන්දලාල් වීරසිංහ ගේ බලපෑම මත බවට ද කටකතා පැතිරිණි. එහෙත්, අවසානයේ රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස දිවුරුම් දුන්නේය. මුදල් ඇමති ලෙස රනිල් දිවුරුම් දුන්නේ ද අගමැති වී දින 10 ක් පමණ ගත වූ පසුව ය. රනිල් මුදල් ඇමති ලෙස දිවුරුම් දීමෙන් පසු පැරණි විරසකය මුල් කොට ආචාර්ය නන්දලාල් වීරසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වූ බවත් ජනාධිපතිවරයා මැදිහත් වී එය වැළැක්වූ බවත් ප්‍රචාරය විය.මේ අතර මාධ්‍ය මගින් ප්‍රචාරය වූයේ මහබැංකුවේ කායවර්ධන මධ්‍යස්ථානයට උපදේශකවරයෙකු බඳවා ගැනීමට මහබැංකුව පළ කළ පුවත් පත් දැන්වීමක් ගැන ය. එහි දී අගමැතිවරයා මැදිහත්වී එය නවතා දැමූ බවට හා “මහ බැංකු අධිපතිට දැන් තියෙන්නේ ඇඟ හදා ගැනීම ද නැතිනම් රටේ ආර්ථිකය හදා ගැනීම ද?” යන්න රනිල් වික්‍රමසිංහ විමසා ඇති බවටත් තොරතුරු පළ විය.
රනිල් වික්‍රමසිංහ මහ බැංකු නිලධාරීන් හමුවේ කළ මෙම ප්‍රකාශය ගැන මහබැංකු අධිපතිවරයා ද සිය මිතුරන් හා ප්‍රතිචාරය දැක්වූ පුවත් ද උණුකැවුම් සේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙන්නට විය. ඩොලරය යම් ප්‍රමාණයකට ස්ථාවර වෙද්දී සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය වූයේ එය රනිල් අගමැති වීමේ ප්‍රතිඵලයක් බව ය. නමුත් ඊට සුළු මොහොතකට පසු මහබැංකුව නිවේදනය කළේ එය මහ බැංකුවේ නව මූල්‍ය ප්‍රතිපත්ති මත සිදුවූවක් බවට ය.මේ තත්වය යටතේ දෙදෙනා අතර විරසයක් වැඩිවෙනවා මිසක් අඩුවූවක් නොවීය.
සියලු කාරණා එසේ සිදුවද්දී ප්‍රචාරය වූ තවත් ප්‍රවෘත්තියක් වන්නේ ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉවත් කොට ප්‍රසිද්ධ බැංකුකරුවෙකු වන දිනේෂ් වීරක්කොඩි පත් කිරීමට අගමැති රනිල් යෝජනා කර ඇති බවට ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මේ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් අගමැති පාර්ශවයෙන් එල්ල වන බවට ද ප්‍රචාරය විය.නමුදු ජනාධිපති වරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් නොකරන බවට දැඩිව තීන්දු කොට ඇතැයි දැන ගන්නට තිබේ.කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දුන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතන කිසිවක ප්‍රධානීන් වෙනස් නොකරන බවකි.
ඔවුන් පෙර පරිදිම කටයුතු කරනු ඇතැයි මාධ්‍ය අංශය නිවේදනය කළේය. එහෙත් ආචාර්ය නන්දලාල් වීරසිංහ හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර ගැටුම ගැන පුවත් දිගින් දිගටම වාර්තා වෙයි. මේ අතර කොමර්ෂල් බැංකුවේ හා හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයෙකු වන දිනේෂ් විරක්කොඩි කියා සිටියේ තමන් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට කටයුතු කරන බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ය.
එවැනි කිසිදු සාකච්ඡාවක් වත් සිදුව නොමැති බව ඔහු කියා සිටියේය. තත්වය මෙය බැවින් යම් හෙයකින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් නොකිරීම මත රනිල් වික්‍රමසිංහ අගමැති පදවිය අතහැර ගිය හොත් ඊට හුරේ දමන්නටත් ඉන් වාසි අත් කර ගැනීමටත් පිරිසක් දත-කට මැදගෙන සිටිති.ඔවුන්ට ඒ ජයග්‍රහණ සාක්ෂාත් කර ගත හැක්කේ ඉදිරි කාලය තුළ ජනාධිපති ගෝඨාභයත් අගමැති රනිලුත් මහ බැංකු අධිපති නන්දලාලුත් ක්‍රියා කරන ආකාරය අනුවය.
ලසන්ත වීරකුලසූරිය